05 August, 2017

ඇන්ජලීනා ජොලී පටි රෝල් කර ගනී

Angelina Jolie

ජීවිතයේ සුන්දර සේම අසුන්දර කාල පරිච්ඡේදවලට මුහුණ දීමට සිදුවන්නේ සාමාන්‍ය පොදු ජනතාවට පමණක් නොවේ. සමාජයේ ඉහළ ස්ථරවල වැජඹෙන සුපිරි තාරකාවන්ටද කරදර ප්‍රශ්නවලින් ගැලවුමක් නැත ය යන ලෝක ධර්මතාව සනාථ කරන හොඳම නිදර්ශනය වන්නේ මේ දිනවලදී සුපිරි හොලිවුඩ් නිළි, ඇන්ජලීනා ජොලී මුහුණ දී සිටින අර්බුදකාරි තත්ත්වයයි.

හොලිවුඩයේ සිටින වඩාත්ම ප්‍රේමණීය හා ආදර්ශමත් යුවළක් ලෙස දොළොස් වසරක කාලයක් සිය සමකාලීන රංගධරයන් හා රසිකයින් අතර ගෞරවාදරයට පාත්‍ර වූ ඇන්ජලීනා ජොලී හා බ්‍රැඩ් පීට් යුවළගේ එම ආදරණීය සම්බන්ධයට කණකොකා හැඩුවේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී ය. කාලයක් තිස්සේම දෙදෙනා අතර විරසකකම් පැවති බව කියැවුණත්, ඒ බව ලෝකයට තහවුරු වූයේ ජොලී-පීට් යුවළගේ වැඩිමහල් දරුවා වූ මැඩොක්ස් හා පීට් අතර හටගත් බහින්බස් වීමක් මුල්කර ගනිමින් ජොලී සිය සැමියාගෙන් දික්කසාද වීමට මුල පිරිමත් සමඟයි. 

මෙබඳු වෙන්වීම්වලින් අඩුවක් නැති හොලිවුඩ් පුරයේ ජොලී-පීට් කුරුළු කූඩුව බිඳී යාම උණුසුම් සිරස්තල මැවීමට හේතු වුණේ, ඔවුන් රන්රස සේ ආදරයෙන් පෑහී සිටි සුපිරිම තාරකා යුවළක් වූ නිසාම පමණක් නොව, මෙම දික්කසාදයට මුල් වූ ළමා හිංසන චෝදනා මුල්කර ගනිමින් බ්‍රැඩ් පිට්ට එරෙහිව එෆ්.බී. අයි. ආයතනය විසින්ද විමර්ශනයක් ඇරඹීම නිසයි. තවමත් දික්කසාද කටයුතු සම්පූර්ණව නොතිබුණත් ජොලී හා පිට් දැන් සිය ජීවිත ගෙන යන්නේ වෙන් වෙන්ව ය. 

කෙතරම් කරදර මධ්‍යයේ වුවද දරුවන් සයදෙනාගේම පුර්ණ භාරකාරීත්වය තමන්ටම තබා ගැනීමට උත්සුක වූ ජොලී, තමා මේ දිනවලදී මුහුණ දෙමින් සිටින්නේ සිය ජීවිතයේ වඩාත්ම අසීරු කාල පරිච්ඡේදයකට බව පසුගියදා ‘වැනිටි ෆෙයා‘ සඟරාව සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී අවංකවම හෙළි කර තිබුණා ය.

