16 October, 2016

මහින්ද - චන්ද්‍රිකා ගැටුම ගැන ඩිව් ගුණසේකර හෙළිකරන කතාව

ඔබේ නම ඩිව් ගුණසේකරද?

නෑ.. මගේ සම්පූර්ණ නම දොන් එඩ්වින් වීරසිංහ ගුණසේකර. ඩී.ඊ.ඩබ්ලිව්. කියන්නේ මගේ නමේ මුල් අකුරු තුන. මගේ පාස‍ලේ ගුරුතුමිය මුල් අකුරු තුන වෙනුවට ඩිව් කියලා කිව්වා. ඒක නිසා තමයි හැමෝම මට ඩිව් ගුණසේකර කියලා කියන්නේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියාව කළ ඔබ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වුණේ කොහොමද?

පාසල් යන කාලයේ වාම අදහස් තිබුණත් මට නිශ්චිත අදහසක් තිබුණේ නෑ. වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා තමයි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ.

ඔබේ පවුල් පසුබිම තුළ වාමාංශික දේශපාලනයට නෑකමක් තිබුණාද?

අපි පුංචි කාලයේදී තමයි. 1947 දී ලංකාවේ පළමු මහ මැතිවරණය පැවැත්වුණේ. හම්බන්තොට අපේ ගමෙන් තරග කළේ ලක්ෂ්මන් රාජපක්ෂයි. ඔහු කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ නිසා දොස්තර එස්.ඒ. වික්‍රමසිංහත් උපකාරයට ආවා. අපේ ගෙදරත් මැතිවරණ මධ්‍යස්ථානයක් නිසා ඔවුන් අපේ ගෙදරත් ආවා. මගේ අයියා ගම් සභා සභාපතිවරයෙක්. මාමා අල්ලපු ගම වූ අම්බලන්තොට ගම් සභාවේ සභාපති. අපේ තාත්තා ඩී.ඒ. රාජපක්ෂ සමග සම්බන්ධතා පැවැත්වූවා.

ඔබ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලයේදී බදු ගෙවීමට දේශපාලනඥයින් එනවාද?

ඒ කාලයේ ඉඩම් හිමි පන්තියක් හිටියා. ඔවුන් තමයි වැඩිම බදු ගෙවන්නේ. මම ඒ අයගේ බදු ගොනු හැසිරවූවා. එදා පාර්ලිමේන්තුවේ සිටි බහුතරයක් ඉඩම් හිමි පන්තියක් නිසා ඔවුන් සමග සම්බන්ධයක් තිබුණා. 

අගමැති බණ්ඩාරනායක මහත්තයාගේ ෆයිල් එකත් තිබුණේ මගේ ළඟයි. ඔහු ලක්ෂ ගණනින් බදු ගෙවිය යුතුව තිබුණා. ඒත් 56 මැතිවරණය වෙනුවෙන් රොස්මීඩ් ගෙදර බැංකුවට උකස් කර තිබුණා. 

ඒත් ඔහුට බදු හිඟ තිබුණ නිසා මගේ කොමසාරිස්වරයා අගමැතිතුමාට ලිපියක් යැව්වා බදු ගෙවන්න කියලා. ඉංග්‍රීසි භාෂාවෙන් එම ලිපිය ලියුවේ කොමසාරිස්වරයායි. 

එම ලිපිය ලැබුණ ගමන් ඔහු කොමසාරිස්වරයා හමුවීමට පැමිණ තිබුණා. පියන් කෙනෙක් ඇවිත් මට කීවා කොමසාරිස්වරයා කියනවා බණ්ඩාරනායක මහත්තයාගේ ෆයිල් එකත් අරගෙන එන්න කියලා කිව්වා. 

මම කොමසාරිස්වරයාගේ කාමරයට යන විට බණ්ඩාරනායක මහත්තයා තනියම ඇවිත් හිටියා. මට ගෙවන්න බැරි නිසා මාස් පතා හිඟ බදු ගෙවන්නම් කියලා අගමැතිවරයා රුපියල් දාහක චෙක් එකක් ලියලා දුන්නා.

ඒ කාලයේදී බදු ගෙවීම් සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගෙන් බලපෑම් එනවාද?

එදා ඒ වගේ බලපෑම් එල්ලවීම් අඩුයි. නමුත් එක සිද්ධියක් මට මතකයි. ඒ 1969 අවුරුද්ද. අලුත්කඩේ උසාවිය ඉදිරිපිට තට්ටු ගාණක හෝටලයක් තිබුණා. මේ හෝටලයේ මුදලාලි බදු ගෙවපු නැති නිසා අපි ඒ හෝටලය වැටලුවා. එදා දෙපාර්තමේන්තුවට තිබුණේ එක වාහනයයි. ඒ වාහනයෙන් තමයි එදා වැටලීමට ගියේ. 

