21 August, 2017

මධූෂ්ගේ කල්ලියේ බහින කලාව පටන් ගනී...

stf-srilanka
FilePhoto
  • මීගමුවේදී එස්‌ටීඑෆ් එක සමග වෙඩි තබාගත් පාතාලය


මීගමුව කුරණ හන්දිය නිතර ජනාකීර්ණ වූ ප්‍රදේශයකි. පසුගිය 12 වැනි සෙනසුරාදා දින සවස 5.00 වන විට කුරණ හන්දිය බෙහෙවින් කලබලකාරී විය. එදින සති අන්ත නිවාඩු දිනයක්‌ වූ නිසා මීගමුව නගරය ජනාකීර්ණ වී තිබුණේය.

මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්‌සේ පවනට බඳු වේගයෙන් ධාවනය වූ සුදු පැහැති ඩොල්ෆීන් වර්ගයේ වෑන් රථයක්‌ කුරණ හන්දියෙන් වම්පස වූ මාර්ගයට හැරවීමට උත්සාහ කළේය.

ඒ වෑන් රථය පසුපස හඹා ආවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකායට අයත් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයකි. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් රැගත් තවත් වෑන් රථයක්‌ වේගයෙන් පැමිණ කුරණ හන්දියේ නතර කළේය.

කුරණ හන්දියේ සිටි මිනිසුන් මොහොතකට ගල්ගැසී සිටියහ. සිදුවන්නට යන්නේ කුමක්‌ දැයි කිසිවකුටත් සිතා ගත නොහැක.

මුලින් පැමිණි ඩොල්ෆීන් වෑන් රථයේ සිටි සන්නද්ධ පිරිස එක්‌වරම පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තබන්නට පටන් ගත්හ.

බටහිර චිත්‍රපටයක ත්‍රාසජනක ජවනිකාවක්‌ බඳු වූ සිද්ධීන් දාමයක්‌ දිග හැරෙමින් තිබුණේය. ලෑන්ඩ්රෝවර් ජීප් රථයෙන් බැසගත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ විශේෂ ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් (SWAT නිලධාරීන්) සන්නද්ධ පිරිස ප්‍රහාර එල්ල කරන වෑන් රථය වට කළහ.

විශේෂ ප්‍රහාරක උපක්‍රම භාවිතා කළ SWAT නිල්ධාරීන් සන්නද්ධ පිරිස වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට වූහ. ඒ වන විට මුළු මීගමුවම හෙල්ලී ගොසින් තිබුණේය. කුරුණ හන්දියට පැමිණ සිටි ඇතැමුන් භීතියෙන් සංත්‍රාසයට පත්ව සිටියහ. බියට පත් වූ තවත් පිරිසක්‌ හිස්‌ ලූ ලූ අත දිව යන්නට වුණේ පසුගිය යුද සමයේ සිදු වූ බියජනක සිදුවීම් මෙනෙහි කරමින් ය.

තවත් සමහරෙකුට මේ ත්‍රාසජනක සිදුවීම් මාලාව විනෝදාශ්වාදය ගෙන දුන් එකක්‌ විය. දිග හැරෙමින් තිබෙන ත්‍රාසය මුසු වූ දර්ශන පෙළ ඔවුන් තම ජංගම දුරකථනවලින් පටිගත කරගන්නට පටන් ගත්හ.

කුරණ හන්දිය දෙවනත් කරමින් සිදු වූ වෙඩි හුවමාරුව විනාඩි කීපයකදී නතර වුණේය. වෑන් රථයේ පැමිණි සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනෙක්‌ ඒ වනවිට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන සිටියහ. මේ සන්නද්ධ කල්ලියට නායකත්වය දුන් වජිර කුමාර ඒ වන විට වෙඩි ප්‍රහාරයකට ලක්‌ව බරපතළ තත්ත්වයෙන් වෑන් රථය තුළ වැටී සිටියේය. වජිර කුමාරගේ හිසට වෙඩි වැදී තිබූ අතර එක්‌ ඇසක්‌ ද අහිsමි වී තිබුණේය.

