02 August, 2017

බුලත් අපනයනකරුවන්ගේ ගැටඵ විසඳීමට පියවර

Rishad Bathiudeen - 02

පාකිස්ථානයට බුලත් අපනයනය කිරීමේදී පාකිස්ථානු රජය විසින් පැනවූ "නව නියාමන බද්ද" මඟින් මෙරට බුලත් වගාකරුවන් පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සොයා බලා එයට අවශ්‍ය විසදුම් කඩිනමින් ලබාදීමට මැදිහත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මෙරට පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා හා අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් ඊයේ (31) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය ජුලි මස පළවෙනිදා (01) සිට ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානයට අපනයනය කරන බුලත් සදහා කිලෝ ග්රෑමයකට ශ්‍රී ලංකා රුපියල් 291 ක නව නියාමන බද්දක් පනවා ඇති අතර එම නිසා දේශිය බුලත් වගාකරුවන් මෙන්ම බුලත් අපනයනකරුවන්ද තම නිෂ්පාදන අළෙවි කරගතනොහැකිව දුෂ්කරතාවයට පත්ව ඇත.

මෙහිදී අදහස් දැක්වු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේ මෙම නව බද්ද මගින් දේශිය බුලත් වගාකරුවන් හා බුලත් අපනයනකරුවන් පත්ව ඇති ගැටඵ විසදා ගැනීමට තමා හා තම අමාත්‍යාංශය මැදිහත් වන බවත්, මේ සදහා කඩිනම් සහනයක් තමා පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස්වරයා හරහා පාකිස්ථානු රජයෙන් බලාපොරොත්තු වන බවත්ය. මේ පිළිබදව විසඳුමක් බුලත් ගොවියාට ලැබෙනතුරු තමා මේ පිළිබදව පෞද්ගලිකවම සොයා බැලීමටද කටයුතු කරන බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පවසීය. මේ පිළිබදව සොයා බලන ලෙස ඉල්ලා සිටි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද අමාත්‍යවරයා මෙහිදී ස්තූතිය පලකරන ලදි.

මෙම සාකච්ඡාව සදහා සහභාගීවූ පාකිස්ථානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් ඛාන් මහතා පවසා සිටියේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දේශීය බුලත් ගොවියා හා බුලත් අපනයනකරුවන් වෙනුවෙන් ඉදිරිපත්වී මෙලෙස තමා හරහා තම රජයට කල ඉල්ලීම පිළිබදව ඉක්මන් විසදුමක් ලබාදීමට කටයුතු කරන බවත් මේ අනුව ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවේ බුලත් ගොවියාට සතුටුදායක පිළිතුරක් ලබාදීමට හැකිවෙතයි තමා අපේක්ෂා කරන බවත් මෙහිදී නියෝජ්‍ය මහකොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසීය.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බුලත් අපනයනකරුවන්ගේ ගැටඵ විසඳීමට පියවර"

    Post a Comment