අපි උදේ නමයේ සිට රෑ නමය වන තුරු හෝටලයේ ඉඳගෙන ආදායම බැලුවා. ඔහුගේ සේප්පුවක රුපියල් ලක්ෂ දෙකක් තිබුණා. ඒ සල්ලි ගැන අහන විට ඔහු කිව්වේ එක ඇමැති කෙනකුගේ සල්ලි ඔහු තබාගෙන සිටිනවා කියලා. එදා රෑ එළිවන තුරු නිදා ගන්නේ නැතිව ඒ ගැන වාර්තාවක් හැදුවා. 

අපි මුදලාලි කෙනකුගේ ආදායම හොයන්න ගිය විට තමයි ඇමැතිවරයාගේ සල්ලි හමුවුණේ. ඒ වන විට අගමැති ඩඩ්ලි සේනානායක කොමසාරිස්වරයාට කතා කරලා මේ ගැන අහලා තිබුණා. කොමසාරිස්වරයාත් අගමැතිතුමාට වැටලීම ගැන කියලා තිබුණා. එවිට අගමැතිවරයා කියලා තිබුණේ මට ඇමැති කෙනෙක් මේ ගැන කියූ නිසා දුරකථනයෙන් කතා කර විමසුවා කියලා. 

තමන් කිසිම බලපෑමක් නොකරන බවත් අවශ්‍ය පරිදි පරීක්ෂණ කටයුතු කරගෙන යන ලෙසත් ඩඩ්ලි උපදෙස් දී තිබුණා. ඔහුගෙන් පරීක්ෂණයට කිසිම බලපෑමක් ඇතිවුණේ නෑ. අද එහෙම ඇමැතිවරුත් නෑ. එහෙම දෙපාර්තමේන්තුත් නෑ.

ඔබ පීටර් කෙනමන්ගේ පුද්ගලික ‍ලේකම් වන්නේ කෙසේද?

මම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී පීටර් කෙනමන්ට ඇමැති ධුරයක් ලැබුණා. ඔහු කෝල් එකක් දීලා ගහෙන් ගෙඩි එන්න වගේ කිව්වේ මට පුද්ගලික ‍ලේකම් වෙන්න කියලයි. 

ඒ වන විට දෙපාර්තමේන්තුවටම විමර්ශන නිලධාරීන් හය දෙනෙක් විතරක් සිටි නිසා දෙපාර්තමේන්තුව මාව නිදහස් කිරීමට අකමැති වුණා. පසුව අගමැතිනි සිරිමාවෝ කතා කරලා තමයි මාව නිදහස් කර ගත්තේ.
මැතිනිය සමග ඔබේ තිබූ සම්බන්ධය මොන වගේද?

ඒ කාලයේ සියලුම ඇමැතිවරුන්ගේ පෞද්ගලික ‍ලේකම්වරු මැතිනිය පුද්ගලිකව දැනගෙන සිටියා.

ඔබ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි විට රොස්මීඩ් නිවසට යනවාද?

ඔව්. අනුර සහ මම පක්ෂ දෙකක සිටියත් අපි සමීපව වැඩ කළා. සුනේත්‍රා බණ්ඩාරනායකගේ දෙවැනි විවාහය සිදුවන්නේ මගේ බෑණා කෙනෙක් සමග. ඒ සම්බන්ධයත් එක්ක අපි නිතර හමුවුණා. චන්ද්‍රිකා හමුවන්නේ දේශපාලනික කටයුතුවලදීයි. ඇගේ නිල කාලයේදී ජනාධිපති ‍ලේකම්වූ කේ. බාලපටබැඳි හය වසරේ සිට මගේ පන්තියේ සිටි මිතුරෙක්.

1982 ජනාධිපතිවරණයේදී ඔබ එයට සම්බන්ධ වුණේ කොහොමද?

සම සමාජ පක්ෂයට මැතිනිය දීපු ලණුවක් කාලා කොල්වින් ජනාධිපතිවරණයට තරග කරන්න ඉදිරිපත් වුණා. ජනපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවත් සම සමාජයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහය දෙන බවත් ඇය කියා තිබුණා. 

පසුව ඇය මටත් දුරකථන ඇමතුමක් දීලා හමුවෙන්න ඕන කියලා කිව්වා. මට තනියම එන්න බෑ පක්ෂ නායකයින් එක්ක එන්නම් කියලා මම කිව්වා. ඒ අනුව කේ.පී. සිල්වා එක්ක මම රොස්මිඩ් නිවසට ගියා. මැක් කොතලාවල, අලවි මවුලානා සමග මැතිනිය ඇවිත් තිබුණා. 

