01 July, 2017

පෙම්වතා අතින්ම මරු වැළඳගත් කොට්ටාවේ රූමතිය - නරුමයා පැමිණි අයුරු CCTV කැමරාවේ

Tharindi Aloka - Killer - CCTV

කොට්ටාවේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ වැඩිමහල් දියණිය තෙමහල් නිවසේ සිය කාමරයේ රැඳී සිටියදී මරා දැමූ පුවත පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් විය. උල් පිහියකින් ඇන ඇය ඝාතනය කොට පලාගොස් සැඟවී සිටි ඇගේ පෙම්වතා බව කියන තරුණයා නීතිඥයකු මාර්ගයෙන් කොට්ටාව පොලීසියට බාරවන තුරු මේ මිනීමැරුම අභිරහසක් වී තිබිණි. මෙසේ ඝාතනය වී සිටියේ කොට්ටාව හොරණ පාරේ අංක 162/2 හි පදිංචිව සිටි තරිඳි ආලෝකා නැමැති රූමත් 26 හැවිරිදි තරුණියකි.

තරිඳි ආලෝකා උපතින්ම රූමත්ය. යොවුන් විය එළඹෙත්ම ඇගේ සුන්දරත්වයද වැඩෙන්නට වූවාය. රූපලාවණ්‍ය පිළිබඳව උනන්දු වූ ඇය ඒ ඔස්සේ වඩ වඩාත් සිය සුන්දරත්වය ඔප්නංවා ගත්තාය. රූප සම්පත්තිය නිසාම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය නිරූපිකාවක් වශයෙන්ද කටයුතු කළාය. මේ අතර රූපලාවණ්‍ය කටයුතු පිළිබඳව උසස් අධ්‍යාපනය හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටියාය.

තරිඳිගේ මව්පියන් කෝටිපති ව්‍යාපාරිකයෝ වෙති. නිවෙසට ආසන්නයේ කොට්ටාව නගරයේ පිහිටි රංජිත් ස්ටෝර්ස් ව්‍යාපාරය ඔවුන්ගේය. ව්‍යාපාරික වශයෙන් තොග වෙළෙඳාමේ නිරත ඔවුන්ට සේවකයන්, යාන වාහන හෝ වෙනත් අඩුපාඩුවක් නොවීය. මේ නිසා තරිඳිටත් එකම නැගණියටත් ඇවැසි පහසුකම්වලින් අඩුවක් නොවිණ.

ව්‍යාපාරික වශයෙන් හා පෞද්ගලික අවශ්‍යතා සඳහා විදේශගත වීමට පුරුදුව සිටි තරිඳිගේ මව්පියන් එම අවශ්‍යතා සපුරාගෙන තිබුණේ විදේශ ගමන් සංවිධානය කරන ආයතනයක් මගිනි. එම ආයතනයේ හිමිකරු තරුණයෙක් විය. ඔහු ඉහත යුවළ හා හිතවත් වී ඇත. මේ නිසා ඇතැම් අවස්ථාවලදී කොට්ටාවේ නිවෙසට පැමිණ යන්නටත් එහි කාලය ගත කරන්නටත් ඔහු පුරුදුව සිටියේය. මේ හිතවත්කමට වසර හතරක් පමණ ගතවෙද්දී විදේශ සංචාරක ආයතනයේ හිමිකාර තරුණයා කොට්ටාවේ ව්‍යාපාරිකයාගේ නිවෙසට ආ ගිය වාර ගණන අනන්තය.

එතෙකින් නොනැවතුණු ඔහු රංජිත් ස්ටෝර්ස් අධිපතිවරයාගේ තරිඳි දියණිය හා ප්‍රේම සබඳතාවයක් ගොඩනංවා ගන්නටද ක්‍රියා කර තිබිණ. නමුත් ඒ බව තරිඳිගේ මව්පියන් මුලින් හරිහැටි නොදැන සිටි බව කියති. මේ අතරතුරදී තරිඳි ආලෝකාට සිටය පෙම්වතා පිළිබඳ සැකසංකා දනවන සිදුවීම් කීපයක් වාර්තා වී ඇත. ඇතැම් සිදුවීම්වලට සාක්ෂි සාධකද සහිත විය. ඒ අතර අනාවරණය වී තිබුණේ තරිඳිගේ පෙම්වතා ඇයට හොර රහසේ වෙනත් පෙම්වතියක් ඇසුරු කරන බවය. මේ නිසා අමනාපයෙන් පසු වූ තරිඳි පෙම්වතාගෙන් ඉවත්ව සිටි බව කියති. මෙසේ කල්ගෙවන අතරතුර ඇගේ පෙම්වතාව සිටි තරුණයා පෙර කී පෙම්වතිය හා විවාහ ගිවිසගැනීමටද තීරණය කොට තිබුණි.

