ලෝපරසිඳු ලේඛක අර්නස්ට් හෙමිංග්වේගේ මහල්ලා හා මුහුද නවකතාවේ කතා නායකයා සංතියාගු. ඔහු වියපත් ධීවරයෙක්. එහෙත් මුහුදු රස්සාව අතහරින්නෙ නැහැ. දිනක් මුහුදෙදි ඔහුට යෝධ තල්මහෙක් අහු වෙනවා. තල්මහා ගොඩට අරන් එන්න ඔහු කරන අරගලය තමා නවකතාවට පසුබිම් වී තිබෙන්නේ. හෙමිංග්වේ මේ කතාව මගින් කියා පාන්නේ ආත්ම ශක්තියත් ශිල්ප ඥානයත් ඇති වියපත් මිනිසකුට යෝධ තල්මසකු වුවත් මෙල්ල කිරීම අසීරු නොවන බවයි. එහෙමත් නැත්නම් අධිෂ්ඨානශීලී මිනිසකුට වයස යනු ඉලක්කමක් පමණක් බවයි.
වියපත් විය යනු කඳුළේ සුසුමේ හා අසරණභාවයේ සිපිරි ගෙදර තුළ හුදකලාවේ ගෙවී යන දුක්බර සමයක් ලෙසයි අද වියපත් බොහෝ දනන්ගේ මතය වී තිබෙන්නේ. වැඩඩිහිටි පරපුරට අත් වී තිබෙන කනගාටුදායක ඉරණම පිළිබඳ අපේ රටද ඇතුළු බෙහොමයක් රටවලින් අහන්න ලැබෙන ඇතැම් දුක්බර පුවත් දිහා බලන කොට වැඩිහිටියන්ගේ සිත් තුළ මුල් බැස ඇති මේ සිතිවිල්ල සාධාරණය කියාත් හිතෙනවා.
ඒත් මේ වියපත් සමාජය පිළිබඳ කතාවේ එක පැත්තක් විතරයි. දුක වේදනාව හා අසුබවාදී පුවත්ම විකුණාගෙන කන තරමේ බාල තත්ත්වයකට ඇද වැටී තිබෙන වත්මන් ජනමාධ්‍යයට නොපෙනෙන සුබවාදී සිදුවීම් ලෝකයේ කොයි තරම් සිදුවෙමින් පවතිනවාද කියා දැන ගන්න නම් අපි මේ මාධ්‍ය විලංගුවෙන් මිදිලා සැබෑ ලෝකය දෙස දෑස් විවර කර බලන්න ඕනා.
‘වයස ඉලක්කමක් විතරයි’ කියන ආදර්ශ පාඨය වටා අද ලෝකයේ වැඩිහිටි ජනතාවගෙන් විශාල ප්‍රමාණයක් එක් රොක් වී සිටින බව වත්මන් වැඩිහිටි සමාජයේ ක්‍රියාකාරකම් ගැන සොයා බලන්න අන්තර්ජාලය පැත්තේ පොඩි විපරමක යෙදුණොත් ඔබට ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වේවි. ඒත් එක්කම ඔබට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගන්න සිද්ධ වෙන අනිත් කාරණය තමා ලෝකය ඉතා වේගයෙන් වියපත් වෙමින් පවතින බව. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බැලීමට අනුව වසර 2050 වන විට අවුරුදු 60ට වැඩි ලෝක ජනගහනය බිලියන දෙකක් ඉක්මවනවා. එය 2000 වසරේ ලොව විසූ වැඩිහිටි ජනගහනය මෙන් තුන් ගුණයකටත් වැඩි බවයි ඔවුන් පවසන්නේ. ඉතිහාසයේ ප්‍රථම වරට 2050දී 60ට වැඩි ජනගහනය විසින් අවුරුදු 15ට අඩු ජනගහනය ඉක්මවනු ලබන බව වැඩි දුරටත් එම වාර්තාව පෙන්වා දෙනවා.
ජ්‍යෙෂ්ඨ පුරවැසි, වියපත් හා වැඩිහිටි ආදි නානාප්‍රකාර ගෞරවනීය නාමයන්ගෙන් හඳුන්වනු ලබන මහලු සමාජයේ සුබසාධනය කෙරෙහි අද සමස්ත ලෝකයේම පාහේ අවධානය යොමු වී තිබෙන්නේ මෙවන් පසුබිමක් යටතේයි. අද ලෝක මට්ටමින් සලකා බලන විට වැඩිම වැඩිහිටි ජනගහනයක් වෙසෙන රට හැටියට පිළිගැනෙන්නේ ජපානය. ජපන් ජනගහනයෙන් සියයට විසිහතක් පමණ අවුරුදු 65ට වැඩි අය බවයි හෙළි වී තිබෙන්නේ. 2030 වන විට එය සියයට 32ක මට්ටමට ළඟා වන බවත් පැවසෙනවා. ඊට අමතරව වැඩිහිටි ජනයාට ඉහළින්ම සලකන රට හැටියට ප්‍රථම ස්ථානය දිනා සිටින්නේ ස්විඩනයයි. නරකම සැලකිල්ල සහිත රට බවට ඇෆ්ගන්ස්ථානය පත්ව තිබෙනවා.
