26 August, 2017

උපරිම ක්‍රියාකාරිත්වයෙන්ද ඔබ්බට යා හැකි වීඩියෝ ක්‍රීඩා ලැප්ටොප් උපාංගයක්

HP Omen X
තවමත් උග්‍ර වීඩියෝ ක්‍රීඩා ලෝලීන් කැමැත්ත දක්වන්නේ තමන්ගේ අභිමතය පරිදි එකලස් කොට සකසා ගත් ඩෙක්ස්ටොප් ගේමින්ග් ස්ටේෂන් එකක් හරහා වීඩියෝ ක්‍රීඩා අත්විඳීමට වුවත්, එවැනි ප්‍රබල යන්ත්‍රයක් කිසිසේත්ම ජංගම නොවීමත්, හුරුබුහුටි නොවීමත් හේතු කොට ගෙන බොහෝ වීඩියෝ ක්‍රිඩා ලෝලීන් ගේමින්ග් ස්ටේෂන් ආශාවෙන් ඉවත් වී ගේමින්ග් ලැප්ටොප් උපාංගයන් වෙත ආයෝජනය කිරීමටද වැඩි වැඩියෙන් පෙළඹෙන බව නොරහසකි.

මෙම නව ප්‍රවණතාව නිසාම බොහෝ පරිගණක නිෂ්පාදකයින් ගේමින්ග් සඳහාම විශේෂයෙන් නිමවූ ලැප්ටොප් උපාංගයන් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම ඉහළ ගොස් ඇත. මේ අතරේද තරගය පවතින්නේ වඩාත් ජංගම සහ හුරුබුහුටි හැඩයක් තුළට වඩ වඩාත් ප්‍රබල යන්ත්‍රයක් ඇතුළත් කිරීමටත්, වීඩියෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගැනීමට සමත් වන ආකාරයේ නිමාවක් මෙම යන්ත්‍ර වෙත ලබාදීමත් අතර වේ.

මෙම තරගයට එකතුවන නවතම සාමාජිකයා වන්නේ HP සමාගම විසින් ඉදිරිපත් කරනා HP Omen X ගේමින්ග් ලැප්ටොප් උපාංගයයි.

HP Omen X හි සුවිශේෂීත්වය සැබවින්ම ‍රැඳී ඇත්තේ මෙහි ක්‍රියාකාරීත්වයේ වේ. වීඩියෝ ක්‍රීඩා ලෝලීන් තමන්ගේ ගේමින්ග් පරිගණකයෙන් වඩාත් ප්‍රබල බලයක් බලාපොරොත්තු වන්නේ, නවීනතම වීඩියෝ ක්‍රීඩාවන් වඩාත් සුමටව ධාවනය කිරීම සඳහා මෙම ඉහළ පරිගණක බලය අතයාවශ්‍ය බැවිනි.

HP සමාගම විසින් ඉදිරිපත් කරනා HP Omen ගේමින්ග් පරිගණක පෙළින්ද මෙය විශේෂ වන්නේ මෙහි දෘඩාංග බලය න්‍යායිකව භාවිත කළ හැකි ඉහළම සීමාවන් දක්වා උරගා බැලීමට මෙයින් අවකාශ ලබාදෙන බැවිනි. මෙහිදී overclocking යනු එක් විකල්පයකි. Overclocking යනුවෙන් අදහස් කරන්නේ මයික්‍රෝ ප්‍රොසෙසරයක් මගින් ලබාදෙන නිර්දේශිත බලයට වඩා වැඩි බලයක් ලබාගැනීමට උත්සාහ කිරීමයි.

මෙම සීමාව පැනීම ප්‍රායෝගිකව නිෂ්පාදකයින් විසින් අනුමත නොකළත්, න්‍යායිකව මෙම ‘හැකි සීමාවේ’ සිට වැඩි බලයක් ප්‍රොසෙසරය මගින් ලබාගැනීමට බල කිරීම කළ නොහැක්කක් නොවේ. එකම කරුණ වන්නේ මෙහිදී වැඩි තාපයක් ජනිත වීම වැනි ගැටලු මතුවන බැවින්, ආධුනිකයෙකු overclocking වැනි උපක්‍රමයන් උත්සාහ නොකළ යුතු බවයි.

කෙසේ නමුත් HP Omen X ගේමින්ග් ලැප්ටොප් උපාංගය මගින් එම overclocking හැකියාවද විකල්පයක් ලෙසින්ම ලබාදී තිබේ. එයට අමතරව දෘඩාංග මට්ටම ඉහළ දැමීමට හෙවත් යාවත්කාලීන කිරීමටද මෙහි අවකාශ ලබාදී ඇත.