වජිර කුමාරගේ සමීපතම සගයා වූ චම්පික කුමාර ජයතුංග ද වෙඩි ප්‍රහාරයට ලක්‌ව තුවාල ලබා සිටියේය. ඔහුගේ පාදයකට වෙඩි වැදී තිබුණේය. සන්නද්ධ පිරිස අතර සිටි චරිත මධුෂ සහ ජගත් අරුණ ශාන්ත නිරුපද්‍රිතව අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායට හැකි විය.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාර එල්ල කර පලා යැමට උත්සාහ කළ පාතාල මැරයන්ගේ පැටිකිරිය හෙළිවන්නට පටන් ගත්තේ එතැන් සිටය.

පාතාල ලෝකයේ අංක එකේ මැරයා බවට පත්ව සිටින මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයා වූයේ මීගමුව කුරණ දී විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටින වජිර කුමාරය.

මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු බිහිසුණු අපරාධ රැසකට සම්බන්ධ වජිර කුමාර මධුෂ්ගේ පාතාල කල්ලියේ පැරැණිම සාමාජිකයකු විය. වජිර කුමාර බොහෝ අපරාධ කළේ මාකඳුරේ මධුෂ් සමඟ එකට ගොසින්ය.

පාතාල ලෝකයේ විවිධ කල්ලිවල සාමාජිකයන් මිතුරන් බවට පත් වන්නේ බන්ධනාගාරවල එකට සිටියදීය. එමෙන්ම එක්‌ එක්‌ කල්ලිවල සාමාජිකයන් බද්ධ වෛරක්‌කාරයන් බවට පත්වන්නේ ද බන්ධනාගාරවල රඳවා සිටින අතරතුරදී ය.

මාකඳුරේ මධුෂ්, වජිර කුමාර මිතුරන් බවට පත්වන්නේ මීගමුව බන්ධනාගාරයේ එකට සිටියදීය. මධුෂ් වජිර ඇතුළු කල්ලිය එකල ප්‍රසිද්ධියේම සිටියේ මහා පරිමාණ කොල්ලකෑම්වලටය. මූල්‍ය ආයතන, ලීසිං ආයතන ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ස්‌ථාන, වැටුප් මුදල් කොල්ලකෑම් සම්බන්ධයෙන් රටේ නම් දැරූ කල්ලිය බවට එදා පත්ව සිටියේ මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියයි.

ඉකුත් 2011 වර්ෂයේදී නොවැම්බර් 05 වැනිදා වජිර කුමාර ඇතුළු පාතාල මැරයන් වත්තල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුළු වූවේ මුදල් සහ දේපළ කොල්ලකෑමේ අරමුණෙන් ය. එහෙත් එදින සිදු වූයේ වජිර නොසිතූ දෙයකි. නිවසේ සිටි තරුණයකු කොල්ලකල්ලිය සමඟ සටන් කිරීමට ඉදිරිපත් වුණේය.

අවසානයේ වජිර කුමාර මේ තරුණයාට වෙඩි තබා ඝාතනය කර නිවසේ තිබූ මුදල් සහ වටිනා දේපළ ද කොල්ලකාගෙන පලා ගියේය. වජිර කුමාරට වැඩි දවසක්‌ කට්‌ටි පනිමින් සැඟ වී සිටීමට ඉඩ ලැබුණේ නැත. වත්තල මිනීමැරුම සම්බන්ධයෙන් වජිර කුමාර ඇතුළු සගයන් අත්අඩංගුවට පත් වූ අතර, ඔවුන් මීගමුව බන්ධනාගාරයේ රඳවනු ලැබීය. වජිර කුමාරට මාකඳුරේ මධුෂ් මුණ ගැහෙන්නේ එහිදීය. ඒ දැන හඳුනා ගැනීම දැඩි මිත්‍රත්වයක්‌ දක්‌වා දුරදිග යන්නට වැඩි කාලයක්‌ ගත වුණේ නැත.

මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වූ මාකඳුරේ මධුෂ් සිය සමීපතම සගයා වූ වජිර කුමාර ඊට සම්බන්ධ කර ගත්තේය. මාකඳුරේ මධුෂ්ට අවශ්‍ය වී තිබුණේ දකුණේ පාතාල නායකයා වීමට පමණක්‌ නොව පාතාල ලෝකයේ ගෝර්ඩ් µdදර් කෙනෙකු වීමටය. 2014 - 2015 වර්ෂවල පාතාල මර්දන මෙහෙයුම් තදින් ක්‍රියාත්මක වෙද්දී මධුෂ් දිවි බේරාගැනීමට ඉන්දියාවට පැන ගත්තේය.