ඇය ඇවිත් කීවා ටී.බි. ඉලංගරත්නට දිනන්න බෑ, කොබ්බෑකඩුවට දිනන්න බෑ කියලා ඇය අපිත් එක්ක කිව්වා. ඒ වන විට මැතිනිය මධ්‍යම කාරක සභාවේදී පැරදිලා හිටියේ. කොබ්බෑකඩුව මැතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට වන අදහසට මධ්‍යම කාරක සභාවේදී මැතිනිය විරුද්ධ වෙලා තිබුණත් අවසානයේදී මැතිනිය පැරදුණා. 

එදාම පක්ෂ මහ‍ලේකම් රත්නසිරි වික්‍රමනායක අනෙක් පක්ෂවලට ලිපියක් යැව්වා. යවලා කොබ්බෑකඩුව ජනාධිපති අපේක්ෂකයා කරනවා එයට සහය දෙන්න කියලා තිබුණා. මැතිනිය හමුවන්න යන අවස්ථාව වන විටත් කොබ්බෑකඩුවට සහය දීමට අපි තීරණය කර තිබුණේ. 

ඒ නිසා අඩියක් පිටුපසට තැබිය නොහැකි බව මැතිනියට එදා අපි කිව්වා. එදා කොබ්බෑකඩුවට මහින්ද රාජපක්ෂ, අනුර බණ්ඩාරනායක උදව් කළේ නෑ. මහින්ද උදව් කරන්නේ නැති නිසා එදා හම්බන්තොට ගිහින් මැතිවරණය කරන්න කියලා ටී.බි. ඉලංගරත්න ලිඛිතව මට දැනුම්දී තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කරන්න වෙන පක්ෂයක හිටපු මට තමයි පැවැරුණේ.

එදා හම්බන්තොට මැතිවරණ රැස්වීමට මහින්ද ගෙන ගියේ කොහොමද?

මහින්ද අනුර බණඩාරනායක එක්ක ගිහින් කොබ්බෑකඩුවට විරුද්ධව වැඩ කරන්නයි හිටියේ. ඒ වන විට හම්බන්තොට මැතිවරණ වැඩ කටයුතු මට භාරදී තිබූ නිසා මම රැස්වීමක් කැඳවූවා. 

ඊට පෙර ගිහින් මහින්දට කතා කළා. අනුර එක්ක ගිහින් දේශපාලන අනාගතය නැති කරගන්න එපා කියලා ඔහුට මම කිව්වා. කොබ්බෑකඩුවට සහය දෙන මැතිවරණ රැස්වීමේදී කතා නොකළාට කමක් නැහැ, ඇවිත් ඉන්න කියලා කිව්වා. ඔහු රැස්වීමට ආවත් කතා කළේ නෑ. ඒත් එක්කම ජනමත විචාරණයක් ආවා. 

ඒ වන විට මැතිනිය මහින්දත් එක්ක තරහා වෙලා. බෙලිඅත්ත ආසනයේ ඡන්ද කරන්න කවුරුවත් හිටියේ නෑ. මැතිනිය එක්ක හම්බන්තොට දිස්ත්‍රික්කයේම ගියේ මම. එදා කවුරුවත් අපිට රැස්වීම් තියන්න ඉඩම් දුන්නේ නෑ. අම්බලන්තොට රැස්වීම පැවැත්වූයේ මගේ මල්ලිගේ පාර අයිනේ තිබුණ ඉඩමකයි. 

මහින්ද නැතිව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන හතරම ජනමත විමසුමේදී අපි දිනුවා. මාතර, හම්බන්තොට, රත්නපුර ආසන තුනම සම්බන්ධීකරණය කළේ මම. මාතර රැස්වීම පටන්ගත්තේ හවස තුනට. ඒක ඉවර වුණේ අලුයම තුනටයි. 

ඒ රැස්වීමේ කතා කරන්න කථිකයින් නොමැතිවීම නිසා මම තුන්වරක්ම රැස්වීමේ කතා කළා.

1982 ජනාධිපතිවරණයේදී ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ගැන කතා කිරීමට රෝහණ විජේවීර හමුවීමට ගිය ගමන මතකද?

එදා තමයි මම සැබෑ විජේවීර හඳුනාගත්තේ. ලයනල් බෝපගේ බොරැල්‍ලේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට ඇවිත් ජේ.ආර්. ජයවර්ධන පරාජය කිරීමට ‍පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕන කියලා යෝජනා කළා. 

මේ කාර්යාලයේදී තමයි ‍පොදු අපේක්ෂකයා කියන නම යෝජනා කළේ. ඒ අනුව තිඹිරිගස්යායේ නීතිඥයකුගේ ගෙදර සිටි රෝහණ විජේවීර හමුවීමට අපි ගියා. අපි යන විට ඔහු සෝපාවක හාන්සිවී සිටියා. අපි ගියත් ඔහු සෝපාවෙන් නැගිට්ටේ නැහැ. 

