18 July, 2017

සංගා - මහේල - ජයසුරිය : එකිනෙකාට වෙනස් චෝදනා

Sangakkara - Mahela - Jayasooriya - Chandimal

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෑත කාලයේ දක්වන දුර්වල තරඟ රටාව නිසා ක්‍රිකට් පිළිබඳව අවදානය මේ දිනවල වැඩිපුර යොමුවී තිබෙන්නේ, අතීත ක්‍රීඩකයන්ගේ කෙරුවාවල් කෙරෙහිය. එයිනුත් තමන් ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ සිදුවූ සිද්දි සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට සිදු කරන ඉල්ලීම්, තමන් ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩා කරන කාලයේ සිදුවූ සිද්දි වලට එකිනෙකට චෝදනාකර ගැනීම් බොහෝ දෙනාගේ අවදානයට යොමුවී ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව ද අපේ රටේ දේශපාලනයට සම කල පසු ගිය දවස්වල එල්ල වුන වැනි චෝදනා කීපයක් මෙසේය.



සංගක්කාරගේ චෝදනාව

”චාලි ඔස්‌ටින් 2004 වසරෙ ඉඳල මගේ කළමනාකරු. ඔහු මට ඉස්‌සෙල්ල මහේලගේ කළමනාකරු. ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමෙන් පසුව තිබෙන වැඩ රාජකාරිවලට තමයි ඔහුව යොදවා ගෙන තියෙන්නෙ. ක්‍රීඩක කළමනාකරණය ලෝකයේ හැම තැනකම තියෙන දෙයක්‌. 2009 පකිස්‌තාන් තරගාවලියට අපි යෑව්වා කිසිම ආරක්‌ෂාවක්‌ ගැන හිතන්නෙ නැතිව. එම සංචාරය යෑවීම ගැනත් පරීක්‍ෂණයක් කරන්න ඕන.”



සනත්ගේ චෝදනාව

”මම නම් කියන්න අවශ්‍ය නැහැ. දැන් ඔය කතා කරන ලොකු නම් තියෙන ක්‍රීඩකයන් ඒ කාලේ පහලට ගිහිල්ල පොඩි අයට ඉස්‌සරහට එන්න අවස්‌ථාව දුන්නෙ නැහැ. නමුත් අපි එක්‌දින පිලේ නායකත්වය දුන්න උපුල් තරංග හැමෝටම ආදර්ශයක්‌. එයා ආරම්භක පිතිකරුවා විදිහට ඕනම තැනක ක්‍රීඩා කරනවා.”



මහේලගේ චෝදනාව

‘කළමනාකරුවන් යම් රෙගුලාසිවලට යටත්විය යුතුයි. එංගලන්තය සහ ඔස්‌ට්‍රේලියාවේ ඒ ක්‍රමවේදය තියෙනවා. ඒ පාලනය ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට විතරක්‌ නෙමෙයි බලධාරීන්ටත්, දේශපාලනයටත් පොදු වෙන්න ඕනේ. මම වගකීමෙන් කියනවා 2006 දී මම නායකත්වය දරන කාලයේ එංගලන්තය අතිරේක ක්‍රීඩකයෙක්‌ එවනවා ක්‍රීඩා ඇමැතිතුමා මාර්ගයෙන්. ඒවත් බලපෑම්. ඒවත් පාලනය විය යුතුයි.”



අර්ජුනගේ චෝදනාව

”දැන් ඔය සංගක්‌කාර මහත්තයා කියනවා නම් 2009 පකිස්‌තාන් ප්‍රහාරය ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන්න. මමත් කියන්නේ පරීක්‍ෂණයක්‌ පවත්වන්න. ඒ කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල නිසි බලධාරියා ලෙස සිටියේ එස්‌. ලියනගම. ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට්‌ කවුන්සිලයේ සභාපති. අපි ආසියානු තරගාවලිය පකිස්‌තානයේ පැවැත්වූවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්‌සෙ අයි.පී.එල්. තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්‌ටින්ගේ කණ්‌ඩායම ඇවිත් මට කිව්වා. එතැනදි මම කිව්වේ රට පාවලා දීලා එයට මම අත්සන් කරන්නෙ නැහැ කියලා. ඊට පස්‌සෙ ගාමිණී ලොකුගේ ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයෙන් අයින් කළා.”

”මම කියන්නෙ 2011 ලෝක කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට මොකද වුණේ කියල පරීක්‍ෂණයක්‌ කරන්න. ක්‍රීඩා ඇමැතිවරු කරන්න ඕන උඩපන්දු අත්හරින ඒවායි බඩවල් ගැනයි කතා නොකර තරග පරදින හේතු හොයලා බලන එක. ඔය කතා කරන ක්‍රීඩකයන්ට දැන් හරි කාලේ ඇවිල්ලා තියෙනවා. 2011 ලෝක කුසලානයේදී මමත් විස්‌තර විචාරකයෙක්‌ විදිහට ඉන්දියාවට ගිහිල්ලා හිටියා. එතනදි මටත් ලොකු කනස්‌සල්ලක්‌ සහ සැකයක්‌ ඇති වුණා.”



ක්‍රීඩකයන් ලෙස එකම කණ්ඩායමක සහෝදරත්වයෙන් ක්‍රීඩා කල මෙම ක්‍රීඩකයන් මෙලෙස එකිනෙකාට චෝදනා කර ගැනීම මොවුන් දෙස බලා සිටින තරුණ ක්‍රීඩකයන්ටද දෙන වැරදි ආදර්ශයකි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංගා - මහේල - ජයසුරිය : එකිනෙකාට වෙනස් චෝදනා"

    Post a Comment