03 August, 2017

අන්තර්ජාලයේ සූර චෞරයෝ

Climbing on wall

අන්තර්ජාලය හා ෆේස්බුක් පරිහරණය කරන යම් ප්‍රතිශතයක් එය අවභාවිත කරන්නාක් මෙන්ම නිදහස වගකීම් විරහිතව භුක්ති විඳින බව පැහැදිලිය. ඒ මත පදනම්ව වාරණ පැනවීමට වඩා සමස්තයක් ලෙස මෙහිදී වැදගත් වන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහස තහවුරු වීමයි. එම නිදහස වගකීම් සහගතව භාවිතා කිරීමට වගබලා ගැනීම අවශ්‍යය. සමාජ ජාල භාවිතයේදී පිළිපැදිය යුතු කොන්දේසි මෙන්ම ප්‍රතිපත්ති මාලාවක් ද තිබේ. ඔබ Community Standards කියවා බැලිය යුතුය. එවිට මේ පිළිබඳ බොහෝ කාරණා පැහැදිලි කරගත හැකිවනු ඇත. එහිදී අදාළ වන්නාවූ මූලික කාරණයක් නම් තමන්ගේ ගිණුම තමන්ගේ නමින්ම පවත්වාගෙන යාමය. ෆේස්බුක් පාලනය කිරීමට වඩා එකිනෙකා විසින් එනම්, සමාජය විසින්ම එම පාලනය ඇතිකර ගැනීම සුදුසුය.

අන්තර්ජාල අවභාවිතය පිළිබඳ මේ වසරේ ගතවූ මාස 6 ක කාලසීමාව තුළ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1600 කි. ඉන් පැමිණිලි 80% ක් පමණ මුහුණු පොතේ ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම පිළිබඳය.

සය මසක කාලසීමාවකදී මෙපමණ පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබීමෙන් එහි වර්ධනයක් ඇති බව පැවසීම හෝ එම සංඛ්‍යාව මතුකර දැක්වීම හෝ නිවැරදි නැත. සිදුවිය යුත්තේ මේ කාරණය සන්සන්දනාත්මකව විග්‍රහ කර ගැනීමය.

ලැබෙන පැමිණිලි සංඛ්‍යාව වැඩිවීමට බලපාන හේතු කිහිපයක් තිබේ. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පිළිබඳ දැනුවත්වන පිරිස සහ ෆේස්බුක් සමඟ එක්වන පිරිස ගිය වසරට වඩා මේ වසරේ වැඩිවීම ඉන් සමහරකි. ජනගහනය වැඩිවීම මෙන්ම අන්තර්ජාලය සහ සමාජ ජාල භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම තවත් කාරණාය.

ඔබ ඔබේ නමින් ෆේස්බුක් ගිණුමක් විවෘත කළේ නම් එය හරහා ඔබ සමඟ සම්බන්ධ වීමට ඔබගේ මිතුරන්ගෙන් නෑදෑ හිතවතුන්ගෙන් ඉල්ලීම් ලැබේ. ඒවා ඔබේ මිතුරු ලැයිස්තුවට එක්වන්නේ ඔබ ඒවා බාරගතහොත් පමණි. ඊට අමතරව ඔබ ද ඔබ දන්නා හඳුනන අය එකතු කරගනු ඇත. ඔබ ඡායාරූප තොරතුරු ආදිය ඇතුළත් කිරී‍ෙම්දී මේ අතරින් ඒවා ඔබට අවශ්‍ය අදාළ පිරිසට පමණක් යොමුකිරීමට ද හැකියාව ඇත. ඔබේ මිතුරන් අතර සිටින පාසල් මිතුරන්, සරසවි මිතුරන්, කාර්යාල මිතුරන් වැනි විවිධ මිතුරන් අතරින් ඒවා අවශ්‍ය කාටද යන්න සිතා බලා යොමුකළ හැකිය. නිදසුනක් ලෙස ඔබ සරසවි මිතුරන් සමඟ විනෝද චාරිකාවකට සම්බන්ධ වූ අවස්ථාවකදී ගත් ඡායාරූප ඔවුන් අතර පමණක් බෙදාහැරීමට පුළුවන.

විදේශගතව සිටින ඔබේ නෑදෑ හිතමිතුරන්ට ඔබ ගැන තොරතුරු දැනගැනීමට මෙන්ම ඔවුන්ගේ තොරතුරු ඔබට දැනගැනීමට ද, කලකින් හමු නොවූ මිතුරු - මිතුරියන් ගැන තොරතුරු දැනගැනීමට ද ෆේස්බුක් හරහා හැකියාව තිබේ.

ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවක්, විනෝදාංශයක් පිළිබඳ ඔබට උනන්දුවක් තිබේ නම් ඒ ගැන තොරතුරු මෙන්ම නව දැනුම හුවමාරු කරගැනීමට ද හැකියාව ඇත. මේ වන විට සෑම ගුවන් විදුලි නාලිකාවක්ම පාහේ අසන්නන්ගේ ඉල්ලීම් ලබාදීමේදී ද ෆේස්බුක් හරහා ඉදිරිපත් වන අයට අවස්ථාව ලබා දේ. තැපැල් පත් භාවිතය අඩුවෙමින් පවතී. තමන් කැමැති ගීතය ක්ෂණිකවම ලබාගෙන රසවිඳීමට හැකියාව ලැබී තිබේ.

හදිසි රෝගියකු වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන ලෙසට වන ඉල්ලීමක්, වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙසට වන ඉල්ලීමක් ෆේස්බුක් හරහා එම ඉල්ලීම ඉටුවනතුරු යොමුකළ හැකිය. ගංවතුර, නායයාම් වැනි ආපදා අවස්ථාවක ප්‍රජා සත්කාරක සේවා පවත්වාගෙන යමින් ද ඊට වැඩ කොටසක් ඉටුකළ හැකි බවට සාධක තිබේ. මේ සඳහන් කළ සියල්ල ෆේස්බුක් නිසි භාවිතය සඳහා නිදසුන්ය. එහෙත්, මෙය අවභාවිත කිරීම ද සිදු වේ. නිදසුනක් ලෙස ගංවතුර ආධාර බෙදා දෙන ඡායාරූප කිහිපයක් පළකර මුදල් ගරන ජාවාරමක යෙදීම, කිසියම් අවස්ථාවකදී ගත් ඡායාරූප වෙනත් ස්ථානයක පළකර නුසුදුසු අදහස් හා ප්‍රතිචාර දැක්වීම දැක්විය හැකිය.

ලැබී ඇති පැමිණිලි අතරින් 80% ක් තරම් ඉහළ සංඛ්‍යාවක් පෙන්නුම් කරන්නේ එක් අයකුගේ නමින් තවත් අයෙක් පෙනී සිටිමින් කටයුතු කිරීමය. එක් තැනක ඇති පිංතූර තවත් තැන්වල අනවශ්‍ය අන්දමින් පළකිරීම ආදිය ‍එය අවභාවිත කරන්නන් කරයි. අසභ්‍ය පින්තූර ලෙස ඒවා පළනොකෙරුණද කෙනෙකු අපහසුවට පත්වන අන්දමේ ප්‍රතිචාර, අදහස් දැක්වීම් සිදුවේ.

තම පවුලේ අයගේ ඡායාරූප සම්බන්ධයෙන් මෙවැනි දේ කරන අය එසේ ක්‍රියාකරන්නේ ‍නැත. තමන්ගේ මවගේ, බිරිඳගේ හෝ සොහොයුරියගේ ඡායාරූප එසේ භාවිත නොකරයි.

ෆේස්බුක් හරහා නොවුණත් අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන බව දක්වමින් වංචාකාරී ලෙස හැසිරෙන අවස්ථා තිබේ. නිදසුනක් ලෙස නයිජීරියාවේ සිටින අයකුගෙන් ඔබේ මිතුරකු වීමට ඉල්ලීමක් ලැබිය හැකිය. විදේශීය මිතුරකු නිසා ඔබ ඊට කැමැති වීමට බොහෝ ඉඩ තිබේ. මාසයක් දෙකක් ගතවන විට ඔහු හෝ ඇය ඔබට රත්‍රං හෝ අයි ෆෝන් එකක් තෑග්ගක් වශයෙන් එවන බව පවසනු ඇත. තවත් ටික දිනකින් තැපෑලෙන් හෝ රේගුවෙන් බව පවසමින් ඔබ වෙත ලැබෙන දුරකථන ඇමතුමකින් දැනුම් දෙන්නේ ඔබේ නමට විදේශ රටකින් තෑගි පාර්සලයක් ලැබී ඇති බවය. එය ලබාගැනීමට යම් මුදලක් ගෙවීමට සිදුවන බව ද මෙහිදී දන්වනු ඇත. එම මුදල රජයේ ගිණුමට බැර කළහොත් ඊට ටික දිනක් ගතවිය හැකි බැවින් එය ඇමතුම ලබාදෙන්නාගේ ගිණුමට බැර කරන ලෙස ද එවිට වඩාත් කඩිනමින් මේ ත්‍යාගය ඔබ වෙත ලබාදීමට හැකිවන බව ද කියා සිටී. මේ ගැන ඔබ සැකයක් ඇතිකර නොගන්නා තරම්ය. අනෙක් අතට මෙය ලොකු මුදලක් ද නොවේ. ඔබ අදාළ ගිණුමට මුදල් බැර කළ කොපමණ දිනක් බලා සිටියද එවැනි ත්‍යාගයක් ඔබට ලැබෙන්නේ නැත. ඇත්ත එයයි.