අපිට වාඩි වෙන්න කිව්වෙවත් නැහැ. කතාව පටන් ගන්නා විටම මම ‍පොදු අපේක්ෂකයා, ඒ නිසා සහෝදරවරු මට උදව් කරන්න කියලා කිව්වා. ඒ කතාව කියන විට ලයනල් බෝපගේ කම්පාවට පත් වුණා. එදා සාකච්ඡාව විනාඩි දහයකට විතර සීමාවුණා.

වාමාංශිකයෙක් වන ඔබ ජේ.ආර්. එක්ක රෑට රෑට හොර සාකච්ඡාවලට සම්බන්ධ වුණේ ඇයි?

ඉන්දියාව ලංකාවට පරිප්පු දාන්න සූදානම් වුණු වෙලාවේ රෑ ජේ.ආර්. මට කතා කරලා ජනාධිපති මන්දිරයට එන්න කියලා කිව්වා. මම යන විට ප්‍රේමදාස, ලලිත්, ගාමිණී හා විදේශ ඇමැති හමීඩ් ඇවිත් තිබුණා. ඒ වෙලාවේ ජනපතිවරයා මට රජිව් ගාන්ධි එවා තිබූ ලිපියක් කියවන්න දුන්නා. 

ටික වෙලාවකින් අනුරයි දිනේෂුයි ආවා. ඉන්දියාව කරන්න හදන මැදිහත්වීම ගැන අපි මහ රෑ සාකච්ඡා කළා. ජනපති මැදුරේ සේවකයින් සියලු දෙනාම ඉවත් කරලා කරපු රහස් සාකච්ඡාවේදී අපට කෝපි හදලා දුන්නේ ජනපතිවරයාගේ මල්ලි එච්.ඩබ්ලිව්. ජයවර්ධනයි. එදා රැස්වීමේදී අපි තීරණය කළේ රතු කුරුසය මාර්ගයෙන් ඉන්දීය ආධාර භාර ගන්න. නමුත් ප්‍රේමදාස වැඩේ කෑවා.

ප්‍රේමදාස එක්ක මොන වගේ සම්බන්ධයක් තිබුණාද?

ප්‍රේමදාස ජනාධිපති වූ විට ඔහු කිව්වේ තමන් භාරගත්තේ දෙකොණ පත්තුවන විලක්කුවක් කියලා. ඔහු දවසක් මට කතා කරලා හමුවන්න එන්න කිව්වා. ඔහු මා සමග පැයක් විතර පුද්ගලිකව සාකච්ඡා කළා. 

රටේ තිබුණ තත්ත්වය පාලනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍ය බව ඔහු කිව්වා. මැතිනියගේ සහය ගැනීමට නම් පීටර් කෙනමන්ට මැදිහත්වන්නැයි ජනපතිවරයා මගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මම පීටර් කෙනමන් වාහනයේ දාගෙන මැතිනිය හමුවන්න ගියා. 

ප්‍රේමදාස කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට මැතිනිය සහභාගි වුණේ ඒ අනුවයි. රටේ ප්‍රශ්නවලදී අපි එකට හිටියා. ප්‍රේමදාස කලින් රදළ අම්මණ්ඩි කියලා සිරිමාවෝට බැන්නට පසුව ඔහුට ඇය ඕනෑ වුණා.

1994 දී චන්ද්‍රිකාව දේශපාලනයට ගේන්න ඔබ මැදිහත් වුණේ කෙසේද?

ඒ කාලයේ අනුර පක්ෂය හැරදා ගිහින්. මහින්දත් එළියට ආවේ නෑ. විජය මැරුණාට පස්සේ චන්ද්‍රිකා පිටරට ගියා. ඇය රට ගියේ රත්නපුරේ තිබුණ රැස්වීමක් අවසන් කරලා. ඒ රැස්වීම අතරේදී මගේ කනට කරලා කිව්වේ රැස්වීම අවසන් කරලා මම කෙළින්ම රට යනවා කාටවත් කියන්න එපා කියලා. 

රට ගිහින් හිටපු චන්ද්‍රිකා නැවත ගෙන්වා ගැනීමට කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් ප්‍රංශයට ගියා. මමත් දුරකථනයෙන් කතා කරලා එන්න කියලා කිව්වා. ඒත් මරාවි කියලා බයේ ඇය ලංකාවට නැවත ආවේ නෑ. 

කොහොම හරි අවසානයේදී ඇය ලංකාවට ගෙන්වා ගැනීමට අපි කැමැති කරගත්තා. චන්ද්‍රිකා නැවත එනවාට මැතිනිය වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. චන්ද්‍රිකා ලංකාවට එන දවසේම අපි ටවුන් හෝල් එකේ කාන්තා සම්මේලනයක් කැඳවා තිබුණා. 

