02 August, 2017

ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු

abortion at house

පොළොන්නරුව වැනි ඈත ප‍්‍රදේශවල මේ වන විට රහසිගතව සිදුවන මෙම නීති විරෝධී ගබ්සා ජාලය ජනාකීර්ණ නගරයේ කෙතරම් රහසිගතව සිදුවනවා ඇත්ද? දවසකට මේ ලොව එළිය දකින්නට පෙරුම් පුරමින් කුස තුළ මෝරා වැඩෙන කලලයන් කීයක් විනාශ කෙරෙනවා දැයි කිසිවෙකුත් නොදනී. එය පිළිබඳව වැඩි අවධානයක් සෞඛ්‍ය අංශ හා අධ්‍යාපනය අයිති බලධාරීන් විසින් යොමු කළ යුතුව ඇත. මන්ද එහි ඇති භයානක තත්ත්වය රටේ අනාගතයට දැඩි ලෙස බලපාන බැවිනි. 

අඩු වයස් විවාහයන් පොළොන්නරුවේ පමණක් නොව මුළු ලංකාව පුරාම කිසියම් ප‍්‍රතිශතයකින් සිදුවෙයි. අප රටේ කාන්තා ජනගහනයෙන් සියයකින් තුනක් හෝ හතරක් එසේ අඩු වයස් ගැබ් ගැනීම් ලෙස වාර්තා වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. ගැබිනි ජනගහනය වසරකට දශ ලක්ෂයක් නම් 40,000ක් අඩු වයස් ගැබිනියන් නොවේද? මේ රජයේ වෛද්‍ය සායනවල ලියාපදිංචි සංඛ්‍යවයි.

දිනපතා පුවත්පත් හෝ ප‍්‍රවෘත්ති විකාශයන් දෙස අවධානය යොමු කිරීමේදී දිනකට එකක් හෝ අහවල් තැන බිළිඳු මළසිරුරක් නැතිනම් කලලයක් දමා ගිහින් තිබෙනවා යැයි අසන්නට නොලැබේද?

දිඹුලාගල ඈත ගම්පියසක අවුරුදු 13ක දරියක් ගැබිනියක වී ඒ පිළිබඳව මවට දැනගන්නට ලැබී පසුවදාම ඒ වැඬේ හරි කියලා ප‍්‍රතිචාර දක්වන්න තරම් නීති විරෝධී ගබ්සාව දැන් ප‍්‍රචලිතව තිබේ. එම දැරිය දැන් ගමෙන් පිටමන් කොට ඇත. දැරිය පිළිබඳව සොයා බැලීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටවත් හැකිවී නැත. පොළොන්නරුව දිස්ති‍්‍රක්කය පුරාම රහසිගතව සිදුකරන මෙම නීති විරෝධී ගබ්සාවන් පිළිබඳව අප කළ සූක්ෂම සොයා බැලීමකදී අනාවරණය වූයේ ඇතැම් පුද්ගලයින් නිවෙස්වලටම ගොස් කාටත් හොර රහසේ නිවෙසේදීම දැන් ඒ කටයුත්ත සිදුකරන බවයි. 

රුපියල් 3000ත් 10,000ත් අතර මුදලකට එවැන්නක් කරගත හැකි තැන්ද ඇත. තවත් සමහර නීති විරෝධී ගබ්සාවන් සිදු කරන්නවුන් කාන්තාව හෝටල් කාමරයකට ගෙන්වාගෙන එම කටයුත්ත සිදු කරති. මෙහිදී ගබ්සාවට අමතරව තබත් බොහෝ දේ සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. අරලගංවිල, මනම්පිටිය, දිඹුලාගල, මැදිරිගිරිය, ගිරිතලේ, බකමූණ, හිඟුරක්ගොඩ, පොළොන්නරුව යන නගරවල එවැනි වැඩවලට ප‍්‍රසිද්ධ පුද්ගලයෝ සිටිති.

”අපේ ළඟට මෙවැනි අය එනවා අඩුයි. නමුත් 2016වසරේ අතවරයක් නිසා අවුරුදු 12ක දැරියක් අම්මා කෙනෙක් වෙන්න හිටියා. ඇයගේ හා කුසේ දරු ගැබ ගැන බැලූ‍වාම ඉතාම අවදානම් තත්ත්වයක හිටියේ. මේ පිළිබඳව නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක්ම පරීක්ෂා කර බලා මවගේ ජීවිතයට තිබුණු දැඩි අවදානම් සහගත තත්ත්වය නිසා ගබ්සාවකට ගියා. නීතිමය වශයෙන් එවැනි පිළිසරණක් තිබෙනවා. නමුත් එය තීන්දු කරන්නේ විශේෂඥ වෛද්‍යවරයායි. ජීවිත අවදානම පමණයි පදනම. 

