31 August, 2017

දහස් ගණන් රෝහින්ග්‍යා මුස්ලිම්වරු බංග්ලාදේශයට පළා යති

rohingya-refugees

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ පවතින ගැටුම්වලින් දිවි බේරාගැනීම පිණිස සතියකටත් අඩු කාලයක් ඇතුළත 18,000 කට වැඩි රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් බංග්ලාදේශයට පළා ගොස් ඇති බව ආධාර සේවකයෝ පවසති.

ඒ අතරින් අති බහුතරය කාන්තාවන් සහ දරුවන් බව ද ඔවුහු පවසති.

ප්‍රාන්තයේ යළිත් වරක් ප්‍රචණ්ඩ වාතාවරණයක් හටගත්තේ පසුගිය සිකුරාදා රෝහින්ග්‍යා මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් විසින් පොලිස් ස්ථාන තිහකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුවය.
ඉන් අනතුරුව ආරක්ෂක හමුදා ප්‍රාන්තයේ හමුදා මෙහෙයුමක් දියත් කළහ.

පළා යමින් සිටින අනාථයන් විශාල පිරිසකගේ ශරීරවල මෑතදී වෙඩි වැදීමෙන් හටගත් තුවාල දක්නට ලැබුන බව ඔවුන්ට නවාතැන් සහ ආහාර සපයන ආධාර සේවකයෝ පවසති.

තවත් දහස් ගණනක් දේශසීමාව ආසන්නයේ රැඳී සිටින බව ද ප්‍රදේශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර අනාථයන් තවත් විශාල පිරිසක් දෙරට අතර මිනිස් වාසයක් නොමැති ප්‍රදේශයක කොටු වී සිටින බව විශ්වාස කෙරේ.

රඛයින් ප්‍රාන්තයේ හටගත් අලුත්ම ගැටුම්වලින් සන්නද්ධ කැරලිකරුවන් බහුතරයක් ඇතුළු 100 කට ආසන්න පිරිසක් මරුමුවට පත් වී ඇති බව විශ්වාස කෙරෙන අතර, සටන් පවතින ප්‍රදේශවලට යාමට අවසර දී තිබෙන්නේ තෝරාගත් මාධ්‍යවේදීන් සීමිත පිරිසකට පමණක් බැවින් එම සංඛ්යාලේඛන ස්වාධීන මාර්ගවලින් තහවුරු කිරීම ඉතා අසීරුය.

ගැටුම්වලින් පළා යමින් සිටින අනාථයන්ගේ එකම අරමුණ සිය ජීවිත බේරාගැනීම පමණක් බව ද ආධාර සේවකයෝ පවසති.

අනාථයන්ගේ සමග අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ අත්දැකීම විමසා බැලීමට ආධාර සේවකයන්ට තවමත් අවස්තාවක් ලැබී නොමැති බව දකුණු ආසියානු කටයුතු භාර බීබීසී සංස්කාරකවරිය ජිල් මැගිවරින් පවසයි.

ඇතැම් කාන්තාවෝ අනාත කඳවුරු තුළම දරුවන් ප්‍රසූත කළහ. මුළුතැන්ගේ ආම්පන්න වැනි ඇතැම් බදු භාණ්ඩ රැගෙන ඒමට ඉතා සුළු පිරිසක් සමත් වූ නමුත්, බොහෝ දෙනා සතුව තිබෙන්නේ සිය ඇඳි වත පමණි.

මියන්මාරයේ දිළිඳුම පළාතක් වන රඛයින් ප්‍රාන්තයේ දශ ලක්ෂයකට අධික රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව ජීවත් වෙති.

එරට බෞද්ධ බහුතර ප්‍රජාව විසින් රෝහින්ග්‍යා මුස්ලිමුන් දැඩි සීමාවන්ට යටත් කරන අතර දෙපාර්ශවය අතර වර්ෂ කීපයක් පටන් ගැටුම්කාරී තත්වයක් පවතී.

එම පීඩාව හමුවේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා දස දහස් ගණනක් කල්තබාම තමන් වාර්ගික හිංසාවන්ට ගොදුරු කෙරෙන බවට චෝදනා කරමින් බංග්ලාදේශයට ඇතුල් වී තිබේ.

පවතින තත්වය රෝහින්ග්‍යා ප්‍රජාව අතර අන්තවාදය ලිය ලෑමට හේතු වෙන බව ආසියා -ශාන්තිකර කලාපයේ බීබීසී කර්තෘ මයිකල් බ්‍රිස්ටෝ (Michael Bristow) පෙන්වා දෙයි.

මේ අතර සඳුදා ප්‍රකාශයක් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහින්ග්‍යා මුස්ලිම් ජනයාට එරෙහි හිංසනය නතර කරන ලෙස ඉල්ලීමක් කළහ.

"රෝහින්ග්‍යා ප්‍රජාව වෙනුවෙන් ඇති මගේ පූර්ණ හිතෛෂීභාවය පළ කරන්න මම කැමතියි. ඔවුන් ආරක්ෂා කරන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු. ඔවුන්ගේ පූර්ණ අයිතිවාසිකම් ලබා දීම සඳහා ඔවුන්ට උදව් පිණිස පුරුෂයන්ගේ සහ කාන්තාවන්ගේ හොඳහිත සුහදතාවය දල්වා ලමු" ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටිති.

රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණ සලසන බවට බංග්ලාදේශයට චෝදනා කරන මියන්මාරය, රෝහින්ග්‍යාවරුන් සලකන්නේ බංග්ලාදේශයේ වැසියන් ලෙසය.
බංග්ලාදේශය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දහස් ගණන් රෝහින්ග්‍යා මුස්ලිම්වරු බංග්ලාදේශයට පළා යති"

    Post a Comment