වෙනත් පක්ෂවල නියෝජිතයින්ද මේකට ආවා. චන්ද්‍රිකා මේකට එන බව කවුරුවත් දන්නේ නැහැ. එයාපෝර්ට් එකේ ඉඳලා චන්ද්‍රිකා කෙළින්ම එන්නේ මේ රැස්වීමටයි. මැතිනිය මූලාසනයේ හිටියා. 

ලක්ෂ්මන් ජයකොඩි, රෙජී රණතුංග වගේ අයත් හිටියා. චන්ද්‍රිකා රැස්වීමට එන විට මිනිස්සු කෑ ගහලා ඇය පිළිගත්තා. රෙජී රණතුංග හිටියේ මම ළඟමයි. ඔහු කුණුහරුපයෙන් බැනලා එතැනින් පිටත්වෙලා ගියා. 

ලක්ෂ්මන් ජයකොඩි කුණුහරුප නොකීවත් බැනලා ගියා. එතැනදී තමයි චන්ද්‍රිකා නැවත දේශපාලනයට එළි දැක්කේ.

චන්ද්‍රිකාගේ කා‍ලේ ජාතික රූපවාහිනියේ අවුරුදු හයක් තිස්සේ සභාපති වෙලා හිටියේ ඔබයි. එවැනි තනතුරක අවුරුදු හයක් වැඩ කළේ කොහොමද?

අවුරුදු හයක් රූපවාහිනියේ සභාපති වෙලා ඉන්න එක ‍ලේසි දෙයක් වුණේ නැහැ. ක්‍රියාකාරී දේශපාලනඥයෙක් සභාපති වෙන එකට රූපවාහිනියේ අය බයෙන් හිටියේ. 

සභාපති වුණාට පස්සේ දේශපාලනය ගේට්ටුවෙන් එළියේ තියලා එන්න කියලා තමයි මම හැමෝටම කිව්වේ. ඒ වන විට ශ්‍රී ලංකා වෘත්තීය සමිතියක්, එජාප වෘත්තීය සමිතියක් හා ස්වාධීන වෘත්තීය සමිතියක් තිබුණා. 

මම වෘත්තීය සමිති රැස්වීමක් කැඳවන විට ඒ වෘත්තීය සමිති තුනටම කතා කරනවා. හැම පක්ෂයකටම එක විදියට සලකනවා කියලා පෙන්වන්නයි මට උවමනාව තිබුණේ.

එක වෙලාවක අනුරුද්ධ රත්වත්තේ යාපනයට යන විට රූපවාහිනියේ කැමරා කණ්ඩායමක් පිටත් කර යැවීමට සූදානමින් සිටියා. අපි යැවීමට සූදානම් කර තිබූ නිෂ්පාදකයා වෙනුවට වෙනත් නිෂ්පාදකයෙක් එහි ගොස් තිබුණේ අනුරුද්ධ රත්වත්තේගේ හිතවත්කමක් මතයි. 

ඔහු නැවත පැමිණි පසුව මම ඔහුගේ වැඩ තහනම් කළා. මේ ගැන අනුරුද්ධ රත්වත්තේ ජනාධිපතිනියටත් පැමිණිලි කර තිබුණා. ඇය මා කැඳවා මේ ගැන ඇසුවා. මම එම නිෂ්පාදකයාගේ වැඩ තහනම් කරනවා කියලා ඇවිත් තමයි වැඩ තහනම් කළේ. 

පසුව මේ ගැන අනුරුද්ධ රත්වත්තේ මගෙන් සමාව ගත්තා. මේ වැඩ තහනමට ලක්වූ පුද්ගලයාගේ තාත්තා නුවර සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙක්. ඔහු මට ඇවිත් පුතා සේවයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටියා. පරීක්ෂණයකින් පසුව නැවත සේවයේ පිහිටුවා මගේ යටතට ගත්තා.

චන්ද්‍රිකා - මහින්ද සමග ඔබට දිගු කලක සබඳතා තිබෙනවා. ඇත්තටම ඔවුන් දෙන්නා අතර ගැටුම ඇරඹුණේ කොහොමද?

ඒක කාලයක් තිස්සේ පැවැති ගැටුමක්. පාද යාත්‍රාව අවස්ථාවේදී මාතරදී මහින්ද චන්ද්‍රිකාගේ මූණටම කුණුහරුපයෙන් බැන්නා. කවදාවත් මහින්දත් චන්ද්‍රිකාත් දේශපාලන වශයෙන් පෑහුණේ නැහැ. චන්ද්‍රිකා එදා වාමගාමීයි. මහින්ද ටිකක් දක්ෂිණාංශිකයි. එදත් ඔහු ජාතිකවාදී ස්ථාවරයේ හිටියා.