ඒ මුස්‌ලිම් ජාතිකයකු ලෙස වෙස්‌ වලා ගෙනය. පසුව ඉන්දියාවෙන් ඩුබායි දේශයට පැනගත් මධුෂ් එහි සිට මෙරට හෙරොයින් ජාවාරම මෙහෙයවන්නට පටන් ගත්තේය. හෙරොයින් ජාවාරම මෙන්ම දකුණේ පාතාල ලෝකයේ කෙරුම්කාරයා වන්නට මධුෂ්ට ඒතරම් කාලයක්‌ ගත වුණේ නැත. ඩුබායි සිට මධුෂ් අපරාධ සිදු කළේ තම ගෝලබාලයන් යොදාගෙනය.

2014 වර්ෂයේදී ජනවාරි 11 වැනිදා මාතර නගරය ගිනි ගත්තේය. ඒ මධුෂ්ගේ පාතාල කල්ලියේ කෙරුම්කාරයකු වූ වජිර කුමාර ඇතුළු සගයන් මාතර නගරයේ තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවය. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වජිර කුමාර ඇතුළු සගයන් පොලිස්‌ අත්අඩංගුවට පත් වුණේය. මාස කීපයක්‌ තිස්‌සේ බන්ධනාගාර ගතකර සිටි වජිර කුමාර ඇප මත මුදා හැරීමෙන් පසු නැවත සිය අපරාධ චාරිකාව ආරම්භ කළේය.

2015 වර්ෂයේ සැප්තැම්බර් 10 වැනිදා මහ දවල් හංවැල්ලේ පිහිටි රජයේ බැංකුවකට සන්නද්ධව කඩා වැදුණුq වජිර කුමාර ඇතුළු පාතාල සගයන් බැංකු නිලධාරීන්ට තර්ජනය කර එහි තිබූ රුපියල් 26 ලක්‍ෂයක මුදලක්‌ කොල්ල කෑහ. හංවැල්ලේ බැංකු කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය වජිර කුමාර ඇතුළු කොල්ලකරුවන් අත්අඩංගුවට ගත්හ. මාස කීපයක්‌ බන්ධනාගාරගතව සිටි වජිර කුමාර ඇප මත නිදහස්‌ව පැමිණ නැවතත් සුපුරුදු අපරාධවල නිරත වන්නට පටන් ගත්තේය.

අවිස්‌සාවේල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ බැංකු කොල්ලයට අදාළ නඩුවට ඉදිරිපත් නොවීම නිසා ඔහුට වරෙන්තු නිකුත් කර තිබිණි.

මේ අතර ඩුබායි හි සැඟවී සිටින මාකඳුරේ මධුෂ් තම ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් මෙන්ම තම හෙරොයින් ව්‍යාපාරයට අකුල් හෙළන පොලිස්‌ නිලධාරීන් විනාශ කිරීමේ මෙහෙයුම් ආරම්භ කළේය. මාකඳුරේ මධුෂ් සහ රණාලේ සමයා අතර පැවැතියේ බද්ධ වෛරයකි. ඒ වෛරය දෙගුණ තෙගුණ වන්නේ සමයාගේ ගෝලයන් වන කළු සාගර ඇතුළුÊපාතාල සගයන් පිරිසක්‌ විසින් මධුෂ්ගේ පාතාල කල්ලියේ සමීපතම සගයකු වූ මාකඳුරේ හර්ෂ ඝාතනය කිරීමය.

රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මේ ඝාතනය සිදුවිය මාකඳුරේ හර්ෂ මධුෂ්ගේ අපරාධ රැසකට පූර්ණ දායකත්වය ලබාදුන් පුද්ගලයෙකි. ඉන් බරපතළම සිද්ධිය වූයේ දක්‍ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයකු වූ ඩැනී හිත්තැටියගේ මහතා සිය නිවස ඉදිරිපිටදීම වෙඩි තබා ඝාතනය කිරීමය.