මේ බව දැනගත් තරිඳිට තමාගේ ජීවිතය හා සෙල්ලම් කළ පෙම්වතා කෙරෙහි ඇතිවූයේ කලකිරීමකි. කෝපයකි. ඇය තමා හා පැවැත්වූ සබඳතාවය පිළිබඳව මාතර ප්‍රදේශයේ තරුණියට කරුණු හෙළි කළාය. සැකහැර දැනගැනීමට සිතූ ඇය තරිඳි හා එක් වී උපායක් ක්‍රියාත්මක කළාය. ඒ අනුව තරිඳි සිය පෙම්වතාව සිටි තරුණයාට දුරකතන මගින් දන්වා සිටියේ නුගේගොඩ එක්තරා ස්ථානයකට පැමිණ තමා හමුවන ලෙසය. ඒ වනවිටත් ඔහුගේ මාතර පෙම්වතිය, ඇගේ පවුලේ සමීපතමයන් කීපදෙනකුට මෙන්ම එම තරුණයාගේ ඥාතීන් කීපදෙනකුටත් මේ බව දැනුම් දී තිබිණි. ඒ බව නොදත් තරුණ පෙම්වතා නුගේගොඩ පැමිණි අවස්ථාවේ සිය ඥාති හිතවතුන් මෙන්ම සිය පෙම්වතිය ඉදිරියේ නිරුත්තර විය. තමාගේ රඟපෑම මෙසේ හෙළිවීම ඔහුට ඉවසුම් නොදෙන්නට ඇත. එදා ඔහු දැඩි අපහසුතාවයකට පත් වූ අතර තරිඳි තම රැවටිලිකාර පෙම්වතාගෙන් ගැලවුණාය.

ඒ මොහොතේ සිට තරිඳිගේ හිටපු පෙම්වතා තරිඳි පිළිබඳව සිට ඇත්තේ තරහිනි. ඒත් සමඟ ඔහුගේ ජීවිතයට කණකොකා හඬලන්නට වූයෙන් විවාහ දිවියට එළැඹෙන්නට බැරි තරම් ගැටලුද පැන නැගී තිබුණි. නමුත් තරිඳිගේ පියා හා හිතවත්ව සිටි තරුණයා ඇවැසි අවස්ථාවලදී එම නිවෙසට පැමිණ ගියේය. එහෙත් තරිඳි ඔහු හා ඇයිහොඳයියක් පැවැත්වූයේ නැත.

මේ ආකාරයට සැකකාර තරුණයා තරිඳිගේ නිවෙසට අවසන් වරට පැමිණියේ ඉකුත් 21 වැනිදාය. එදින රාත්‍රියේ සුපුරුදු පරිදි නිවසේ නවාතැන් ගත් ඔහු ගැන නිවැසියන්ට සැකයක් නොවීය. නිවසේ කටයුතු පිළිබඳ මනා අවධානයෙන් සිටි සැකකාර තරුණයා නවාතැන් ගෙන සිටි තුන්වැනි මහලෙන් බැස්සේ තරිඳිගේ නැගණිය පාසල් ගිය පසුවය. එපමණක් නොව, මව්පියන්ද ව්‍යාපාරික ස්ථානය වෙත පිටත් වූ පසුවය.

මේ වන විට තරිඳි නිදියහනෙන් පිබිදී ඇගේ කාමරයට වී සිටියාය. සිය කාමරයට පැමිණි තරුණයාට තරිඳි විරෝධය පෑවාය. තමා පැමිණියේ තරිඳි සමඟ ගැටලුවක් කතිකා කරන්නට බව ඔහු කියා තිබිණි. ඊට අකැමැති වූ තරිඳි තරුණයාට විරුද්ධ වූවාය. දෙදෙනා අතර ගැටුමක් හටගෙන තිබුණේ එසේය.