මහින්දට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීමට චන්ද්‍රිකා එකඟ වුණේ කොහොමද?

ඒ කාලයේ දවසක් චන්ද්‍රිකා මේ ගැන පැය ගාණක් මා සමග කතා කළා. ඒ වෙලාවේ ඇය කිව්වේ මහින්ද තමාගෙන් ඈත් කළේ එස්.බි. සහ මංගල කියල. එසේ නොවුණානම් මට හොඳ අගමැති කෙනෙක් කරගන්න තිබුණා කියලා කිව්වා. 

ඒ වෙලාවේ ජාතික වශයෙන් පදනමක් ලබාගෙන ඇත්තේ මහින්ද විතරක් නිසා මම අකමැති වුණත් මහින්දට අපේක්ෂකත්වය දෙන බව ඇය කිව්වා. මම ඇවිත් මහින්දට දුරකථන ඇමතුමක් දුන්නා. ග්‍රීන් ලයිට් එකක් ඇවිත් තියෙනවා ඒ නිසා කට වහගෙන ඉන්න කියලා මම මහින්දට කිව්වා.

ඒත් අපේක්ෂකත්වය ලැබෙන්න කලින් මහින්ද හෙළ උරුමය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ක ගිවිසුම් ගැහුවා නේද?

ඔව්. ඒක ආරංචි වුණාම චන්ද්‍රිකාට කේන්ති ගිහින් තිබුණා. ඇය හමුවන්න යන්න මෛත්‍රීත්, නිමල් සිරිපාලත් බයෙන් හිටියේ. මම තමයි ඔවුන් දෙන්නා ඇදගෙන චන්ද්‍රිකා ළඟට ගියේ. 

අපි ගිහින් චන්ද්‍රිකා සැනසුවා. මේ ගැන මමත් මහින්ද එක්ක තරහින් හිටියේ. මේ ගැන මහින්දගෙන් ඇහුවම ඔහු කිව්වේ බැසිල් මෙන්න හාමුදුරුවෝ ටිකක් අරගෙන ආවා, මමත් අත්සන් කළා කියලයි.

චන්ද්‍රිකා මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම ගැන ඔබ දන්නවාද?

නැහැ. චන්ද්‍රිකා රැස්වීම් දෙකකට විතරයි ආවේ. ඉන් පස්සේ ඇය එක රැස්වීමකටවත් ආවේ නැහැ. ඇය මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව අපි කවුරුවත් දැන සිටියේ නැහැ. මහින්දත් චන්ද්‍රිකා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන ආකාරයට වැඩ කළා.

යුද්ධය අවසන් කාලයේදී ඔබ වැඩබලන විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස වැඩ කළා නේද?

පහුගිය අවුරුදු දහයේම වැඩබලන විදේශ ඇමැතිවරයා ලෙස වැඩ කළේ මම. රෝහිත බෝගොල්ලාගම වගේම ජී.එල්. පීරිස්ද වෙන අයෙක්ට වැඩබලන විදේශ ඇමැතිකම දෙනවාට කැමැති වුණේ නැහැ. 

යුද්ධය අවසන්වීමට පෙර පැවැති කැබිනට් රැස්වීම අවසන් කරලා ජනපතිවරයා, මම, තිස්ස, ජී.එල්., මහින්ද සමරසිංහ නවත්වා ගත්තා. ඒ වන විට විදේශ අමාත්‍යාංශයේ ‍ලේකම් ප්‍රසාද් කාරියවසම්ද පැමිණ සිටියා. 

ඒ වෙලාවේ මහින්ද කිව්වේ හෙට තමන් ජෝර්දානයට යනවා කියලා. ඒ වන විට අපි කවුරුවත් ඔහුගේ සංචාරය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ වන විට බටහිර රටවලින් යුද්ධය නැවැත්වීමට හෝ කොටි නායකයින්ට පැනලා යාමට අවස්ථාවක් දීමට බලපෑම් එල්ලවෙමින් තිබුණා. 

ඒ වෙලාවේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඔහු කිව්වේ මේ ඇමැතිවරුන්ගෙන් අහන්නේ නැතිව කිසිම තීරණයක් ගන්න එපා කියලයි. ප්‍රසාද් කාරියවසම් දක්ෂ විශ්වාසවන්ත නිලධාරියෙක්. 

ඒ වෙලාවේ තමයි මෛත්‍රීපාල සිරිසේන වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළේ. පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවුණේ අපි දෙදෙනාටයි.

මහින්දගේ කැබිනට් මණ්ඩලය 2010 අවුරුද්දෙන් පසුව මොන වගේ වුණාද?

2005 සිට 2010 දක්වා ඔහු කිසිම තීරණයක් කැබිනට් මණ්ඩලයෙන් අහන්නේ නැතිව ගත්තේ නැහැ. ඒත් 2010 පසුව අමුතුම විදියකට වැඩ කළේ. හාමුදුරුවෝ ටිකක් එකතුවෙලා ඔහු දේවත්වයට පත්කළා. 

