04 September, 2016

“තොපි මොකක්‌ද මේ කරපු අපරාදෙ” – සුලේමාන්ගේ ඝාතනයන් ගංජා උරමින් කළ සැළසුම ගැන පාපොච්චාරණය මෙන්න



මොහොමඩ් ෆසීර් කෝටිපති ව්‍යාපාරික සුලේමාන්ගේ ඝාතනයේ සැලසුම් කරුවායි.

ඔහු සුලේමාන්ගේ ව්‍යාපාරයේ රැකියාවට එන්නේ මීට වසර 8 කට උඩදී වන අතර එම රෙදි ව්‍යාපාරයේ ප්‍රධාන වෙළෙඳසැල තිබුණේ පිටකොටුව තුන්වැනි හරස්‌වීදියේය.

පසුගියදා කොළඹ නගරය ගංවතුරෙන් යටවෙද්දී මොහොමඩ් ෆසීර්ගේ ආදුරුප්පුවීදියේ තිබූ පුංචි නිවසද ගසාගෙන ගොස් ඇති අතර විවාහවීමට දින වෙන්කර තිබුණේද මේ කාලසීමාවේදීමයි.

ගංවතුරට තම නිවහන අහිමිවීම නිසා ෆසීර් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ඒ අවස්‌ථාවේ ෆසීර්ගේ පිහිටට ආවේ තම ස්‌වාමියා වන සුලේමාන් ඔහුගේ පියා සහ පවුලේ සාමාජිකයන් බවයි පැවසෙන්නේ.

“ෆසීර් උඹ කිසි දේකට බයවෙන්න එපා වෙඩින් එක හොඳට කරමු. උඹේ ගේත් අපි හදලා දෙන්නම්. ඕනෙම දේකට අපි ඉන්නවා.”

ෆසීර් පත්ව සිටි අසරණ තත්ත්වය තේරුම් ගත් සුලේමාන් සහ ඔහුගේ පියා මංගල උත්සවය සහ විනාශවූ නිවස ඉදිකර ගැනීමට රුපියල් ලක්‍ෂ පහක මුදලක්‌ ඒ මොහොතේම ලබා දී තිබෙනවා.

ෆසීර්ගේ මනාලියට ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා ද රුපියල් පනස්‌දහසක මුදල ලබා දී ඇත්තේ ද සුලේමාන් බවයි පැවසෙන්නේ.

“සර් මට ආසයි වෙඩින් එකට සර්ගෙ වාහනේ යන්න. පුළුවන්කමක්‌ තියෙනව නම් මට ඒ උදව්ව කරන්න.

ෆසීර් සිය මංගල ගමන යැම සඳහා සුලේමාන්ගේ මොන්ටේරෝ ජීප් රථය ඉල්ලා සිට ඇති අතර ඒ ඉල්ලීම ඉවත නොදැමූ සුලේමාන් මංගල උත්සවය සඳහා තම මොන්ටේරෝ ජීප් රථය ද ෆසීර්ට ලබාදී තිබෙනවා.

විවාහවී වැඩි දවසක්‌ ගතවන්නට පෙර ෆසීර්ගේ සිත වෙනස්‌ වන්නට පටන් ගෙන ඇති අතර මුදල් අවශ්‍යතා දිගින් දිගටම මතුවීම නිසා තමන් විශාල මුදලක්‌ එකවර ලබා ගන්නා ආකාරය ගැන සිතන්නට වූ බව ඔහු සඳහන් කර තිබෙනවා.

ආදුරුප්පුවීදියේ රස්‌තියාදු කාරයන් පිරිසක්‌ ඔහුගේ සමීපතම මිතුරන් වී ඇති අතර දිනපතාම සවස්‌ කාලයේ ඔවුන් සමඟ ගංජා සුරුට්‌ටු උරමින් මත්පැන් පානය කරමින් කාලය ගතකරන්නට ෆසීර් පුරුදුව සිටි බවයි පැවසෙන්නේ.

“උඹ වැඩකරන්නෙ ලංකාවෙ ඉන්න ප්‍රසිද්ධ සල්ලිකාරයෙක්‌ ළඟ. අපි ට්‍රයි එකක්‌ දෙමු මිනිහගෙන් සල්ලි ටිකක්‌ ගන්න.”

ෆසීර්ගේ මිතුරකු අලුත් යෝජනාවක්‌ කර ඇත්තේ එවැනි අවස්ථාවකයි.