මේ ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ මාකඳුරේ මධුෂ් ය. හිත්තැටියගේ මහතා මරා දමන්නේ මාකඳුරේ හර්ෂ සහ කොමාන්ඩෝ නිශ්ශංක විසින්ය. මාකඳුරේ හර්ෂ සහ රණාලේ සමයා අතර දැඩි වෛරයක්‌ පැවතුණේය. මේ වෛරයට හේතු පාදක වූ සිද්ධිය වන්නේ වැලිකඩ බන්ධනාගාරයේදීය. හර්ෂ සහ සමයා අතර ඇති වූ බහින්බස්‌වීමක්‌ දුරදිග යැමෙන් පසු එය ගැටුමක්‌ බවට පෙරළී ගොස්‌ තිබිණි.

සමයා එදින හර්ෂට මරණ වරෙන්තු නිකුත් කළේය. ඇප මත නිදහස්‌ වීමෙන් පසු හර්ෂ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි සිය අනියම් බිරියගේ නිවසේ සැඟවී සිටියේ කොයි මොහොතක හෝ සමයාගේ ගෝලයන් තමා සොයා එන බව දැන සිටි නිසාය.

කොහේ සැඟවී සිටියද හර්ෂට සමයාගේ ගෝලයන්ගෙන් ගැලවීමක්‌ ලැබුණේ නැත. කළුÊසාගර ඇතුළු පාතාල ගහලයන් පිරිසක්‌ හර්ෂ මරා දමන්නේ පාතාල ලෝකයේ තවත් අපරාධකාරයකුගේ ගමන නවතා දමමින් ය.

හර්ෂ මරා දැමීම සැලවීමෙන් පසු මධුෂ් දැඩි ලෙස කෝපයට පත් වුණේය. සමයා ඝාතනය සඳහා මධුෂ් සැලසුම් කරන්නේ ඉන් පසුවය. ඒ වන විට සමයා සහ අංගොඩ ලොක්‌කා අතර පැවතියේ බද්ධ වෛරයකි.

ඒ වෛරයට හේතු වුණේ හෙරොයින් ජාවාරමේ සීමා මායිම් වෙන්කර ගැනීමට යැමය. මාකඳුරේ මධුෂ් අංගොඩ ලොක්‌කාගේ ද සහාය ලබා ගෙන තම පරම සතුරා වූ සමයා ඝාතනයට සැලසුම් සකස්‌ කළේය.

කළුතර බන්ධනාගාර බස්‌ රථයට ප්‍රහාර එල්ල කර සමයා ඇතුළු 7 දෙනෙක්‌ ඝාතනය කරන්නේ මාකඳුරේ මධුෂ්ගේ අවශ්‍යතාව මතය. මේ ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්‌කා පෞද්ගලිකවම පැමිණ සිටි අතර ඔහු මේ වන විට රටින් පලා ගොස්‌ සිටියි.

තම සමීපතම සගයා වූ මාකඳුරේ හර්ෂ මරා දැමූ කළු සාගර ඇතුළු පාතාල සාමාජිකයන්ගෙන් ද පළි ගැනීමට මධුෂ්ට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා ද සිය පාතාල කල්ලියේ සාමාජිකයන් පිරිසක්‌ යෙදෙව්වේය. කළු සාගර ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව මධුෂ් විසින් භාර දී තිබුණේ වජිර කුමාර වෙතය. ඒ වන විට වජිර කුමාර සිටියේ බන්ධනාගාරයේ ය.

අහංගම අසිත ද මධුෂ්ගේ පාතාල කල්ලියේ ප්‍රබලයෙකි. අහංගම අසිත සහ වජිර කුමාර එකට බන්ධනාගාර බත් පත කමින් සිටි මිතුරන් වූහ. යුද හමුදාවෙන් පලා ආ සෙබළකු වූ අසිත බරපතළ කාර්යයන් සඳහා මධුෂ් යොදවා ගත්තේය.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු පොලිස්‌ නිලධාරීන් ඝාතනය සඳහා මධුෂ් යොදවන්නේ අහංගම අසිතය. මධුෂ් මේ පාතාල අපරාධකරුවන් දෙදෙනාටම ඇප මුදල් බැඳ ඔවුන් අධිකරණයෙන් මුදා ගත්තේ තම අභිමතාර්ථයන් මුදුන්පමුණුවා ගැනීම සඳහා මොවුන් දෙදෙනා යෙදවීමටය.

