11 July, 2017

මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්

Rabindranath Tagore

රබීන්ද්‍රනාත් තාගෝර් යන නාමය මුළු ලොවම පතළ වූවකි. තාගෝර් නාමය සිහිගැන්වෙන කල්හි, නිතැතින්ම අපගේ මතකය අවදි කරවන්නේ ‘කවිය’ හෙවත් ‘කවිත්වය’ යි. එතුමා භාරතයේ උපන් ශ්‍රේෂ්ඨ කවියෙකි. එසේ වී නමුදු මේ මහා භාරත පුත්‍රයා කවියට පමණක්ම සීමා වූවෙක් නොවීය. දාර්ශනිකයකු, චින්තකයකු, සංගීතඥයකු, චිත්‍ර ශිල්පියකු, නාට්‍ය රචකයකු සහ අධ්‍යාපනඥයකු වශයෙන්ද ඔහු සතු වූ කුසලතාවය කවියට නොදෙවෙනි වූවක් විය.

‘පිරලි’ නම් වූ බ්‍රාහ්මණ වංශික පරපුරෙන් පැවත එන ‘දවර්කනාත්’ කුමාරයා වූයේ තාගෝර්තුමාගේ සීයාය. තාගෝර් පරපුරේ මහා ධනස්කන්ධයේ හිමිකරුවා වූයේ ඔහුයි. ඔහුට අයත් අක්කර තුනහමාරක පමණ භූමි භාගයක පිහිටි දැවැන්ත තෙමහල් මන්දිරයකි. මේ මන්දිරය උතුරු කල්කටාවේ ‘ ජොරසන්කෝ’ හි තම නමින්ම ප්‍රසිද්ධ වූ ‘දවර්කනාත් පටුමගේ' පිහිටා ඇත. තාගෝර්වරුන්ගේ ‘මහගෙදර’ වූයේ මේ සුවිසල් මන්දිරයයි. මෙම මන්දිරය නිබඳවම සංගීත රාවය රැව් පිළිරැව් දුන් එකම කලාගාරයක් විය. මේ විශාල ගෘහයේ මූලිකයා වූයේ ‘මහර්ෂී’ යන අපර නාමයෙන් හැඳින්වුණු ‘ද්වේන්ද්‍රනාත් තාගෝර්’ තුමාය. රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ පියා වූයේ ඔහුය. 1861 වර්ෂයේ මැයි මස 07 වන දා මේ මහා මන්දිරයේ බිලිඳෙක් උපන්නේය. ‘රබීන්ද්‍රනාත් තාගෝර්’ වූයේ ඔහුය. රබීන්ද්‍රනාත් කුමරුට වැඩිමහල් සහෝදර සහෝදරියන් කීපදෙනෙකු සහ බාල සොහොයුරෙකු ද සිටි අතර කුමරු ඔවුන් සමඟ කෙළිදෙලෙන් වැඩුනේය.

රබීන්ද්‍රනාත් කුමාරයා මහා මන්දිරයක උපන්නද, අනූන සැප සම්පත්තියෙන් පරිපූර්ණ වුවද, චාම් දිවිපෙවෙතක් අනුගමනය කිරීමට පුරුදු විය. එමෙන්ම තමා උපන් ස්ථානය සහ ඒ අවට ස්වභාවික වෘක්ෂලතා ආදියෙන් සැදි පරිසරයට සහ ස්වභාවධර්මයාට ඉතා දැඩි ලෙස ආදරය කළේය. ඔහුගේ සෑම නිර්මාණයකටම අමුද්‍රව්‍ය සැපයූ ආකරය වූයේ ස්වභාවධර්මයයි. ස්වභාව ධර්මයේ ඇති චමත්කාරය තම කාව්‍ය නිර්මාණයේ සෞන්දර්යය කර ගත්තේය. එතුමා ස්වභාව ධර්මයාට කොතරම් ඇලූම් කළාද යත්, වරෙක සුප්‍රකට ‘ගංගා’ නම් නදිය නැගෙනහිර දෙසට ගලා බසිද්දී හැඳින් වූ ‘පද්මා’ නදියෙහි සිරි නැරඹීමේ අටියෙන් ඔරුවක් තනවා ගත් ඔහු එය සිය වාසස්ථානය කර ගනිමින් සති මාස ගණන් එක දිගටම එහි ගත කරමින් ස්වභාව ධර්මයේ ආශ්වාදය නොමඳවම ලබා ගත්තේය.