“අපි සුලේමාන්ව උස්‌සමු. දවසක්‌ දෙකක්‌ මිනිහව කොහේ හරි තියාගෙන හිටියහම තාත්තගෙන් සල්ලි ගන්න පුළුවන්. රුපියල් කෝටියක්‌ දෙකක්‌ කියන එක සුලේමාන්ගෙ පවුලෙ අයට ලොකු ගාණක්‌ නෙමෙයි.” ෆසීර් ද එයට කැමැත්ත පළ කර තිබෙනවා.

මීට මාස එකහමාරකට උඩදී ෆසීර් තමන් මිතුරන් දෙදෙනකුද සමඟ සුලේමාන්ගේ නිවස පිහිටි බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප්‍රදේශය වෙත ගොස් සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු ලබා ගෙන ඇති බව පොලිසියට සඳහන් කර තිබෙනවා.

සුලේමාන්ගේ නිවස ඉදිරිපිට සීසීටීවී කැමරා සවිකර නොමැති බවත් රාත්‍රී කාලයේදී නිවස ඉදිරිපිට මාර්ගය අන්ධකාරයේ තිබෙන බවත් තහවුරු කර ගෙන ඇත්තේ එහිදීයි.

සුලේමාන් නිවස අසලටම පැමිණ මෝටර් රථය නතර කර සිය බිරිඳට දුරකථනයෙන් කතාකර දොර විවෘත කර ගැනීම පුරුද්දක්‌ ලෙස කරගෙන යන බව සොයා ගෙන ඇති අතර නිවස අසලට පැමිණ දොර විවෘත කරනතුරු රැඳී සිටින කාලසීමාවේදී ඔහු පැහැර ගැනීම වඩාත් සුදුසු බව ෆසීර් තීරණය කර තිබෙනවා.

සුලේමාන් පැහැර ගැනීම සඳහා මෝටර් රථයක්‌ කුලී පදනම මත ලබා ගැනීමට ෆසීර් සැලසුම් කර ඇති අතර මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් රුපියල් 45,000 ක මුදලකට මෝටර් රථයක්‌ කුලී පදනම මත ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කප්පම් සිද්ධියට සම්බන්ධවී සිටි තරුණයන්ට මෝටර් රථ පැදවීමේ හැකියාව නැති නිසා රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ ද ෆසීර්ය.

“සුලේමාන්ගේ අම්මයි තාත්තයි ඉන්දියාවට ගියා. ඒ අය එන්නෙ 22 වැනිදා පාන්දර. අපි 21 වැනිදා රෑ සුලේමාන්ව උස්‌සමු. එතකොට 22 වැනිදා පාන්දර ලංකාවට එන සුලේමාන්ගේ තාත්තාගෙන් සල්ලි ටික ගන්න පුළුවන්.සුලේමාන්ගෙ තාත්තා එයාට ආදරෙයි. සුලේමාන්ගෙ සතුට වෙනුවෙන් එයා ඕනෙම දෙයක්‌ කරනවා. ඒ නිසා සුලේමාන්ව බේරාගන්න එයා අනිවාර්යයෙන්ම අපට සල්ලි දෙනවා.” ෆසීර් සිය මිතුරන්ට සඳහන් කර තිබෙනවා.

සිය සැළසුම ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ෆසීර් සහ ඔහුගේ මිතුරන් සිවු දෙනෙකු බම්බලපිටිය කොතලාවල ඇවනිව් වෙත කුලී මෝටර් රථයෙන් පැමිණ ඇති අතර එදින රාත්‍රී 11.30 ට පමණ සුලේමාන් සිය නිවස අසලට පැමිණ තිබෙනවා.

“මම වාහනෙන් එළියට බහින්නෙ නැහැ. උඹල ගිහිල්ල සුලේමාන්ව කොහොම හරි අරගෙන වරෙල්ලා. වාහනයට ගේන්න ඉස්‌සර මිනිහගේ අත් දෙකයි ඇස්‌ දෙකයි බැඳලා දාන්න ඕනෙ. බැරිවෙලා හරි මිනිහා මාව අඳුනගත්තොත් අපේ ප්ලෑන් සේරම වතුරේ යනවා.” යැයි ෆසීර් සිය සගයන්ට සඳහන් කර තිබෙනවා.

සුලේමාන් සිය නිවස අසල මෝටර් රථය නවතා ඉන් බිමට බහිනවාත් සමඟම කඩු පිහි අමෝරාගත් සිවු දෙනෙකු ඔහු වෙත කඩා පැන ඇති අතර නාඳුනන සන්නද්ධ පිරිස දුටු සැණින් සුලේමාන් බියට පත්ව කොතලාවල ඇවනිව් මාර්ගය ඔස්‌සේ මුහුදු තීරය දෙසට දිවයන්නට වී ඇති බවයි අපරාධකරුවන් සඳහන් කර ඇත්තේ.