නැතිනම් එවැන්නක් සිදු කරන්න නීතියෙන් තහනම්.”‍ දිඹුලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මනෝරි වලිසුන්දර මහත්මිය පැවැසුවාය. කෙසේ වෙතත් නීති විරෝධී ගබ්සාවන් දිනකට ලංකාව පුරාම දහස් ගණනින් සිදුවන්නේ නම් එය ඉතාම බරපතළ කාරණයකි. මන්ද එවැනි තත්ත්වයන්ට මුහුණපාන කාන්තාවන්ගේ ජීවිත ආරක්ෂාව සහ සෞඛ්‍ය බරපතළ තර්ජනයකට ලක්වන අතර ඇය අනාගත ගැටළු රාශියකටද මුහුණ පාන බැවිනි.

”‍අවුරුදු 18අඩු කිසිම කෙනෙකුට විවාහ වෙන්න නීතියෙන් තහනම්. නමුත් අපි අඩු වයස් ගැබ් ගැනීම් ලෙස සලකන්නේ අවුරුදු 21ට අඩු අය. අවුරුදු 21ට අඩු ගැබ් ගැනීම් වළක්වන්න ප‍්‍රජා සෞඛ්‍ය වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කරනවා. නමුත් අපේ සායනවල සැලකිය යුතු සංඛ්‍යාවක් ලියාපදිංචි වෙනවා. ගබ්සාව නීතියෙන් තහනම් කිසිම කෙනෙකුට කුසට කුමන ආකාරයෙන් දරු ගැබක් ආවත් විනාශ කරන්න අයිතියක් නෑ. ඒ වගේම හැකියාවකුත් නෑ. 

විශේෂඥ වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් පමණක් ඔහු යටතේ රජයේ රෝහලකදී විද්‍යාත්මක ක‍්‍රමවේද අනුව නිවැරදි හා නවීන උපකරණ භාවිත කරමින් ඖෂධ ලබාදෙමින් සිදුකරනවා. නමුත් හොර රහසේ නීති විරෝධීව සිදුකරන ගබ්සාවන් ගැන අපට තොරතුරු ලැබෙන්නේ නෑ. එහෙම වුණත් දිනපතාම වාගේ රෝහල්වලට ඇතුළත් වන අධික ලෙස රුධිරය වහනය වන, උණ වැනි රෝගී තත්ත්වයන් නිසා හෝ ඇතුළත්වන බහුතර ගැබිනි මවුවරුන් අර කියපු නීති විරෝධී ක‍්‍රමවලට ගබ්සා කරගැනීමට උත්සාහ ගත් අය. පසුව ඒ බව වෛද්‍යවරයාට හෙළිදරව් වෙනවා.”‍ පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ළමා හා මාතෘ සෞඛ්‍ය භාරව කටයුතු කරන වෛද්‍ය සංජීව අමරසිංහ මහතා කියයි.

දිනපතාම පාහේ රෝහල්වලට අධික ලෙස රුධිරය වහනය වන හෝ වෙනත් රෝගී තත්ත්වයක් ලෙස හුවා දක්වමින් එවැනි කතුන් ඇතුළත්වන බව හෙතෙම සඳහන් කරයි. මෙහි ඇති බරපතලකම ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සංජීව අමරසිංහ මෙසේ ද පැවැසීය.

”‍ 2013 වසරේ දී පොළොන්නරුව දිස්ති‍්‍රක්කයෙන් එක් මාතෘ මරණයක් සිදුවුණා. නීත්‍යනුකූල නොවන ගබ්සාවක් සිදුකර අධික ලෙස රුධිරය වහනය වීමෙන්. නමුත් ඉන් මෙපිට අපට මාතෘ මරණ වාර්තා වෙන්නේ නෑ. ඊට හේතුව ඔවන් හැකි විගස රෝහල් ගත වීමයි. දිනපතාම එවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් රෝහල්ගත වෙනවා. මේ නීති විරෝධී ගබ්සාවන් සිදුකරන්නේ බොහෝ විට කිසිම සුදුසුකමක් නැති අය. එයාල යොදාගන්න උපකරණ හරිම අවදානම්. 

ඒ වගේම ගැබිනියට සෙප්ටික් ඇබෝෂන් නැතිනම් ගර්භයට විෂබීජ ඇතුළු වී සිදුවන ගබ්සාවන් සිදුවෙන්න ඉඩ කඩ වැඩියි. දෙවන කාරණය හා බරපතළම කාරණය තමයි මේ විදිහට නීති විරෝධීව සිදුකරගන්නා ගබ්සාවන් නිසා ඇතැම් විට සදාකාලික වඳ භාවයට පත් වීමට ඇති හැකියාවයි. අඩු වයස් ගැබිනියක් තව කල් තියෙනවා මේක නැති කරගමු කියලා හිතලා එවැනි දේකට යොමු වුණොත් ඇතැම් විට එයාට ආයෙ ජීවිත කාලෙටම දරුවන් නොමැති වෙන්න පුළුවන්.