ඉහවහා ගිය කේන්තියෙන් පසු වූ තරුණයා මෙතෙක් වේලා සඟවා සිටි උල් පිහියක් අතට ගෙන දිගට හරහට තරිඳිට පහර එල්ල කළේ මාරාවේෂයෙනි. ගෙල හා උර පෙදෙසට බරපතළ තුවාල සිදුවෙද්දී ඇඳට වැටුණු තරිඳිගේ සිරුරෙන් ගලාගිය ලේ ධාරා ඇඳේ මෙට්ටය පමණක් නොව කාමරයේ බිමද තෙක් කළේය. මොහොතක් ගතවන්නට මත්තෙන් තරිඳිගේ සිරුරේ තිබූ අවසන් හුස්ම පොදත් ගිලිහී ගියේය.

සියල්ල දෑසින් බලා සිටි නරුම පෙම්වතා තැතිගෙන නිවසේ නාන කාමරයට දිවගොස් ලේ පැල්ලම් සෝදාගෙන කිසිත් නොවූ ලෙසින් පෙරවරු 9.10ට නිවෙසින් පිටත්ව ගියේය.

තරිඳිගේ නැගණිය පාසල් ගොස් නැවත පැමිණ තිබුණේ එදින පස්වරුවේය. ඇය ආ සැණින් වෙනදා මෙන් අක්කා පෙනෙන්නට නොවූයෙන් ඇය සොයා ඇගේ කාමරය වෙත දිව ගියාය. එහිදී දුටු දසුනින් තිගැස්සී බියට පත්ව කෑමොර දීමත් සමඟ මව්පියන් හා අසල්වාසීන් එහි පැමිණි අතර සිදුවීම පොලීසියට දන්වා තිබුණේ ඉන් පසුවය.

වහා ක්‍රියාත්මක වූ කොට්ටාව පොලීසියේ නිලධාරීහු විමර්ශන අරඹා සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කළහ. එහිදී සැකකටයුතු පෙම්වතා බව කී තරුණයා පිළිබඳව විමර්ශන සිදුකළ අතර ඔහු ආ ගිය අතක් හෝ දැනගන්නට තිබුණේ නැත. පලාගිය පෙම්වතා තරුණිය ඝාතනය කර තමුන්ගේ දිවිනසා ගන්නට පැමිණි බව අනාවරණය වූයේ පසුදින නීතිඥවරයකු මගින් පොලීසියට බාර වූ පසුවය. තරුණිය ඝාතනය කළ ඔහු කොළඹ දෙසට පලාගොස් තිබූ අතර ඔහුගේ අරමුණ වී ඇත්තේ දුම්රියට පැන දිවිනසා ගන්නටය.

ඊට මොහොතකට පෙර මාතර ප්‍රදේශයේ ඔහුගේ පෙම්වතියට දුරකතන ඇමතුමක් ලබා දී සිදුවීම ඔහු පවසා තිබිණි. එහිදී ඇය දන්වා ඇත්තේ ජීවිතය නැතිකර නොගන්නා ලෙසත් වරද පිළිගෙන පොලීසියට බාරවන ලෙසත්ය. ඊට ඇහුම්කන් දුන් සැකකරු එදින පස්වරුවේ නීතිඥවරයකු සමඟ කොට්ටාව පොලීසිය වෙත ගොස් බාර වී තිබිණ. වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ ඝාතනය සඳහා යොදාගත් පිහිය සැකකරු විසින් මාතර ප්‍රදේශයෙන් රුපියල් 300ට මිලට ගත් බවය. එම පිහිය තරිඳිගේ මළසිරුර ආසන්නයේ තිබී හමු වී තිබිණි. සැකකරු 25 වැනිදා හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කොට්ටාව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත්ත කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

Tharindi Aloka - Killer - CCTV - 02

Tharindi Aloka - Killer - 02

Tharindi Aloka - 02

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෙම්වතා අතින්ම මරු වැළඳගත් කොට්ටාවේ රූමතිය - නරුමයා පැමිණි අයුරු CCTV කැමරාවේ"

    Post a Comment