තවත් අවස්ථාවක් නම් අන්තර්ජාලයේ පළවන දැන්වීම්ය. රුපියල් ලක්ෂයක පමණ ජංගම දුරකථනයක් පනස්දහසකට විකිණීමට ඇතැයි පළවූ විට වැඩිදෙනා එයට උනන්දුවක් දක්වති. දුරකථනය විකිණීමට ඇතැයි පවසන තැනැත්තා දැන් ඔබට දන්වනු ඇත්තේ ඉල්ලුම වැඩි වී ඇති නිසා ඉක්මනින් රුපියල් 2000/- ක පමණ අත්තිකාරම් මුදලක් තැන්පත් කරන ලෙසය. විශාල මුදලක් නොවන මෙය ඔබ ඉක්මනින්ම තැන්පත් කරනු ඇත. එහෙත් ඔබට ජංගම දුරකථනයක් නොලැබේ.

මේ අන්දමින් බොහෝ දෙනකුගෙන් අත්තිකාරම් මුදල් වංචා කිරීම මෙහිදී සිදුවේ. මෙවැනි අවස්ථාවක පොලිසියට පැමිණිල්ලක් කිරීමටවත් බොහෝ දෙනා ඉදිරිපත් නොවෙති. එමෙන්ම මෙවැන්නක් ගැන පරීක්ෂණ කිරීමට එතරම් උනන්දුවක් ද නොතිබෙනු ඇත.

එවැනි පසුබිමක මේ අන්දමේ මුදල් වංචා තවදුරටත් සිදුවන බව දැනුවත්ව සිටිය යුතුය. යම් භාණ්ඩයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එය පරීක්ෂා කර බලා තහවුරු කර ගැනීමෙන් පසු මිලදී ගැනීමට වගබලා ගැනීමෙන් වංචනිකයන්ට හසුනොවී සිටීමට හැකි වේ.

තවත් ඇතැම් දේ කරගැනීමට පහත පියවර අනුගමනය කරන ලෙස උපදෙස් ලැබේ. එහිදී User name, Pass wordද ඉල්ලා සිටිනු ඇත. එලෙස ලබාගන්නා මුරපද භාවිත කරමින් ඔබේ ගිණුම හැක් කළ හැකිය. මෙවැනි අවස්ථාවලදී ඔබ කල්පනාකාරී විය යුතුය.

සාමාන්‍යයෙන් යාහු, ගූගල් ආදිය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වූ පසු එම මුල් අවස්ථාවේ හැරුණු විට අතරමැදදී මුරපද ඉල්ලා සිටින්නේ නැත. එබැවින් යම් ක්‍රියාදාමයක අතරමැද දී මුරපද ඉල්ලා සිටින විට ඔබ කල්පනාකාරී විය යුතුය. මුරපද වෙනස් කිරීමට ඔබට අවශ්‍ය නම් මෙනුවේ ඇති Settings වෙත යාමෙන් ඔබට එය කළ හැකිය. පියවර 2 තහවුරු කර ගැනීමේ ක්‍රමය (two steps veryfication method) අනුගමනය කිරීම ද සාර්ථක පියවරකි.

‍එහිදී භාවිත කරන්නාගේ නම, මුරපදයට අමතරව ජංගම දුරකථන අංකය ද ලබාදීමට හැකියාව තිබේ. එවිට කිසිවකු ඔබේ මුරපදය භාවිත කරමින් ගිණුමට ඇතුල්වීමට වෑයම් කළද කෙටි පණිවිඩයකින් ඔබට දැනුම් දීමක් සිදුවන නිසා අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට ඔබට හැකියාව ලැබේ. එබැවින් ඔබේ ගිණුම හැක්වීමෙන් වළක්වා ගැනීමට මෙම දෙපියවර ආරක්ෂක ක්‍රමවේදය භාවිත කිරීම සුදුසුය.