මීටර් සියයක්‌ පමණ දුර සුලේමාන් පසු පස පන්නාගෙන ගිය ෆසීර්ගේ සගයන් සුලේමාන්ගේ හිසට මන්නා පිහියේ මිට ප්‍රදේශයෙන් වේගවත් පහරක්‌ එල්ල කළේ ඔහු අඩපණ කරවන අරමුණෙන්ය.

හිසට එල්ලවූ ප්‍රහාරයෙන් අන්දමන්ද වූ සුලේමාන් බිම ඇද වැටී ඇති අතර මෝටර් රථයෙන් රැගෙන යන අතරතුරදී ඔහුට වමනය ගොස් තිබෙනවා.

“බලපල්ලා මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියලා. ඔළුවට වැදිච්ච පාරෙන් මිනිහට සිහි නැති වෙලාද කොහෙද?

ෆසීර් සිය සගයන්ට පවසා ඇති අතර සුලේමාන්ගේ හිසේ ඇතිවී තිබූ තුවාලයෙන් ද ඒ වන විට දැඩි ලෙස රුධිරය වහනය වෙමින් තිබූ බවයි පැවසෙන්නේ.

“සුලේමාන් මැරිලා. දැන් ඉතින් මිනිහව අරගෙන ගිහින් වැඩක්‌ නැහැ” ෆසීර්ගේ මිතුරකු සඳහන් කර ඇති අතර එය ඇසීමෙන් ෆසීර් දැඩි ලෙස කෝපයට පත්ව තිබෙනවා.

“තොපි මොකක්‌ද මේ කරපු අපරාදෙ. මම කිව්වනේ මිනිහට මොකුත් අනතුරක්‌ කරන්න එපා කියලා. දැන් බලපල්ලා මම කොහොමද මේ මිනිස්‌සුන්ට මුහුණ දෙන්නේ කියලා……”

ෆසීර් කෑගහන්න පටන් ගෙන ඇති අතර මෝටර් රථයේ ගමන් කරන අතරතුර ඔවුන් අතර ගැටුමක්‌ද ඇතිව තිබෙනවා.

“දැන් කරන්න දෙයක්‌ නැහැ. මේ මිනිහ කොහෙට හරි දාලා අපි මාරුවෙමු. එහෙම නොවුණහොත් අපි සේරටම ගුටි කන්න වෙන්නේ”. 


කප්පම් කල්ලියට සම්බන්ධ වූ එකකු යෝජනා කර ඇති අතර හෙම්මාතගම ප්‍රධාන මාර්ග අසල වාහනය නතර කළ තමන් සිය සගයන් ද සමඟ එක්‌ව සුලේමාන්ගේ නිසල සිරුර හෙළකට තල්ලුකර දැමූ බව ෆසීර් පාපොච්චාරණය කර ඇති බවයි පැවසෙන්නේ.

“හෙට උදේ 9.00 වෙනකොට මම රෙදි කඩේ ඉන්න ඕනෙ. එහෙම නොවුණහොත් හැමෝම මා ගැන සැක කරනවා. මේ වාහනය අරගෙන යන්න කොළඹින් කාව හරි ගෙන්නගමු. මම වාහනය තියලා බස්‌ එකේ කොළඹට යනවා. උඹලා හෙට දවල් වෙද්දී කොළඹට වරෙල්ලා. සුලේමාන්ගේ තාත්තාට කෝල් එකක්‌ දීලා රුපියල් කෝටි දෙකක්‌ ඉල්ලලා බලමු. බැරිවෙලා හරි මිනිහා සල්ලි දෙන්න කැමති වුණොත් ඒ සල්ලි අරගෙන එන්න වෙන්නේ මටමයි. ඒ නිසා මම මේ වෙලාවෙ කඩේ ඉන්න ඕනෙ”. ඉදිරි සැලසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ෆසීර් සිය සගයන් දැනුවත් කර ඇත්තේ එලෙසයි.

තම ස්‌වාමියා ඝාතනය කර කිසිවක්‌ සිදුනොවූ අයුරින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්‌ව දුක බෙදා ගැනීමට කොළඹ පැමිණි ෆසීර් කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.


(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“තොපි මොකක්‌ද මේ කරපු අපරාදෙ” – සුලේමාන්ගේ ඝාතනයන් ගංජා උරමින් කළ සැළසුම ගැන පාපොච්චාරණය මෙන්න"

    Post a Comment