පද්මා නදියේ සුන්දරත්වයත්, සැඳෑ සමයේ අහසේ සඳ නැඟ එන කල්හි නිල්වන් වූ ගඟ දිය මත රන්වන් පැහැයෙන් යුක්ත වූ සඳරැස් පතිත වී දිලිසෙන අයුරුත්, සැඳෑ සමයෙහි අහසේ ඇතිවන වර්ණයන්ගේ අසිරියත් දැකීමෙන් ඔහුගේ කවි සිතිවිලි පුබුදුවාලන්නට පටන් ගත්තේය. එපමණක් නොව නදියෙහි එහා මෙහා යන ඔහුට තම ප්‍රදේශයේ වෙසෙන සාමාන්‍ය වැසියාගේ දුක්මුසු ජීවිතයත්, වීදිවල දූලි නාගෙන කෙළිදෙලෙන් පසුවන කුඩා දරුවන්ගේ හැසිරීමත් ඔහුගේ සෞන්දර්යාත්මක නෙත්වලට ලක් විය. එයින් ලද ආශ්වාදය තම නිර්මාණකරණයට බෙහෙවින්ම ඉවහල් කර ගත්තේය.

උපතින්ම කවියට හපන් බුද්ධියක් ඔහු සතුව ඇති බව කාටත් වැටහී ගියේ ඔහු ළාබාල වියේ සිටම කරන ලද නිර්මාණයන් නිසාමය. ‘මනුපුල් කාව්‍ය’ නිර්මාණය. ‘භාණු සිංගර් පද්‍යාවලී’ නම් භාව ගීතය, ඊට හොඳම නිදසුන්ය. වයස අවුරුදු 15ක 16ක තරම් ළාබාලයකුට මෙතරම් විශ්මිත නිර්මාණ කළ හැකිදැයි බොහෝ අයට අදහාගත නොහැකි විය.

දාහත් වන (17) වියට පැමිණි කල්හි තාගෝර් කුමාරයා අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට යවන ලදී. එහෙත් 1880 දී පමණ නැවත ඔහු සිය නිවෙස් කරා කැඳවාගෙන එනු ලැබිණ. නැවත විදෙස් ගතවන්නට නොසිතු ඔහු, තම මනසේ ලියලමින් තිබූ කවි සිතුවිලි ඔස්සේ සිය නිර්මාණ ප්‍රතිභාව සීඝ්‍රයෙන් පතුරුවාලන්නට පටන් ගත්තේය. ‘ප්‍රභාත් ගීත්’ ‘සන්ධ්‍යා ගීත්' නමින් කාව්‍ය ග්‍රන්ථ දෙකක් ලියූ තාගෝර් ඉන් අනතුරුව ‘උල්පත පිබිදෙයි’ යන අරුත් ගෙන දෙන ‘නිර්ක්ධාරා ස්වප්න හෘංග’ නමින් තවත් කාව්‍ය ග්‍රන්ථයක් තම කාව්‍ය ග්‍රන්ථ අතරට එක් කළේය. ඔහුගේ නිර්මල චින්තන ධාරාව සීඝ්‍රයෙන් වැඩී පිබිදෙන්නට පටන් ගත්තේ මෙතැන් සිටය.