ජැක්සන් ඇන්තනීලා එකතුවෙලා ඔහු මහ රජාට ඇන්දුවා. ඒක ඔළුවට ගැහුවට පස්සේ ඕනම කෙනෙක් හැසිරෙන්නේ ඒ විදියට තමයි. ගෝඨාභයගේ බලපෑම් එහෙම තිබුණා. ගෝඨා ආරක්ෂක ‍ලේකම් වුණාට පස්සේ හමුදාව තුළ විනයක් ඇතිවුණා වගේම නරක පැත්තකුත් තිබුණා. 

ඔහුගේ වැඩ ගැන මහින්ද බැලුවේ නැහැ. ආරක්ෂාව ගෝඨාට දුන්නා. ආර්ථිකය බැසිල්ට දුන්නා. මහින්ද ජොලියේ හිටියා.

13 වැනි සංශෝධනය ඉවත් කිරීමටත් මහින්ද උත්සාහ ගත්තා නේද?
ඔව්. 13 වැනි සංශෝධනය ඉවත් කරන්න එක් වරක් උත්සාහ ගත්තා. ඒ උත්සාහය වළක්වාගත්තේ කැබිනට් මණ්ඩලයේදී මම ගිහින් විමල් වීරවංශගේ බෙල්ල මිරිකන්න හැදුවයින් පස්සේ තමයි. 

එක වෙලාවක ඔහු 13 වැනි සංශෝධනයට එහා ගිය බලය බෙදාහැරීමකුත් කරනවා කියලා කිව්වා. ඒක කිව්වේත් කැබිනට් මණ්ඩලයෙන් අහන්නෙත් නැතිවයි. එහෙම කියපු මහින්දම තමයි පසුව 13 වැනි සංශෝධනය ඉවත් කරන්න හැදුවේ.

18 වැනි සංශෝධනය මහින්ද ඉදිරිපත් කරන අවස්ථාවේදී මොකද වුණේ?

ඒ වෙලාවේ අපේ පක්ෂ ඇතුළෙත් අර්බුදයක් තිබුණා. යුද්ධය අවසන් වූ වහාම ආණ්ඩුවෙන් ඉවත්වෙලා අර්බුදයක් ඇති කළ යුතු නැතැයි අපේ පක්ෂය පසුව තීරණය කළා. මේ වෙලාවේ මම මහින්ද හමුවීමට ගියා. 

මැරෙනකම් අගමැති වෙලා ඉන්න, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියලා මම ඉල්ලා සිටියා. ඒත් ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. 18 වැනි සංශෝධනයට විරුද්ධව කවුරුවත් කටක්වත් ඇරියේ නැහැ.
කඩිනම් ජනාධිපතිවරණයකට නොයන ලෙසත් එසේ ගියහොත් පරාජය වන බවත් ඔබ කල් ඇතිව කියා තිබුණා. මේ සඳහා මලිත් ජයතිලක සැකසූ විග්‍රහයත් සකස් කර තිබුණේ ඔබේ ඉල්ලීම මතයි. එවැනි දෙයක් කළේ ඇයි?

කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය ජුනි මාසයේදී රත්නපුරයේදී තිබුණා. එම සම්මේලනයට දේශපාලන ප්‍රවණතාවයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් සකස් කළ යුතුව තිබුණා. 

එයට මම අල්ලාගත්තේ මලිත් ජයතිලකයි. මලිත්ගේ තාත්තා අපේ පක්ෂයේ සාමාජිකයෙක්. 

මැතිවරණ ප්‍රතිඵල ඔහු විග්‍රහ කර තිබුණා. එම විග්‍රහය අනුව මහින්ද රාජපක්ෂ පරාජයට පත් වන බව ඔහු පෙන්වා දුන්නා.
මේ වාර්තාව මහින්දට පෙන්නුවේ නැත්තේ ඇයි?

අපි මේ වාර්තාව අනෙක් පක්ෂ නායකයින්ට පෙන්වා දී තිබුණා. ජාතික සංවිධායක බැසිල්, පක්ෂ මහ ‍ලේකම් මෛත්‍රීට, සන්ධානයේ ‍ලේකම් සුසිල්ට, විමල්ට පෙන්නුවා. එහෙත් මහින්දට පෙන්නුවේ නැහැ. 

ඒ මෙවැනි දෙයක් ඇසීමට මහින්ද රාජපක්ෂ සූදානමින් නොසිටින නිසා තමයි අපි ඔහුට එවැන්නක් පෙන්නුවේ නැත්තේ. මහින්ද කවුද කියලා මම ‍පොඩි කා‍ලේ ඉඳලා දන්නවානේ. ඔහු අසතුටු වෙන කිසිම දෙයක් අහන්න කැමැති නැහැනේ. 