තවත් හොඳ ක්‍රමයක් වන්නේ ඔබේ ගිණුම හරහා යොමුකරන ඡායාරූප අවශ්‍ය අයට පමණක් දැකගැනීමට හැකිවන පරිදි යොමුකිරීමයි. විවිධ මානසික මට්ටම්වල අය මෙම සමාජ ජාලාවල එක්ව සිටින නිසා අනවශ්‍ය ප්‍රතිචාර හා අදහස් දැක්වීම් එමඟින් වළක්වා ගැනීමට හැකියාව ලැබේ.

අන්තර්ජාලය හා ෆේස්බුක් පරිහරණය කරන යම් ප්‍රතිශතයක් එය අවභාවිත කරන්නාක් මෙන්ම නිදහස වගකීම් විරහිතව භුක්ති විඳින බව පැහැදිලිය. ඒ මත පදනම්ව වාරණ පැනවීමට වඩා සමස්තයක් ලෙස මෙහිදී වැදගත් වන්නේ අදහස් ප්‍රකාශනයේ නිදහස තහවුරු වීමයි. එම නිදහස වගකීම් සහගතව භාවිතා කිරීමට වගබලා ගැනීම අවශ්‍යය.

සමාජ ජාල භාවිතයේදී පිළිපැදිය යුතු කොන්දේසි මෙන්ම ප්‍රතිපත්ති මාලාවක් ද තිබේ. ඔබ Community Standards කියවා බැලිය යුතුය. එවිට මේ පිළිබඳ බොහෝ කාරණා පැහැදිලි කරගත හැකිවනු ඇත. එහිදී අදාළ වන්නාවූ මූලික කාරණයක් තමන්ගේ ගිණුම තමන්ගේ නමින්ම පවත්වාගෙන යාමය. ෆේස්බුක් පාලනය කිරීමට වඩා එකිනෙකා විසින්ම සමාජය විසින්ම එම පාලනය ඇතිකර ගැනීම සුදුසුය. සෑම පුද්ගලයකුටම ගෞරවයක්, අභිමානයක් ඇති අතර එය ආරක්ෂා කිරීම විය යුතුය.

විවිධ ත්‍රස්තවාදී සංවිධාන හා කණ්ඩායම් ද මෙවැනි සමාජ ජාල සිය ක්‍රියාකාරකම් සඳහා හසුරුවන බැවින් ඒ ගැන ද සැලකිලිමත් විය යුතුය. එවැනි අවස්ථා පිළිබඳ වාර්තා කිරීමට (Report) හැකියාව තිබේ. යම් ප්‍රමාණවත් පිරිසක් එලෙස වාර්තා කළ විට එවැනි ගිණුම් අත්හිටුවීමට, වසා දැමීමට ක්‍රියා කෙරේ.

සදාචාරාත්මකව සහ ස්වයං විනයකින් යුතුව මෙන්ම වගකීම් සහගතව සමාජ ජාල තුළ කටයුතු කරන්නේ නම් පැමිණිලි කිරීමට ද අවශ්‍යතාවක් ඇති නොවේ. රිය අනතුරු සිදුවුවද මහමාර්ගයේ වාහන ගමනාගමනය තහනම් කිරීමක් සිදු නොවේ. විය යුත්තේ රියැදුරන් සහ මඟීන් මාර්ග නීති පිළිපදිමින් වගකීම් සහගතව මාර්ගය භාවිත කිරීමය. මෙහිදී විය යුත්තේ ද එයමය.

ෆේස්බුක් වැනි සමාජ ජාල සමඟ එක්ව කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු කොන්දේසි හා ප්‍රතිපත්තිවලට එකඟව ක්‍රියා කිරීමයි. එය සංකීර්ණ කාරණයක් නොවේ. කුඩා කාලයේ පටන්ම කිසිවකුටත් කරදරයක්, හිරිහැරයක් නොවන පරිදි ජීවත්වීමට අප හුරුවී තිබේ නම් මෙවැනි ගැටලු උද්ගත වන්නේ නැත. (ධම්මික සෙනෙවිරත්න - දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අන්තර්ජාලයේ සූර චෞරයෝ"

    Post a Comment