කෙළි දෙලෙන් වැඩෙන කුඩා ළමුන් කෙරෙහි එතුමා තුළ වූයේ පුදුමාකාර ලෙන්ගතුකමකි. ඒ ඇසුරින් ළමුන් උදෙසා එතුමා විසින් රචනා කරන ලද කවි ගීවලින් ඒ බව මනාව පැහැදිලි වේ. එතුමා මහා කවියෙකු වුවද ළමයකුගේ මෙන් මොලොක් සිතැත්තෙකු විය. ‘තපූර් තූපූර් ශීඝ්‍ර’, ‘බිශ්නි පර්ගේ’, ‘සිශු බෝලනාත්’ වැනි කාව්‍ය නිර්මාණත් ‘ රාජර්ෂී’ නම් වූ ළමා කථාවත් ඔහු රචනා කර ඇත්තේ ළමා මනසට යම්කිසි වින්දනයක් ලබාදෙනු සඳහා ළමුන් උදෙසාමය. තවද තාගෝර් විසින් රචනා කරන ලද ‘කාබිලිවාලා’ නම් වූ ප්‍රසිද්ධ කෙටි කථා සංග්‍රහය මඟින් ද ප්‍රකට වන්නේ ළමා මනසේ ඇති නිර්මලත්වයයි.

රබීන්ද්‍රනාත් තාගෝර් නම් වූ මේ මහා කවියා තමාගේ ජීවිත කාලය වූ අවුරුදු අසූවෙන් අවුරුදු හැත්තෑවක් පමණම ගත කර ඇත්තේ තම ලේඛන කටයුතුවල නිරතවීමෙන් බැව් කියවේ. මේ කාලය තුළ එතුමා අතින් ලියවුණු පොත්පත් කතා ප්‍රමාණය තුන්සියයකට අධිකය. නව කථා, කෙටි කථා, නාට්‍ය රචනා, විචාර ග්‍රන්ථ, ආගම, අධ්‍යාපනය, දේශපාලනය සහ සංචාරක සටහන් (එතුමා තම ජීවිත කාලය තුළදී නොයෙකුත් රටවල සංචාරය කර ඇත.) ආදි නොයෙකුත් විෂයයන් අළලා ලියවුණු පොත්පත් ඒ අතර වේ. ඒ හැරුණු විට ගීත නාටක ‘ගී’ දහසකට අධික ප්‍රමාණයක් එතුමා අතින් ලියැවී තිබේ. මුළු මහත් භාරතයේම කවියා වූ මෙතුමා ‘චිත්‍ර ශිල්පය’ කෙරෙහි දැක්වූ ප්‍රතිභාව ද සුළු පටු නොවේ. එතුමා චිත්‍ර ඇඳීමට පටන් ගත්තේ 1927 දී පමණය. අඳින ලද චිත්‍ර ප්‍රමාණය දෙදහසකට අධිකයි.

එතුමා සංගීතඥයකු වශයෙන් ද ප්‍රසිද්ධියක් උසුලනු ලැබූ ප්‍රාඥයෙකි. ‘රබීන්ද්‍ර සංගීත්’ නමින් එතුමාටම ආවේණික වූ සංගීත ශෛලයක් ගොඩ නඟා ගත් අතර එය මුළුමහත් භාරතය පුරාම පැතිර ගියේය.

1912 දී එතුමා එංගලන්තය බලා ගිය ගමනේදී, එතුමාට සුප්‍රකට ඉංග්‍රීසි කවියන්, ලේඛකයින් සහ චිත්‍ර ශිල්පීන් කීප දෙනෙකුම මුණ ගැසීමේ භාග්‍යය උදා විය. ඉංග්‍රීසි ජාතික මහ කවි ‘ඩබ්ලිව්. බී. යේට්ස්’ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි ‘සර් විලියම් රොත්ස්ටීන්’ යන කලාකරුවන් දෙදෙනා එතුමාට මුණ ගැසුනේ මෙහිදීය.

