08 October, 2016

ජීවිතයත් මරණයත් අත්විඳිමින් මිනී එම්බාම් කරන දිරිය කතක් වූ රුවන්වැල්ලේ කුමාරිගේ ජීවිත කතාව

මම දවස ගානේ මරණය ළඟින්ම අත්දකිනවා..

මම තනියම මිනිය එම්බාම් කරලා ගෙදරට භාර දෙනවා..

හිතේ හයියයි විශ්වාසයයි තියෙනවානම් ජීවිතේ කරන්න බැරි දෙයක් නෑ වගේම ජීවිතේ දිනන්නත් බැරි නැහැ.

මොන රැකියාව කළත් තමන් කරන දේ ගැන ආඩම්බරයක් වගේම ඒ රැකියාවට ගරුත්වයක් තියෙන්න ඕනේ. මොකද අපි කාටත් මොන රැකියාව කළත් ඒ හැමෝගෙම සේවය උවමනා වෙන අවස්ථා තියෙනවා.

අපි මේ විදිහට කතා කරන්න හිතුවේ ජීවිතේ දිනන්න වෙරදරන, කාන්තාවක් වෙලත් අන් කිසිම කෙනෙක් ලේසියෙන් නොකරන දෙයක් කරන දිරිය තරුණියක් ගැන අහන්න ලැබුණු නිසා.

මේ කාන්තාව හොයාගෙන අපි රුවන්වැල්ලට ගියා.

ඇය තමයි දිනූෂා කුමාරි. ලාබාල වියේ පසුවන ඇයට තාම වයස අවුරුදු 22 යි. ඇය රැකියාව විදිහට කරන්නේ මිනී එම්බාම් කිරීම.

ඒ වගේම අවමංගල්‍ය කටයුත්තක් වුණාම සිරුර එම්බාම් කරලා මෘතදේහයත් රැගෙන අවමංගල්‍ය රථය පදවාගෙන යන්නෙත් ඇය විසින්මයි.

ගම්මුන්ට ඇය හර්ස් පැදවීම සාමාන්‍ය කටයුත්තක් වුවත් මෙය බොහෝ දෙනෙකුට සාමාන්‍ය සිදුවීමක් නොවේ.
රුවන්වැල්ල සමූපාකාර මල් ශාලාවේ හිමිකාරිය වූ ඇය දැන් සිය නිවසේ සිට මේ කටයුතු සිදුකරනවා.

දිනූෂා 15 හැවිරිදි වියේ පසුවද්දී ඇගේ වයසේ පසුවන අනෙක් දැරියන් කළේ කෙළිසෙල්ලම්ය. නමුත් දිනූෂා කුමාරි සිය පියාගේ මිනී පෙට්ටු සාප්පුවේ අත්උදව්වට ගියාය.

මළසිරුරු නහවන්නට පියාට උදව් කරමින් ඇගේ ගමන ආරම්භ කළාය. වැඩිහිටියන් පවා මියගිය මිනිසුන්ගේ සිරුරුවලට හා හොල්මන්වලට බිය වෙද්දී දිරිය කාන්තාවක් වූ දිනූෂා බිය යන වචනයද නොහඳුනන කාන්තාවක් ලෙස කටයුතු කිරීම පුදුමයට කාරණයක්.

දිනූෂාගේ උපන් ගම රුවන්වැල්ල. ඇය පාසල් ගියේ රුවන්වැල්ල මහා විද්‍යාලයටය. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබූ දිනූෂා මේ වෙද්දි ඇයටම හිමි මල්ශාලාවක හිමිකාරියක්.

දිනූෂා රැඩිකල්, අසම්ප්‍රදායික, නූතන පන්නයේ තරුණියක වන බවක් බොහෝදෙනකුට සිතෙන්නට පුළුවන්. රස්සාව විදිහට පොල් ගස් නගින, කුලී වැඩ කරන, ත්‍රිරෝද රථ පදවන ගැහැනුන් ගම්වල ඕනෑතරම් ඉන්නවා.

ඒත් දිනූෂා ඊට හාත්පසින්ම වෙනස් දිරිය තරුණියක්.

මේ වගේම දිනූෂට ඕනම පෙට්‍රල් හෝ ඩීසල් වාහනය එංජිමක් අලුත්වැඩියා කරන්න පුළුවන්.

තවමත් පෙම්වතෙක් නොමැති ඇයට පාසල් වියේදීද පෙම්වතෙකු නොසිටි බව ඇය අපත් සමග පැවසුවා.

ඇයට නිදහසක් ලැබෙන වෙලාවෙදි ඇය තෝරගන්නේ රූපලාවන්‍ය හා විලාසිතා කරන්න.

ඇගේ අනාගතය ගැන අහුවම ඇය කිව්වේ විවාහ වෙන්න තාමත් හිතලා නෑ කියලයි. ඒ වගේම ඊට කළින් හොඳ ගෙයක් හදලා වාහනයක් ගත්තට පස්සේ හොඳ මනාලයෙක් කැන්දාගෙන එනවා කියලා දිනූෂා කිව්වා.

ඒ වගේම තමන් කිසිම දිනක මිනිස්සු මැරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ කියලත් ජීවිතේ කියන දෙය විශ්වාස කරන්න බැරි බවත් තමන් දවස පුරා මරණය යනු කුමක්ද කියලා ළඟින්ම අත්විදිනවා කියලත් කිව්වා.

ගැරේජ් එකත් දියුණු කරගන තමන්ගේ අවමගල්‍ය සාප්පුවත් දියුණු කරගෙන ජීවිතේ දිනන එක දිනූෂගේ ලොකු බලාපොරොත්තුවක්.

පිරිමියෙක් වගේ හරි හරියට හැප්පෙමින් වැඩ කළත් ඇය තමන්ගේ රැකවරණයට වගේම ආදරයට පිරිමියෙක් පතන්නේ තමන්ගේ රැකියාව කිසිම තැනකදි පහත් නොකරමින්.

ජීවිතයත් මරණයත් දැකලා තමන්ගේ ජීවිතය ගෙනියන දිරිය කාන්තාවක් වන දිනූෂා තවත් බොහෝ කාලයක් මිනී පෙට්ටිවලට උර තියනු ඇති.

ruwanwelle-kumari-who-embalms-bodies


-හිරුගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජීවිතයත් මරණයත් අත්විඳිමින් මිනී එම්බාම් කරන දිරිය කතක් වූ රුවන්වැල්ලේ කුමාරිගේ ජීවිත කතාව"

    Post a Comment