02 August, 2017

ඔස්ට්‍රේලියාවේ සරසවි සිසුන්ගෙන් අඩක් ලිංගික "හිංසනයට" ලක් වෙලා

University sexual abuse

ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් 2016 වසර තුළ දී එක් වරක්වත් ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බව ජාතික මට්ටමේ සමීක්ෂණයකින් හෙළි වේ.



එරට මානව හිමිකම් කොමිසමේ වාර්තාවකට අනුව 2015 හෝ 2016 යන වසරවල දී සරසවි සිසු සිසුවියන්ගෙන් 7% ලිංගික වශයෙන් පහරදීම්වලට ලක්ව ඇත.

සරසවි සිසුන්ට වඩා සිසුවියන් එවැනි පහරදීම් හෝ හිංසනයන්ට වැඩි වශයෙන් ගොදුරු වී ඇති බව ද කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල හා සම්බන්ධ ලිංගික හිංසනය පිළිබඳ ඕස්ට්‍රේලියාව තුළ කෙරුණු විශාලතම සමීක්ෂණය මෙය බව පැවසේ.

ලිංගිකත්වය මත පදනම්ව වෙනස් ලෙස සැළකීම පිළිබඳ සොයා බලන කොමිසමේ ප්‍රධානී කේට් ජෙන්කින්ස් කියා සිටියේ අදාළ වාර්තාව මගින් විශ්ව විද්‍යාල ජීවිතය පිළිබඳ කැළඹිලිකාරී චිත්‍රයක් ලබා දෙන බවය.

"ලිංගික පහරදීම් සහ හිංසනයන්ට ලක් වීම සිසු සිසුවියන් සිය ශාස්ත්‍රීය, සමාජීය සහ නේවාසික ජීවිතයේ ලබන අත්දැකීම්වල සාමාන්‍ය කොටසක් බව දැන ගන්න ලැබීම කණස්සල්ලට කරුණක්" යනුවෙන් ඇය පැවසුවාය.

"අවාසනාවකට, මෙවැනි අත්දැකීම් නිසා ඇතිවන බලපෑම ජීවිතය වෙනස් කරනසුළු. සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ අනාගත වෘත්තීය ජීවිතයට බලපාන භයානක තත්ත්වයක් විය හැකියි"

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වෙනස් මට්ටමින් ලිංගික පහරදීම් සහ හිංසන සිදුවන බව විශ්ව විද්‍යාල 39 ක් සහ සිසු සිසුවියන් 31,000 ක් යොදා ගනිමින් කළ අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.

ලිංගික හිංසනය යනු

ලිංගික පහරදීම අර්ථ දක්වා ඇත්තේ: "අකැමැත්තෙන් හෝ අවසරයකින් තොරව, කැමැත්ත ඉවත් කර ගත් අවස්ථාවක යමෙකු බලහත්කාරයෙන් හෝ රවටා, ලිංගික ක්‍රියාවකට එක් කර ගැනීම" යනුවෙනි.
කාමුක ලෙස බලා ඉඟි කිරීම හෝ කාමුක අදහස් පළ කිරීම වැනි ලිංගිකත්වය හා සම්බන්ධ අනවශ්‍ය හැසිරීම් රටාවන් ලිංගික හිංසනය යටතට ගැනේ.

"ලිංගික පහරදීම්වලට ලක් වූ පස් දෙනෙකුගෙන් එක් අයෙකු කියා සිටියේ විශ්ව විද්‍යාලය තුළ දී හෝ නේවාසික පොදු හමුවක දී තමන් එවැනි සිදුවීමකට මුහුණ දුන් බවයි" යනුවෙන් කේට් ජෙන්කින්ස් සඳහන් කළේය.

"විශේෂයෙන් විශ්ව විද්‍යාල තුළ ඇති ස්වභාවය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව අපට පෙනී ගියා. එම වාතාවරණය තුළ විශේෂයෙන් කාන්තාවන් පුරුෂයන්ට වඩා හතර ගුණයක් ලිංගික පහරදීම්වලට ගොදුරු විය හැකියි"

සමීක්ෂණය මගින් සොයා ගත් වෙනත් කරුණු:

  • ලිංගික හිංසනයට ලක් වූ 51% ක් සහ ලිංගික පහරදීම්වලට ලක් වූ 45% ක් අපරාධයට සම්බන්ධවූවන් සියල්ල හෝ සමහරකු දැන සිටීම
  • ද්වීලිංගික (Bisexual) හෝ ලිංගික රුචියක් නැති (Asexual) සිසු සිසුවියන් ලිංගික පහරදීම්වලට ලක්වීමට වැඩි ඉඩකඩක් පැවතීම
  • අපරාධකරුවන්ගෙන් වැඩි දෙනා පුරුෂයන්ය 

(බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඔස්ට්‍රේලියාවේ සරසවි සිසුන්ගෙන් අඩක් ලිංගික "හිංසනයට" ලක් වෙලා"

    Post a Comment