ගබ්සාවේදී යොදා ගන්නා උපකරණ හා ඖෂධ නිසා ගර්භාෂය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළු‍වන්. ඒ වගේම අධික ලෙස රුධිරය වහනය වෙන්න පටන් ගන්නවා.”‍

වෛද්‍යවරයාගේ හෙළිදරව්ව අතිශය බරපතළය. අනාරක්ෂිත ලිංගික එක් වීමක් නිසා හෝ පෙම්වතා සමග කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යහන් ගතවන නව යොවුන් වියේ තරුණියන් වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් වෙයි. අනාගතය සම්පූර්ණ වශයෙන්ම බිල්ලට දීමට සිදුවන්නේ නම් ගැහැනියකට එල්ලවන සමාජීය බලපෑම කෙබඳුදැයි ඔවුන් අවබෝධ කරගත යුතුය. ”ඒ විතරක් නෙමෙයි ගබ්සාවන්ට පෙළඹෙන කාන්තාවන් බහුතරය මානසික අවපීඩනයන්ට ගොදුරු වීමේ ප‍්‍රවණතාවත් වැඩියි. මානසික රෝගී තත්ත්වයක් දක්වා එය වර්ධනය විය හැකියි.” ‍අප අසා ඇති අතීතයේත් කතුන්ට වැලඳෙන වැදූගේ සන්නිය එවැන්නක් දැයි සිතේ.

අතීතයේ කාන්තාවන් විවාහ වූයේ වයස අවුරුදු 12 සිටය. ඇතැම් විට වෛද්‍යවරයා හෙළි කරන මේ කරුණ එදාත් එසේම පවතින්නට ඇත. එබැවින් පොළොන්නරුවේ පමණක් නොව ලෝකයේ කොහේ හෝ ගබ්සාවෙන් අනිසි ප‍්‍රතිඵල අත්වන බව නම් නොරහසකි. එබැවින් ගබ්සාවට එරෙහිවීම පමණක් නොව නීති විරෝධීව රට පුරා සිදුවන ගබ්සාවන් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. 

එවැනි පුද්ගලයින් ඇතැම්විට කිසිදු සුදුසුකමක් නැති සෞඛ්‍ය අංශවල ඉතාම පහළ ස්ථරයක සේවය කළ අයෙකු විය හැකිය. නැතිනම් ආයුර්වේද වෛද්‍ය හෝ පාරම්පරික වෛද්‍ය හෝ කියා ලේබල් අලවා ගත්තවුන් විය හැකිය. නීතිවිරෝධි සෞඛ්‍ය මධ්‍යස්ථාන වලදී හෝටල් කාමර තුළදී හෝ නිවෙස් වලටම පැමිණ ගබ්සාවන් සිදු කරන්නේ මෙබඳු පුද්ගලයන්ය. මොවුන් පිළිබඳ තොරතුරු නීතිය හමුවේ අනාවරණය වීම ඉතා අඩුය.

මොවුන් ගෙන් අහිංසක ගැබිනියන් බේරා ගැනීමට වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍යය. නැතිනම් ප්‍රජනන පද්ධතියේ රෝග වලින් පෙළෙන හා මානසික අවපීඩනයෙන් පෙළෙන කාන්තා ජනගහනය දිනෙන් දින ඉහළ යනු ඇත. පොලීසිය හා සෞඛ්‍ය අංශ එක්ව ඒකාබද්ධ වැටලීම් හා සූක්ෂ්ම ලෙස එවැනි නීති විරෝධී පුද්ගලයන් අල්ලා ගැනීමට දැල් එලීම සිදුකළ යුතුය. මන්ද දැන් ගෙදර සිටින තම දියණිය හෝ පෙම්වතිය හෝ අනියම් බිරිඳ හෝ ගැබ් ගත් බව දැන් ගත් වහාම අදාළ පුද්ගලයෙක් නිවසටම ගෙන්වා ගෙන ? එළි වෙන විට ඒ වැඬේ හරි කියා කියන්නට තරම් යාන්ත‍්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වන බැවිනි.

පි‍්‍රයන්ත බණ්ඩාර (ලක්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගෙදරටම පැමිණ ගබ්සා කරන පොළොන්නරුවේ හොර වෙද්දු"

    Post a Comment