28 August, 2017

කැරපොත්තන් සහ මකුණන් සමග නිදන හමුදා භටයෝ

TITLE

ප්‍රංශයේ හමුදා භටයන් වාසය කරන කඳවුරුවලට නිසි පහසුකම් ලබා නොදෙන බවට ඔවුන්ගේ භාර්යාවෝ බලධාරීන්ට චෝදනා කරති.

හමුදා භටයන්ට කෙතරම් දුෂ්කර වාතාවරණයක දිවි ගෙවීමට සිදු වී තිබෙන්නේ ද යත් ත්‍රස්ත මර්ධන කටයුතුවල නිරතව සිටින ඇතැම් හමුදා භටයන්ගේ ලැගුම්හල්වල කැරපොත්තන් සහ මකුණන් පිරී සිටින බව ද ඔවුහු පවසති.

සිය ස්වාමි පුරුෂයන්ට නිසි පහසුකම් ලබා නොදීමට එරෙහිව හමුදා භටයන්ගේ භාර්යාවන් සිය ගණනක් සෙනසුරාදා (අගෝස්තු 26) පැරිස් අගනුවර උද්ඝෝෂණයක නිරතව සිටියහ.

පොලිස් නිලධාරීන්ගේ භාර්යාවන් ද පසුගිය අප්‍රේල් මාසයේ ඒ හා සමාන උද්ඝෝෂණයක් දියත් කළහ.

සෙනසුරාදා උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ සාමාජිකාවන් 5200 ක් පමණ සිටින කෝපයට පත් සොල්දාදු බිරින්දෝ (Angry Soldiers' Wives) සංවිධානය විසිනි.

2015 ජනවාරි මාසයේ චාලි හෙබ්දෝ (Charlie Hebdo) සඟරාවට ඉස්ලාමීය කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව රට පුරා වැදගත් ස්ථාන සහ උත්සව අවස්ථාවල ආරක්ෂාව වෙනුවෙන් ප්‍රංශ හමුදාව විසින් 7000 කට අධික ආරක්ෂක හමුදා භට පිරිසක් යොදවනු ලැබිණ.

එම මෙහෙයුමට සම්බන්ධ එක් සොල්දාදුවෙක් සිකුරාදා (අගෝස්තු 25) වෙඩි තබා සිය දිවි නසාගෙන ඇතැයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේය.

සිය සැමියන්ගේ ලැගුම්හල්වලට නිසි පහසුකම් ලබා නොදීම මෙන්ම පශ්චාත් යුද මානසික ආතතියෙන් (PTSD) පෙළෙන සිය සැමියන්ට ආධාර කිරීම පිණිස නිසි වැඩපිළිවෙලක් නොමැතිවීම සොල්දාදුවන්ගේ භාර්යාවන් පෙන්වා දෙන තවත් බරපතල ගැටලුවකි.

"අපි හරිම අසරණයි. කොහොමද මේ ලෙඩේ සනීප කරගන්නේ කියල අපි දන්නේ නෑ," PTSD රෝගයෙන් පෙළෙන සොල්දාදුවෙකුගේ බිරිඳක් සඳහන් කළාය.

එමෙන්ම යුද ගැටුම්වලදී සිය සැමියා මියගියහොත් එයින් මාස දෙක, තුනක් ඇතුළත හමුදා නිවාසවලින් ඉවත්වීමට ඔවුන්ගේ වැන්දඹුවන්ට සිදුවන අතර, ඒ සඳහා හමුදා බලධාරීන්ගෙන් කිසිදු සහායක් නොලැබෙන බව ද ඔවුහු පවසති.

හමුදාවට ලබා දෙන ප්‍රතිපාදන කපා හැරීමට විරෝධය පළ කරමින් ප්‍රංශයේ හමුදාපතිවරයා ද පසුගියදා පදවියෙන් ඉල්ලා අස්විය.

පසුගිය අප්‍රේල් මාසයේ නමගිය අපරාධකරුවෙකු විසින් Champs Elysees වීදියේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ට එල්ලවන ප්‍රහාරවලට විරෝධය පාමින් පොලිස් නිලධාරීන්ගේ භාර්යාවන් සියයක් පමණ අගනුවර වීදි ඔස්සේ පෙළපාලි දැක්වූහ.

පෙළපාලිය අවසානයේ, රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරීන් සිහි කරමින් කළු පැහැති බැලුම් බෝල සහ ඔවුන් ඝාතනයට ලක්වීම හේතුවෙන් අසරණ වූ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් රෝස පැහැති බැලුම් බෝල අහසට මුදා හැරුණි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කැරපොත්තන් සහ මකුණන් සමග නිදන හමුදා භටයෝ"

    Post a Comment