හොලිවුඩයේ විශිෂ්ටතම රංගන ශිල්පිනියක හා චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස පමණක් නොව මානව හා කාන්තා අයිතීන් වෙනුවෙන් කැපවී සේවයේ නියැළෙන ඒ පිළිබඳ දේශන පවත්වමින්, එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් පිළිබඳ විශේෂ නියෝජිතවරියක ලෙසද අතිශය කාර්යබහුල වෘත්තීය ජීවිතයක් ගෙවන ජොලීට දරුවන් සයදෙනකුගේ වගකීම තනිවම කරට ගැනීමට සිදුවීම අසීරු අභියෝගයක්ව තිබේ. එහි දුෂ්කරතාව වැඩියෙන් දැනිමට ඇය මුහුණදී සිටින අසහනකාරි මානසික තත්ත්වයද එක් හේතුවක් බව රහසක් නොවේ. ජොලී විවේචනය කරමින් ඇය සැබෑ ලෙසම මානව හිතවාදිනියක් නොවන බවට මහජන මතයක් ගොඩනැඟෙන්නේ මෙබඳු දුෂ්කර වාතාවරණයකදී යි.

ජොලී කේන්ද්‍රකර ගත් මෙබඳු ආන්දෝලනයක් හටගැනීමට හේතු වූයේ ඇය සිය නවතම චිත්‍රපටය සඳහා කාම්බෝජ දරුවන් තෝරාගැනීමේදී අනුගමනය කළ වැඩපිළිවෙළ විස්තර කරමින් වැනිටි ෆෙයා සඟරාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවයි. කාම්බෝජ ජාතික ‘ලුන්ග් උන්ග්‘ විසින් සිය අත්දැකීම් ඇසුරෙන් 2000 වසරේදී ලියා පළකළ ‘First they killed my father’ නමැති කෘතිය පදනම් කරගනිමින් ජොලී විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිත මෙම චිත්‍රපටයට ප්‍රධාන ළමා චරිත තෝරා ගැනීමට ඇය පසුගියදා කාම්බෝජයේ සංචාරයක නිරත වුවාය. 

කෙමර් රූජ් පාලන සමයේදී කාම්බෝජය බිලිගත් ලෙයින් වැකුණු බිහිසුණු මිනිමරු කාලපරිච්ඡේදය පිළිබඳ කියැවෙන මෙම චිත්‍රපටයේ චරිත සඳහා ජීවිතයේ අමිහිරි දුෂ්කරතාවන් සැබෑ ලෙසම අත්විඳි ළමුන් තෝරා ගැනීමට ඇන්ජලීනා අනුගමනය කර තිබුණේ මනුෂ්‍යත්වයට නිගා කරන අන්දමේ, අනුකම්පා විරහිත පිළිවෙතක් බව මෙම සම්මුඛ සාකච්ඡාව නැරඹූ බහුතරයකගේ පිළිගැනීම විය. කාම්බෝජයේ අනාථ දරු නිවාස, මුඩුක්කු පාසැල් යනාදියේ සංචාරය කොට තෝරාගත් ළමුන් පිරිසක් අතරින් ඇය සිය ප්‍රධාන චරිත තෝරාගෙන තිබුණේ සංවේදී ළමා සිත් රිදවන ආකාරයේ පරික්ෂණයට ඔවුන් ලක් කිරීමෙනුයි.

එහිදි ඔවුන් අතර මුදල් බෙදා දුන් ජොලී, එම මුදල් තමන්ට කෙතරම් දැඩිව ඕනෑකර තිබෙන්නේද කියා සිතට දැනෙන අයුරින් විස්තර කිරීමට නොහැකි වූ ළමුන්ගෙන් ආපසු එම මුදල් ඩැහැගෙන තිබිණි. ජොලී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවට අනුව දිගු වේලාවක් ඉතා හැඟුම්බර ලෙස එම මුදල් දෙස දෑස් අයා බලාහිඳ එම මුදල් ආපසු ලබා ගැනීමේදි හඬා වැටී තිබුණේ ‘ස්රේ මොච්‘ නමැති දැරිය පමණි. හඬමින් ඇය කියා තිබුණේ ඇගේ සීයා මියගිය බවත්, ඔහුට නිසි අවමංගල්‍ය උත්සවයක් ලබාදීමට තරම් වත්කමක් ඇගේ පවුල සතුව නැති බවත් ය. අවසානයේදී ජොලී සිය චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතයට තෝරා ගත්තේ එලෙස හැඟුම්බර වූ ස්රේ මොච්ව ය.

