15 August, 2017

මිනිසකුවීමේ මිල සහ බිල

why-worry-sad-man
FilePhoto
බිය හා කනස්සල්ලේ මිලට අනුව මිනිසාට, මනුෂ්‍යයකු වීම සඳහා අනිවාර්යය බිලක් ගෙවන්න සිද්ධවෙලා තියෙනවා.

සෑම සියලු මනුෂ්‍ය ජීවිතයකම, කනස්සල්ල හා බිය ඉතාමත් ස්වභාවිකයි. මේ ඒකාකාරී, මලානික, ලෞකික ලෝකයේ රැඳී ඇති ‍ඕනෑම කෙනෙකුගේ මනසක් මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමක් ලබන්නේ නැහැ. ඒත් මේ කනස්සල්ල හා බිය තමන් තුළ තියාගන්න කෙනෙකු අකමැති නම්; ඔහුට හෝ ඇයට තමාම පවිත්‍රකර ගනිමින් පරිපූර්ණ පාරමිතාවට එළඹෙන්න පුළුවන්. මේ නිසා කෙනෙකුට ප්‍රමාණවත් තරමට නුවණ හෙවත් ප්‍රඥාව ඇත්නම්, තමන්ගේ මනස සංස්කරණය කරගනිමින් ජීවිතයේ සොබාවය වටහා ගැනීම ඔස්සේ කනස්සල්ල හා බිය මෙල්ල කරගන්න බැරි නෑ.

බොහෝ දිගු කාලයක් පුරා ආශාවන් ලුහුබැඳ යන පුද්ගලයින් හට තමන් පෙළන දුක හා සාංකාව හෙවත් කාංසාව නම් පැටලිලිකාරී මනෝභාවයන් පවිත්‍ර කර ගැනීම සඳහා ඉගෙනුමක් ලැබීමට ඉස්පාසුවක් නෑ. ඒ විතරක් නෙවෙයි, එවැනි දේ තමන් තුළ තියෙනවා කියා පිළිගැනීමටත් ලැජ්ජයි. නමුත් කායික, මානසික හා සදාචාරාත්මක සැප සනීපයට අහිතකර මේ චිත්තවේගී හැඟීම්වලට විශාල බලශක්තියක් ඇති බව තේරුම් ගන්න ඕන.

ඒත් මේ පිරිස කල්පනා කරන්නෙ; බිය සහ කනස්සල්ල බෝතල් කර, ඇබ මූඩි ගසා කල් යන රෝග හා ශාරීරික යාන්ත්‍රණය අඩපණ කරන රෝගවලින් ගැලවෙන්න කල්පනා කිරීමයි. නමුත් මේ සියල්ලට පිළිතුරු ඇත්තෙ නිවැරදි භාවනා ක්‍රමවේද හෝ මානසික ගුණ වගා ක්‍රම‍විධිවලින් පමණයි. මන්ද, සියලු දුක් වේදනා වැලපීම්වලට හේතුව යහ අතට මනස පුරුදු පුහුණු නොකිරීම නිසා.

මේ අරබයා බුදුන් මෙහෙම පවසනව: ‘ඔබේ සියලු සන්තාප, සිත් තැවුල් හා ශෝකයන්ට හේතුව ඔබේම ඔබේම ක්‍රියා කලාපයන්. ඔබේ මේ කනස්සලු ක්‍රියා කලාපයන් පැන නැ‍ඟෙන්නේ ඔබේම නොදැනීම, නූගත්කම හෙවත් අවිද්‍යාවෙන් (දැනුම හෝ තොරතුරු හිඟවීමෙන්) ඔබට ඇති සිත් තැවුල් පිසදා හරින අන්දම ගැන මම ඔබට උගන්වන්නම්. නමුත් වැඩේ කරගන්නා එක ඔබේ කාරියක්’.

බුදුන්ගේ මේ ඉගැන්වීමට අනුව, ඔබේ දුක්ගැනවිල්ල සමඟ සාර්ථකව ගනුදෙනු කිරීමේදී බරපතළම කාරිය ඉටුකරන්නේ ඔබේම අධිෂ්ඨාන ශක්තියයි. නැවතත් බුදුන් මෙලෙස පවසනව. ‘ඇල්මෙන් (ඇදී බැඳීමෙන්) ශෝකය (සමීප කෙනෙකුගේ මරණය බඳු අවස්ථාවකදී ඇතිවන ගැඹුරු වැලපුම) උපදී: ඇල්මෙන් බිය උපදී; ඇල්මෙන් නිදහස ලැබූ තැනැත්තාට බොහෝ ශෝකයක් නැත. බියත් අඩුය’.