වජිර කුමාර වෙනුවෙන් මධුෂ් රුපියල් පහළොස්‌ ලක්‍ෂයක මුදල් ඇපයක්‌ අධිකරණයට ගෙවා දැමුවේය. මධුෂ්ගේ ගෝලබාලයන් විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර වජිර කුමාර මුදා ගත්තේය.

මධුෂ්ගේ සැලසුම වී තිබුණේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත මුලින්ම ප්‍රහාර එල්ල කිරීමය. ඒ සඳහා සැලසුම් සකස්‌ කළ මධුෂ් අහංගම අසිත සහ ලොකු පැටී නමැති පාතාල සාමාජිකයන් යොදා ගෙන පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන්ට පිළියන්දලදී ප්‍රහාරයක්‌ එල්ල කළේය.

මේ ප්‍රහාරයෙන් පොලිස්‌ නිලධාරියකු සහ දොළොස්‌ හැවිරිදි දැරියක්‌ මරුමුවට පත් වූ අතර පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සහ තවත් නිලධාරියකු බරපතළ තුවාල ලැබූහ.

මීළඟට මධුෂ්ට අවශ්‍ය වී තිබුණේ තම සමීපතම සගයා වූ හර්ෂ මරා දැමූ කළුÊසාගර ඇතුළු පාතාල සාමාජිකයන්ගේ දිවි තොර කර දැමීමය.

ඒ සඳහා අවශ්‍ය කරන ගිනි අවි සහ වෑන් රථයක්‌ වජිර කුමාර වෙත ලබා දී තිබුණේය. කළු සාගර ඝාතනය සඳහා මධුෂ්ගේ කල්ලියේ සිවුදෙනෙක්‌ වෑන් රථයක කරක්‌ ගසමින් සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබුණි.

මේ අතර වජිර කුමාර ද තම සගයන් සමඟ කොළඹ තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් සිටියේ මධුෂ්ගෙන් නියෝග ලැබෙන තුරුය.

මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයන් පිරිසක්‌ කිසියම් මිනීමැරුමකට හෝ මහා පරිමාණ මුදල් කොල්ලයකට සූදානම් වෙමින් සිටින බවට තොරතුරු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබී තිබුණේය. පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. ආර්. ලතීෆ් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වරුණ ජයසුන්දර මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක්‌ මධුෂ්ගේ මෙම කල්ලිය ලුහුබඳින්නට වූහ.

මාස තුන හතරක්‌ තිස්‌සේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විවිධ පුද්ගලයන් ලෙස වෙස්‌වලාගෙන මධුෂ්ගේ කල්ලිය පිළිබඳ තොරතුරු සොයන්නට පටන් ගත්හ.

අවසානයේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ප්‍රයත්නය මල්ඵල ගැන්වීටම සමත් විය. මධුෂ්ගේ පාතාල කල්ලිය මීගමුව ප්‍රදේශයට වෑන් රථයෙන් යන බවට ලැබුණු තොරතුරක්‌ මත විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් ඔවුන් ලුහුබඳින්නට වූහ. ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ධර්මප්‍රිය ඇතුළු නිලධාරීන් මීගමුව ප්‍රදේශය වෙත පැමිණි අතර ඔවුන් මධුෂ්ගේ කල්ලිය ගමන් ගන්නා වෑන් රථය හඳුනා ගත්හ. මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයන් අත ස්‌වයංක්‍රීය ගිනි අවි ඇති බැවින් එල්ල වන ඕනෑම ප්‍රහාරයකට සූදානම්ව යන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වරුණ ජයසුන්දර මහතා මෙම පොලිස්‌ කණ්‌ඩායමට උපදෙස්‌ දී තිබුණේය.

ඒ අනුව ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ධර්මප්‍රිය ඇතුළු නිලධාරීන් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ විශේෂ ප්‍රහාරක ඒකකයේ SWAT නිලධාරීන්ගේ සහාය මේ සඳහා ලබා ගැනීමට තීරණය කළහ.

SWAT ඒකකයේ නිලධාරීන් පිරිසක්‌ මීගමුව කුරණ ප්‍රදේශයට පැමිණ මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයන් වෙත ප්‍රහාර එල්ල කළේ ඔවුන් අන්ද මන්ද කරමින්ය.

මධුෂ්ගේ කල්ලියේ ප්‍රබලම සාමාජිකයා වූ වජිර කුමාර සමඟ තවත් පාතාල කල්ලි කීපයකට අයත් සාමාජිකයන් මේ වෑන් රථය තුළ සිටියහ.