මෙම HP Omen X ගේමින්ග් ලැප්ටොප් උපාංගයේ අනෙකුත් පිරිවිතර සම්බන්ධයෙන් සඳහන් කරන්නේ නම්, එහි අඟල් 17 ක LCD පැනලයක් ඇති අතර, මෙම තිරයට 1080p ගුණාත්මක තත්වයේ අන්තර්ගතයන් දර්ශනය කිරීමට හැකිවාක් මෙන්ම මෙන්ම 4K තිර විභේදනයක් අත්දැකීමටද ඉඩ ලබාදිය හැක.

මේ හරහා ඔබට නවීනතම වීඩියෝ ක්‍රීඩාවන් මගින් ලබාදෙන අතිපැහැදිලි, විචිත්‍ර දර්ශනයන් සුමට බවකින් යුතුව අතිවිඳින්නට හැකිවනු ඇත. එසේම මෙහි ඉහළ ගුණාත්මක මට්ටමේ ස්ටීරියෝ ස්පීකර් පද්ධතියක්ද තිබේ.

මෙම ලැප්ටොප් උපාංගය බලගැන්වීම උදෙසා යාවත්කාල කළ හැකි Intel Core i7 ප්‍රොසෙසරයක් තිබෙනා අතර, උපරිම NVIDIA® GeForce® GTX™ 1080 දක්වා වූ නිෂ්පාදනයේදීම overclocking හැකියාවන් සමගින් එන ග්‍රැ‍ෆික් කාඩ්පතක් සවිකිරීමටද අවකාශ ඇත.

එසේම මෙහි ‍රැම් මතකයට overclocking හැකියාවන් ලබාදීම සඳහා XMP විකල්පයද තිබෙනා අතර, මෙම සියලුම දේ මෙහි ස්ථාපිත OMEN Command Center මෘදුකාංගය ඔස්සේ සිදුකළ හැක. මෙම overclocking හැකියාවන් සමගින් සිදුවන අතුරු ප්‍රතිඵලයක් වන උපාංගය අසීමිතව රත් වීමේ ගැටළුව මගහැරවීම සඳහා මෙහි ස්ථාපිත විශිෂ්ට තාප කලමනාකරණ පද්ධතියක් තිබෙනා අතර, එය සිසිලන පංකා ගණනාවකින් හා එකක් හා බැඳි තාප පිටලන පයිප්ප පද්ධතියකින්ද සම්පූර්ණ වේ.

එසේම මෙම NVIDIA® GeForce® GTX™ 1080 ග්‍රැ‍ෆික් කාඩ්පත සමගින් ඔබට වඩාත් සිනමාත්මක ක්‍රීඩා අත්දැකීමක් විඳින්නට අවකාශ ලබාදෙන NVIDIA® GameWorks™තාක්ෂණයටද ප්‍රවේශය ලැබෙනා අතර, මේ සමගින් ඔබට අවශ්‍ය වැඩිමනත් උපාංගයන් හරහා සුවිශිෂ්ට තත්‍යාසන්න යථාර්ථ (VR) ක්‍රීඩා අත්දැකීම් විඳීමේ හැකියාවද ලැබෙනු ඇත.

මෙහි යාන්ත්‍රික යතුරු සහිත, එක් එක් යතුරකට RGB LED backlighting ඇති යතුරු පුවරුවක් ඇත. එසේම ඔබට මෙම යතුරුවලට ඔබ කැමති විධානයන් ලබාදී සැකසුම් කිරීමටද හැකියාව තිබේ. එසේම ඕනෑම හොඳ ගේමින්ග් ලැප්ටොප් යතුරුපුවරුවක ලෙසින් මෙහිද N-key rollover, programmable macro keys යන පහසුකම් තිබේ.

මෙම ලැප්ටොප් උපාංගයේ පසුපස කොටසේ Ethernet පෝට් එකක්, USB 3.1 Type-CTM (Thunderbolt හැකියාව ඇති) පෝට් දෙකක්, Mini DisplayPort එකක්, HDMI 2.0a පෝට් එකක් සහ USB 3.0 Type-A පෝට් එකක් ස්ථාපනය කොට ඇත. එසේම දකුණු පස SD card Slot එකක්, USB 3.0 Type-A පෝට් එකක් තිබේ. වම් පස USB 3.0 Type-A පෝට් එකක්, DTS Headphone:X® jack එක සහ Microphone jack එක පිහි‍ටුවා ඇත.

HP Omen X

(පැතුම් පුංචිහේවා - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උපරිම ක්‍රියාකාරිත්වයෙන්ද ඔබ්බට යා හැකි වීඩියෝ ක්‍රීඩා ලැප්ටොප් උපාංගයක් "

    Post a Comment