මේ අතරවාරයේදී තමයි මහින්ද පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණේ. පක්ෂ නායක රැස්වීමක් කලින් මම මෛත්‍රීගෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට හේතුව විමසා සිටියා. ඔහු කිව්වේ ඉක්මනට ජනාධිපතිවරණයකට යන්න සූදානමින් සිටින නිසා මේ පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි. 

වාසු, මම, තිස්ස තුන්දෙනාම එකට අරලියගහ මන්දිරයට ගියේ. ඒ කතාව පටන්ගත්තාම කවුරුත් බිල්ලෝ වගේ හිටියා. කවුරුවත් කිසිම දෙයක් කිව්වේ නැහැ. මට ජනාධිපතිවරණය දිනන්න බැහැ කියලා කවුද විග්‍රහයක් හදලා ඇමැතිවරුන්ට පෙන්නලා තියෙනවා කියලා ඔහු කිව්වා. 

ඒ වෙලාවේ මම කිව්වේ ඒ විග්‍රහය කියලා හදන්න කිව්වේ මම කියලා. අවුරුදු දෙකක් තිබියදී ජනාධිපතිවරණයට යන්න එපා කියලා මම කිව්වා. අවුරුදු දෙකකින් ඡන්දයකට ගිහින් පැරදුනොත් ගෙදර යන්න කියලා කිව්වා. 

මහින්දත් මේසයට ගහලා කතා කළා. මාත් මේසයට ගහලා කතා කළා. මාත් එක්ක ඇවිලුනා. එදා සාකච්ඡාවෙන් පසුව රෑ කෑමට එන්න කියලා කිව්වා. ඒත් මම කෑමට ඉන්නෙත් නැතිව අරලියගහ මන්දිරයෙන් එළියට ආවා.

ඉන්පසුව ඔහු ඔබ සමග උරණ වුණාද?

ඊට දවස් දෙක තුනකට පස්සේ මට අරලියගහ මන්දිරයට එන්න කියලා පණිවුඩයක් යවා තිබුණා. මම, තිස්ස සහ වාසු එදා අරලියගහ මන්දිරයට ගියා. එදා අපි පැය දෙකහමාරක් ඔහුට කරුණු කිව්වා. එදා වෙන්න ඇති ඔහු පැය දෙකහමාරක් වාඩිවෙලා කවුරු හරි කියන දෙයකට සවන් දෙන්න ඇත්තේ. 

ඔබතුමා අවුරුදු විස්සක් මේ රටේ අඛණ්ඩව ඇමැතිවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා කියලා දන්නවාද ඇහුවා. අවුරුදු විස්සක් එකම ඇමැති කෙනෙක් දකිනවා නම් මිනිස්සු වෙනසක් වෙන්න ඕන කියලා විශ්වාස කරන්නේ නැද්ද කියලා ඇහුවා. 

ජාතික හැඳුනුම්පත මැතිවරණයකදී අනිවාර්ය කළේ කොතරම් අමාරුවෙන්ද කියලා මම ඇහුවා. ඒ නිසා කාටවත් හොර ඡන්ද දාන්න වෙන්නේ නැහැ කියලා මම මහින්දට කිව්වා. හොර ඡන්ද දාන්න අයිතිය තිබුණා නම් 2015 මැතිවරණය මහින්ද දිනනවා. 

එදා රැස්වීම ඉවර වෙලා එන වෙලාවේ මහින්දගේ කනට කරලා කාටවත් ඇහෙන්න නැති වෙන්න රිස්ක් එකක් ගන්න එපා කියා කියලයි ආවේ.
පැරදුණාට පස්සේ මහින්ද හමුවුණේ නැද්ද?

එක වතාවක් හමුවුණා. ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා දීම ගැන කතා කිරීමටයි. මෛත්‍රී මහින්දට නාම යෝජනා දීමට අකමැති වන විට මම මැදිහත්වෙලා තමයි නාම යෝජනා අරගෙන දුන්නේ. 

ඊට පස්සේ ඒ බව මහින්දට දැනුම්දීමට ඔහු හමුවුණා. මහ මැතිවරණයෙන් පසුව කවදාවත් මට ඔහු හමුවෙලා නැහැ. මැතිවරණයෙන් පස්සේ හැමෝම කාල්ටන් එකට ගිහින් ඔහු හමුවුණත් මම ගිහින් හමුවුණේ නෑ.

chandrika-mahinda-dew

සාකච්ඡා කළේ සංජය නල්ලපෙරුම - ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහින්ද - චන්ද්‍රිකා ගැටුම ගැන ඩිව් ගුණසේකර හෙළිකරන කතාව"

    Post a Comment