මේ දෙදෙනා තාගෝරයන්ට බෙහෙවින්ම ඇලුම් කළ හිතවතුන් දෙදෙනෙකි. මේ ගමනේදී සිදු වූ වැදගත්ම සිදුවීම වූයේ තම විශිෂ්ට කාව්‍ය නිර්මාණය වූ ‘ගීතාංජලි’ කාව්‍ය සංග්‍රහයට නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීමයි. රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ ‘ගීතාංජලීය’ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ප්‍රථම ආසියාතික සාහිත්‍ය කෘතියයි. බෙංගාලි බසින් ලියැවුණු එය 1913 ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලද්දේ ද කවියා විසින්මය. ගීතාංජලිය ප්‍රමුඛ තාගෝර් කාව්‍ය ලෝකයා ඉදිරියේ අස්සක් මුල්ලක් නෑරම පැතිර ගියේය.

භාරත දේශයට උගතුන්, කලාකරුවන්, සංගීතඥයින්, සිත්තරුවන් ආදි කලාකරුවන් රැසක් බිහිකිරීමෙහිලා පුරෝගාමී වූ ශාන්ති නිකේතන ආශ්‍රමයේ නිර්මාතෘවරයා වූයේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමාය.

1901 දී ආරම්භ කරන ලද නිකේතනය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන් ලද මුළු මුදලම කැප කළේය. අනෙකුත් අධ්‍යාපන ආයතනයකට වඩා ශාන්ති නිකේතනය හාත්පසින්ම වෙනස් විය. විනයානුකූල භාවය සහ පැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංගයක් වූ ‘ ගුරුගෝල සබඳතාව’ අකුරටම පිළිපැදීම සිදු කළ මෙහි සියල්ලක්ම කෙරුණේ තාගෝර් තුමාගේ මූලිකත්වය සහ මඟපෙන්වීම යටතේය.

තම දර්ශනය සහ දැන උගත්කම පොදුවේ ලෝකයා සමඟ ද බෙදා හදා ගැනීමේ අරමුණින් 1921 දී ශාන්ති නිකේතනය ආශ්‍රිතව ‘විශ්වභාරතිය’ නම් වූ ජාත්‍යන්තර අධ්‍යාපනික ආයතනය පිහිටුවනු ලැබීය. සෙසු ලෝකයා සමඟ සහජීවනයෙන් කටයුතු කිරීමේ එතුමා සතු උදාර ගතිගුණය මින් මොනවට පැහැදිලි වන්නේය.

මේ මහා කලාකරුවාගේ අනුහස ශ්‍රී ලාංකික අපට ද දායාද වශයෙන් නොමඳවම ලැබුණි. හොරණ ශ්‍රීපාලිය එහි ප්‍රතිඵලයකි. අද එය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන අංශයේ ශාඛාවක් ලෙස පවත්වා ගෙන යනු ලැබේ. 1934 මැයි මස 09 වන දින හතළිස් දෙනෙකුගෙන් සමන්විත වූ දූත පිරිසක් සමඟින් හොරණ ශ්‍රීපාලිය පිහිටුවීම සඳහා එතුමා අප රටට පැමිණි අවස්ථාවේ, එවකට නොසලකා හැර තිබූ, එමෙන්ම පිරිහෙමින් පැවති අපගේ පාරම්පරික නැටුම්, චිත්‍ර හා මූර්ති ආදී කලාවන්ගේ ඇති වටිනාකම පෙන්වා දෙමින් ද, ඒවා රැකගන්නා ලෙසට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මේවා යයි පෙන්වා දෙමින් ද, නැටුම් කලාව උගැන්මට භාරතයට යාම නිශ්ඵල ක්‍රියාවක් බවත්, එය කළ යුත්තේ අප රටේම පාසැල්වල නැටුම් කලාව ඉගැන්වීම තුළින් බවත් පෙන්වා දුන්නේය. අදත් අප රටේ පාසැල්වල උඩරට සහ පහතරට නැටුම් කලාව උගන්වනු ලබන්නේ ඒ ආභාෂයේ ප්‍රතිඵලයක් වශයෙනි. එතුමා අප රටේ කලා උන්නතිය සඳහා කළ මහඟු සේවය සදා සිහිපත් කරනු වස් ‘ ශ්‍රී ලංකා තාගෝර් සංගමය’ නමින් වූ කාලායතනයක් ද පිහිටුවා ඇත. තාගෝර් දර්ශනය අගයන කලා ලැදි කාහට වුවද මෙවැනි ආයතනයකින් ලැබෙන විපුල ප්‍රයෝජනයේ ඇති වැදගත්කම මොනවට පැහැදිලි වේ.

