07 September, 2016

දිල්ෂානි රෝසා දිහා නම් පැත්තවත් බලන්නේ නෑ

ගංගු ඇයි රෝසා වගේ චණ්ඩියෙක්ට මේ තරම් ආදරේ?

මොකද ඒ වෙනකොටත් ගංගුට මනමාලයෙක් ඕන වෙලයි හිටියේ. ඉතින් ඒ කෙනා චණ්ඩියෙක් කියන එක එයාට ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ නිසයි රෝසාට ආදරේ කළේ.

අයියගෙ මිනීමැරුම හොයන්න ගිහින් රෝසට ආදරේ කළා කියලා මිනිස්සු කතා හදයිනේ?

මම නම් අයියගේ මිනීමැරුම ගැන හොයන්න ගියේ නැහැ. තාත්තගේ අරමුණ තමයි අයියගේ මිනීමරුව හොයා ගන්න එක. මට ඕන වුණේ පෙම්වතෙක්. ඒ නිසා මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ.

එතකොට ඇත්තම මිනීමරුවා රෝසා නෙවෙයිද?

එයා නම් නෙවෙයි. මං හිතන්නේ ඒ ගැන හරියටම දැනගන්න නම් උලත් එකයි පිලත් එකයි ෆිල්ම් එක බලන්නම වෙනවා.

හරි දැන් දිල්ශානි ගංගු වුණේ කොහොමද කියන්නකෝ?

ඒක නම් මටවත් හිතාගන්න බැහැ. මං හිතන්නේ අධ්‍යක්‍ෂවරයත් හිතුවෙ නැහැ මට ගංගුගේ චරිතය කරන්න පුළුවන්ද කියලා.

චිත්‍රපටයක ප්‍රධාන චරිතය ලැබීම ලේසි වැඩක් නෙවෙයි නේද?

ඔව්. මේ මට චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන්න ලැබුණ මුල්ම අවස්ථාව උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයයි. ඒක ලේසි නෑ තමයි. මාව මේ චරිතයට තෝරා ගත්තට මම අධ්‍යක්‍ෂවරයාටයි, නිෂ්පාදකවරයාටයි ස්තුතිවන්ත වෙනවා.

මේ දිල්ශානිගේ මුල්ම චිත්‍රපටයද?

නැහැ. මං මීට කලින් මගෝඩි ගොඩයි චිත්‍රපටයේ වගේම චැලේන්ජස් චිත්‍රපටයෙත් රඟපෑවා. හැබැයි ප්‍රධාන චරිතය රඟපාන්නෙ මුල්වතාවට.

රොෂාන් රණවන කියන කඩවසම් නළුවා එක්ක රඟපාන්න දිල්ශානි හීන මැව්වද?

රොෂාන් එක්ක රඟපාන්න හීනයක් තිබුණෙ නෑ. චැලෙන්ජර් චිත්‍රපටයේ රොෂාන්ගේ පෙම්වතියට හිටියෙ ශේෂාද්‍රි. මම ශේෂාද්‍රිගේ සහෝදරියටත් කලින් රඟපෑව නිසා මීට කලින් මම රොෂාන් එක්ක රඟපාලා තියෙනවා. ඒත් රොෂාන් එක්ක ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබෙයි කියලා නම් කොහොමත්ම හිතුවෙ නැහැ.

වෙළෙඳ දැන්වීම්වල කාලයක් ඉඳලා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණම ගෙදර අයට සතුටු ඇති නේද?

ඔව්. එයාලා මට කියන්නේ මට කරන්න පුළුවන් දෙයක් නම් කරන්න කියලා. ප්‍රධාන චරිතයක් ලැබුණ එකට නම් මවුපියො සතුටු වුණා. මම චිත්‍රපටය ගැන මුලින්ම අම්මට කිව්වම අම්මා ඇහුවෙ ඔයාට මේක කරන්න පුළුවන්ද කියලයි. හැබැයි අන්තිමට එයත් සතුටු වුණා මගේ චරිතය දැකලා.

එහෙම සතුටු වෙන දිල්ශානි ළඟ විශේෂ කෙනෙක් මේ වෙනකොට ඉන්නවද?

එහෙම කෙනෙක් දැනට නම් නැහැ.

දිගටම රඟපාන්න හිතනවද? නැත්නම් ආපහු වෙළෙඳ දැන්වීම්වලම දකින්න වෙයිද?

වෙළෙඳ දැන්වීම්වලට යන්නේ ඒවා ඉක්මනට ප්‍රේක්‍ෂකයා අතරට යන නිසා. මම "ජොබ්ලස් ඩග්ලස්" චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය කරලා තියෙන්නේ. ඒත් ප්‍රේක්‍ෂකයන් අතරට එන්න කල් යන නිසා තමයි මාව වැඩිපුර වෙළෙඳ දැන්වීම්වල දකින්නේ. තවත් නාට්‍ය දෙකකත් වැඩ කළා. ඒත් තාම මේ නිර්මාණ එකක්වත් දකින්න ලැබෙන්නෙ නැහැ.

සමහර චිත්‍රපට අධ්‍යක්‍ෂවරු තමන්ගේ චිත්‍රපටයේ නිළියට වෙන නිර්මාණවලට නොයන්න තහංචි දානවලු. දිල්ෂානිටත් එහෙමද?

නැහැ. මට එහෙම නම් බාධාවක් වුණේ නැහැ. මට නිදහස දීලා තියෙන්නේ. ඒත් මම එක රාමුවකට සීමාවෙලා එකම විදියෙ චරිත කරන්න නම් කැමැති නැහැ. තමන්ටම අභියෝගයක් වෙන විදියෙ චරිත තෝරාගන්න තමයි මම කැමැති.

උලත් එකයි පිලත් එකයි ගංගු නම් ඔයා ඇත්තටම රෝසට ආදරේ කරනවද?

මම ගංගු වුණා නම් රෝසට ආදරේ කරයි. ඒත් දිල්ෂානි නම් පැත්තවත් බලන එකක් නැහැ.




ශාලිකා රංගනී සමරදිවාකර - මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිල්ෂානි රෝසා දිහා නම් පැත්තවත් බලන්නේ නෑ"

    Post a Comment