වජිර කුමාර සමඟ වෑන් රථයේ සිටි චරිත මධුෂ කුඩුqලාලිත නමැති මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුගේ සමීපතම ගෝලයෙකි. රාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන චරිත මධූෂ 2015 වර්ෂයේ අගෝස්‌තු මාසයේදී හෙරොයින් ග්‍රෑම් 200 ක්‌ සමඟ මිරිහාන පොලිසියට හමූ වූ පුද්ගලයෙකි.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ චම්පික කුමාර ජයතුංග නොම්මර එකේ මංකොල්ලකාරයෙකි. 28 හැවිරිදි වියේ පසුවන මොහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුගිරිය, හංවැල්ල, කොස්‌ගම, කළුතර, වාද්දුව, පාදුක්‌ක, කහතුඩුව ප්‍රදේශවල සිදු වූ බැංකු මංකොල්ල, ඉන්ධන පිරවුම්හල්, වෙළෙඳසල් කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ වූ අයෙකි. මොහු දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයෙකි.

වජිර කුමාරගේ කල්ලියේ සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් අල්ලාගත් ජනක අරුණ ශාන්ත නාවික හමුදා ඉංජිනේරු බළකායෙන් පලා ආ සෙබළෙකි.

මොහු 2010 වර්ෂයේදී නාවික හමුදාවෙන් පලා ගිය අයෙකි. 2012 වර්ෂයේදී මිනිස්‌ ජාවාරම් සිද්ධියක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකි.

ශ්‍රී ලාංකිකයන් මුහුදු මාර්ග ඔස්‌සේ ඔස්‌ටේ්‍රලියාවට යෑවීමේ ජාවාරම හරහා මුදල් ඉපයීම සම්බන්ධයෙන් ජනක අරුණ ශාන්තට චෝදනා එල්ල වී තිබුණේය.

කෙසේ හෝ වජිර කුමාර ඇතුළු පාතාල මැරයන් සිවුදෙනා අවසානයේ කොටුකර ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට හැකි විය.

මොවුන් මීගමුවට පැමිණ සිටියේ එක්‌කෝ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක්‌ කොල්ලකෑමටය. එසේත් නැත්නම් මධුෂ්ගේ නියෝග මත කළු සාගර ඝාතනය කිරීමටය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කඩවත ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි තවත් පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

රන්දිව් නමැති මොහු විවිධ අපරාධවලට සම්බන්ධ වූ අයකු බව පසුව හෙළි වුණේය. රන්දිව් ගේ නිවසේ සඟවා තිබී ටී. 56 ගිනි අවියක්‌ සහ පොලිස්‌ නිල ඇඳුමක්‌ ද සොයා ගත්තේය.

පොලිස්‌ නිල ඇඳුම්වලින් සැරසී ගොස්‌ කිසියම් ප්‍රහාරයක්‌ එල්ල කිරීම මොවුන්ගේ සැලසුම වන්නට ඇති බවට ද පොලිසිය සැක පහළ කරයි.

මධුෂ් මෙහෙයවූ කළුතර බන්ධනාගාර බස්‌ රථ ප්‍රහාරය ද පොලිස්‌ නිල ඇඳුමින් ගොස්‌ එල්ල කළ ප්‍රහාරයක්‌ විය. කෙසේ වෙතත් දකුණු පළාතට පමණක්‌ නොව මේ වන විට මුළු රටටම මහා පිළිලයක්‌ වී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තා කෙසේ හෝ අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළ යුතුය.

පොලිස්‌ මූලස්‌ථානය පවසන්නේ මධුෂ් අල්ලා ගැනීමට මේ වන විටත් අන්තර් ජාතික පොලිසියේ සහාය ලබාගෙන ඇති බවයි. මේ පාතාල නරුමයා අත්අඩංගුවට ගෙන මොහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකළහොත් අනාගතයේ මුළුÊරටටම විඳින්නට සිදුවන්නේ මීට වඩා බරපතළ භයානක සිදුවීම්වලටය.

හේමන්ත රන්දුණු (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මධූෂ්ගේ කල්ලියේ බහින කලාව පටන් ගනී..."

    Post a Comment