මේ ඉගැන්වීමට අනුව ලෝකයේ විවිධාකාර දේවලට ප්‍රමාණය ඉක්මවූ ඇල්ම, වැලපීම් හා බියට තවත් ප්‍රධාන හේතුවක් වෙනව. බුදුන් තවදුරටත් අපට මෙලෙස අවවාද කරනව. ‘සංවේදක ඉන්ද්‍රියයන්ගේ (ඇස - කන වැනි) දොර කවුළුවලට අප විසින් මුරකාවල් දැමීම සුදුසුයි. ආහාර කිස ගැනීමේදී හික්මවා ගැනීම සුදුසුයි. බුද්ධිමය පිරිපහදු බවකින් යුතුව අඳුරු දුක්ඛදෝමනස්සයන්ගෙන් නිදහස්වීම සුදුසුයි’.

මෙම ඉගැන්වීමෙන් ඉතාමත් පැහැදිලිව අපට පෙන්වා දෙන්නේ; සෑම සියලු කනස්සල්ලකම, අබන්නයකම, බියකම ඇති අවාසනාවන්ත පාර්ශ්වයෙන් නිදහස්වීම පිණිස භාවිතා කළ හැකි ක්‍රමවේදයක් ඇති බවයි. ඔබේ සන්තාප සඳහා අනුනට දොස් තැබීමට නැඹුරුවක් ඔබට ඇතිවිය හැකි නමුත්, ඔබ ඔබේ මනසට නිසි රැකවල් ලා සිටින්නේ නම්; අනෙක් අයට ඔබේ මනස තුළ කනස්සල්ල පැලපදියම් කරන්න බැහැ. කරදර ඇති කිරීමේ හැකියාවක් පිටස්තරයන්ට තියෙන්න පුළුවන්. ඒත්, ඔබට ඇති පදමට නුවණ ඇත්නම් ඒ කරදරවලට නිර්භීතව මුහුණ දෙන්න පුළුවන්.

අත්දැකීම් අපට උගන්වන හොඳ පාඩමක් තමයි; ශාරීරික හා මානසික යන දෙවර්ගයේම රෝගී සෞඛ්‍ය තත්ත්වයන්ට හේතුව කනස්සල්ල බව. දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ ගෑස්ට්රික් බඳු රෝග වෛද්‍ය විද්‍යාව විසින් හඳුනාගෙන තිබෙන්නේ කාංසාව සමඟ එකට එකක් සම්බන්ධව පවතින ඒවා විදිහට. බොහෝ ක්‍රියාකාරී කායික රෝග සඳහා රෝගීන්ගේ මානසිකත්වය බලපෑම් ඇතිකර තිබෙන බව පිළිගැනීමට අද දින බොහෝ වෛද්‍යවරුන් නැමියාවක් දක්වනව.

මේ අනුව බලන විට ඔබේ දුක් අ‍ඳෝනා හා දුක් ගැනවිලි කිසිදා ඔබේ ගැටලු නිරාකරණය කරන්නේ නැහැ; ඒ වෙනුවට කරන්නේ ඔබව ශාරීරිකව හා මානසිකව විනාශ කරමින් ඔබට කිසිදු උපකාර නොකරමින් අපේක්ෂිත ප්‍රතිලාභවලට ද ගරු නොකිරීමයි. ඒ විතරක් නෙවෙයි, නිවස, කාර්යාලය හා සමාජය තුළදී පවා අතිශය ලෙස සෞඛ්‍යයට අහිතකර වටපිටාවක් මවන පුද්ගලයකු බවට ඔබ හැඩගසා තිබෙනව. අන් අයගේ සාමය හා සතුටට බාධා හා විනාශය ගෙන දුන් පුද්ගලයෙක් වශයෙන් ද ඔබට වගකීම් භාර ගැනීමට සිදු වී තිබෙනව.

සාර්ථකත්වය හා සතුටට බාධාකාරී මානසික තත්ත්වයන් අතර වඩාත් සෞඛ්‍ය හානි හා බියකරු වන්නේ කනස්සල්ලයි. ඇයි දුකෙන් කියල ඉතාමත් ස්වභාවික ප්‍රශ්නයක් මිනිසුන් නිතර අහනව. මේ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් තනි වචනෙ පිළිතුරක් නැහැ. මිනිස්සු දුක්වෙන්නෙ මම සහ මගේ කියන සිතුවිලි නිසා. අප අප ගැනමත් අපගේ ආදරය යොමු වූ අය ගැනත් පුලපුලා දැඩි සේ ප්‍රාර්ථනය කරන්නෙ ආරක්ෂාව නමුත් සීඝ්‍රයෙන් වෙනස්වන ලෝකයක වෙනස් නොවන ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න බෑ. වැල්ලේ මාලිගාවක් තනන්නා හැම රැල්ලකටම බය වෙනව.

ලබන සතියේ - මෝඩකමේ හා ආත්මාර්ථයේ දරුව: බය
ආචාර්ය කේ. ශ්‍රී ධම්මානන්ද හිමිෙග් Why Worry ග්‍රන්ථයෙනි
සිංහල කළේ - සමුනි සමරකෝන් (දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මිනිසකුවීමේ මිල සහ බිල"

    Post a Comment