ජොලී මෙලෙස නිර්දය ලෙස දිළිඳු කාම්බෝජ දරුවන්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කිරීම නපුරු මනෝවිද්‍යාත්මක කවටකමක් බවත්, එය මනුෂ්‍යත්වයට ඔබින්නේ නැති බවටත් චෝදනා කරමින් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල විශාල ආන්දෝලනයක් ඇතිවීමට මෙම සිදුවීම හේතුව තිබේ. විශේෂයෙන්ම ඇය වැනි මානව අයිතීන් වෙනුවෙන් නිතර හඬ නඟන, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක ලෙස මානුෂීයත්වය වෙනුවෙන් පෙනී සිටින්නියක මෙලෙස මනුෂ්‍යත්වය පාවා දෙන්නේ නම්, ඇන්ජලීනා ජොලී එබඳු ජාත්‍යන්තර මට්ටමේ තනතුරක් දැරීමට සුදුසු නොවන බව මෙලෙස ඇය විවේචනය කරන්නන්ගේ අදහස වී තිබේ.

හැලහැප්පීම් මැද ගෙවෙන ජොලීගේ පෞද්ගලික ජීවිතයේ අර්බුදකාරී කාල වකවානුවකදී නිර්මාණය වන ‘First they killed my father’ චිත්‍රපටය එහි රචිකාවියගේ අතිශය සංවේදී පෞද්ගලික අත්දැකීම් සමුදායක් කැටිකොට ගත්තකි. 1975 – 1979 අතර කාලයේදී කාම්බෝජයේ පාලනය ගෙන ගිය පොල් පොට්ගේ නායකත්වයෙන් යුතු කෙමර් රූජ් කොමියුනිස්ට් පාලනාධිකාරිය විසින් සිදුකළ මහා පොළොව නුහුලන මහා මිනිස් සංහාරයෙන් මිලියන දෙකක පමණ පිරිසක් මිය ගියහ. රටේ ජනගහනයෙන් 1/3ක් බිලිගත් මෙම බිහිසුණු සංහාරය පිළිබඳව කතා කිරීමට පවා කාම්බෝජ වැසියන් අදටද දක්වන්නේ බියමුසු මැලිකමකි.

අනෙක් අතට කාම්බෝජය යනු ඇන්ජලිනා ජොලීගේ හදවතට අතිශයින් සමීප රටකි. එහි පුරවැසිභාවයද හොබවන ඇය සිය ප්‍රථම දරුවා වන මැඩොක්ස් හදාවඩා ගැනීමට ගෙන ඇත්තේද එරටින් වන අතර මානව අයිතින් වෙනුවෙන් පෙනී සිටින්නියක ලෙස ඇය අද සිටින තත්ත්වය දක්වා විශාල චරිත පරිවර්තනයකට අඩිතාලම වැටුණේ ද කාම්බෝජයේදී ය. මේ නිසා ඇන්ජලීනාගේ මෙම චිත්‍රපටය කාම්බෝජ වැසියන් දකින්නේ කාම්බෝජයට ලබාදුන් ස්තූති තෑග්ගක් ලෙසයි. එබඳු තත්ත්වයක් යටතේ ජාත්‍යන්තරයේ දැවැන්ත ප්‍රතිරූපයක් හිමි තැනැත්තියක ලෙස ඇන්ජලීනා ජොලී මීට වඩා කල්පනාකාරිව කටයුතු කළ යුතුව තිබුණු බව මේ පිළිබඳ මැදහත් සිතින් බලන මධ්‍යස්ථ මතධාරින්ගේ අදහස වී තිබේ.

Angelina Jolie - 02

රුක්ලන්ති පෙරේරා

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඇන්ජලීනා ජොලී පටි රෝල් කර ගනී"

    Post a Comment