මෙසේ වියපත් ජනගහනය මේ ආකාරයෙන් ලෝකය පුරා වර්ධනය වෙමින් සිටිය දී මිනිසකුගේ වයස යනු ඉලක්කමක් පමණක්ය යන තේමාව මුල් කර ගනිමින් ලෝකයේ රටවල් රැසක් විවිධ වැඩසටහන් පවත්වාගෙන යන බව අපට දැන් අසන්න දකින්න ලැබෙනවා. මෑතක දී චීනයේ තියාන්ජිං නගරයේ පවත්වපු The Grand Bikini Event තරගය මීට කදිම නිදසුනක්. අවුරුදු 55න් ඉහළ කාන්තාවන් සඳහා පවත්වපු මේ තරගයට ඉදිරිපත් වූ වයස්ගතම කාන්තාව වන 78ට හැවිරිදි මා ජිංග්. ඇය සිනහමුසු මුහුණින් යුතුව මෙසේ කියා තිබුණා. ‘‘ මා දෙවරක් පිළිකා රෝගය වැළඳුණු කෙනෙක්. ඒත් මම ජීවිතේ ගැන බලාපොරොත්තු අත හැර නැහැ.’’වැඩිහිටි කාන්තාවන් 400ක් සහභාගි වූ මේ තරගයේ අරමුණ වී තිබුණේ තම සිරුර පිළිබඳ විශ්වාසයක් ඇති කිරීම හා වියපත් වීම කෙරෙහි සුබවාදි ආකල්පයක් වර්ධනය කිරීම බව සංවිධායකයන් ප්‍රකාශ කර තිබුණා.
මෙවැනි දිරි ගැන්වීමේ තරග බහුල වශයෙන් කාන්තාවන් සඳහාම පැවැත්වීමද ලොව පුරා දැකිය හැකි සුලබ ලක්ෂණයක්. පිරිමියාට වඩා වේගයෙන් කාන්තා පක්ෂයේ ශාරිරික හා මානසික තත්ත්වයන් පිරිහීම මෙයට හේතුව විය හැකියි. ලොරේන් හර්ටන් නම් 73 හැවිරිදි අමෙරිකානු නිළිය හා නිරූපිකාව යට ඇඳුම් වෙළෙඳ දැන්වීමකට පෙනී සිටිම පිළිබඳ මතබේදාත්මක තත්ත්වයක්ද පසුගිය කාලයේ පැන නැඟුණා. එහෙත් ලෝක ප්‍රකට විලාසිතා සඟරාවක් වන ‘වෝග්’ ඇය හැඳින්වූයේ බාධක බිඳලූ නිරූපිකාවක් ලෙසයි.
අයිරින් අෆ්ෆෙල්ගේ වයස අවුරුදු 94යි. ඇය ඕස්ටේ‍්‍රලියන් කතක්. ඇය අදත් විවිධ වෙළෙඳ දැන්වීම් සඳහා ඇගේ රුව ඉදිරිපත් කරනවා. ඇයට තිබෙන ඉල්ලුම වියපත් වීම නිසා අඩු වී නැති බවයි ඇය පවසන්නේ. ඒ වගේම 63න් හැවිරිදි ක්‍රිස්ටි බින්ක්ලිද තරගකාරී වෙළෙඳ දැන්වීම් වෙනුවෙන් පෙනී සිටිමින් ඇගේ කීර්තිය ලොව පුරා පතුරුවන නිරූපිකාවක්. මෑතක දී ඇය Sports Illustrated නම් ප්‍රකට සඟරාවේ කවරය සරසන දැන්වීමකට පෙනී සිටීමට සමත් වීම වයස ඉලක්කමක් පමණය යන පාඨයේ ජයග්‍රහණයක් ලෙස සැලකෙනවා.
මෙබඳු සුබවාදී සිදුවීම් ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් පැවතීම සතුටට කරුණක් බව සැබැයි. ඒත් සමස්තයක් හැටියට ගත්තහම ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් තවමත් වෙසෙන්නේ බිය සංකාව හා අසරණකම ආදි පීඩනයන්ගෙන් බැට කමිනුයි. එවැනි වැඩිහිටියන් කිහිප දෙනෙක් තම හැඟීම් ලොවට කියා පා ඇති සැටි පෙන්වා දීමත් අපේ වගකීමක්. මේ අය අයත් වන රටවල් සඳහන් වී තිබුණේ නැහැ. එහෙත් ඔවුන්ගේ මුහුණු හා ඇඳුම්වලින් ඔබට ඒ ගැන අනුමාන කර ගත හැකි වේවි. 80 හැවිරිදි පෙඩ්රෝ වේගා මෙහෙම කියනවා. ‘‘මට තියෙන ලොකුම බය මට කෑම හිඟ වී වැඩ කරන්න ශක්තිය නැති වෙයි කියලයි. අපේ ගම්වල මං වගේ වයසක මිනිස්සු කාගෙවත් හව්හරණකින් තොරව මැරී යනවා.
ඔබ වයසට යන විට කවුරුවත් ඔබව ගණන් ගන්නේ නැහැ.’’ මේ එවන් තවත් වියපත් කෙනෙක් කියන කතාවක්. ඇය 82 වියේ පසුවන ඉන්ගි‍්‍රඩ් ෆෝස්ටඩ් ‘‘මට බය මගේ මානසික හා ශාරිරික ශක්තිය පිරිහී එකතැන් වන තත්ත්වයකට පත් වෙයි කියලයි. වයසක අය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය තමා හුදෙකලා ජීවිතයක් ගත කරන්න සිද්ධ වීම.’’ හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියනවානෙ. අපි මේ සුබවාදී තොරතුරු දිහා වගේම අසුබවාදී තොරතුරු දිහාත් උපේක්ෂාවෙන් බලමු. (කමල් පෙරේරා - දිනමිණ)
Share this
|
|
0 Comment to "වයස යනු ඉලක්කමක් පමණි"
Post a Comment