තාගෝර්තුමාගේ කවීත්වයේ ආභාෂය අප රටේ කොළඹ යුගයේ කවීන් වන ශාන්ති නිකේතනයේම සිසුවකු වූ ‘කේයස්’ කවියා, ‘අල්විස් පෙරේරා’, ‘ විමලරත්න කුමාරගම’ යන කවීන් ලබා ඇති බව ඔවුන්ගේ නිර්මාණ පරිශීලනය කිරීමෙන් පෙනී යයි. මහගම සේකරයන්ගේ ගීත රචනා කීපයකම පාහේත්, තාගෝරයන්ගේ කවි ආභාෂය ගුරු කොට ගෙන ඇති බැව් පෙනේ. ‘ පටු අදහස්කම් පව්රින් ලෝකය කැබලිවලට නොබෙදි ඥාණය ඉවහල් වී’ නම් වූ ගීතය ඊට හොඳම නිදසුනකි.

විශ්ව කීර්තියට පත් කලාකරුවකු තමා ලද එම කීර්තිය හා ප්‍රශංසාව සිහියට නඟන මොහොතක් පාසා, තමා උපන් මාතෘ භූමිය කෙරෙහි ඉමහත් භක්ත්‍යාදරයක් දක්වනු නො අනුමානය. රබීන්ද්‍රනාත් තාගෝර් තුමා ද ඒ බව සනාථ කළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. එතුමාගේ මව් භාෂාවෙන්ම පවසන පරිදි ‘අමාර් සොනාර් බංග්ලාදේශ් අමි කොමායි බලො බෂි’ (මාගේ රත්තරන් වංග දේශය මම ඔබට ප්‍රේම කරමි.) යන වදන්වලින් ඒ බව සනාථ වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එතුමා තම මාතෘ භූමිය කෙරෙහි එකසේ ආදරය දැක් වූ කලාකරුවෙකි.

එතුමා එඩිතර ජාතික විමුක්තිවාදි දේශපාලනඥයකු වශයෙන්ද ප්‍රසිද්ධියක් ලැබූ තැනැත්තෙකි. දේශීය අනන්‍යතාවය රැක ගනිමින් ඒ තුළ සාම්ප්‍රදායික චින්තනය පතුරුවාලන්නට මහත් කැපවීමකින් යුතුව කටයුතු කළේය. 1905 ඔක්තෝබර් 16 වන දා ඉංග්‍රීසින් විසින් බෙංගාලය බෙදා වෙන් කළ දිනයයි. තම දේශය යටත් විජිතවාදීන් විසින් දෙකඩ කළ අවස්ථාවේ එතුමා දැඩි ලෙස කම්පා වුවද, කිසිවිටෙකත් තම රටේ ජාතික නිදහස පතා කළ සටන අත්හැරියේ නැත. රට ඒකාබද්ධ කිරීමේ කාර්යයේ පෙරමුණේම සිටියේය.

තාගෝර්තුමාගේ සිත දැඩි ලෙස කම්පා වූ තවත් දිනයක් නම් 1931 දී ඉංග්‍රීසින් විසින් මහත්මා ගාන්ධි’ තුමා සිරභාරයට ගත් දිනයයි. නායකයකු සතුව තිබිය යුතු එඩිතර භාවයත්, ආත්ම ධෛර්යයත් පිළිබඳව කරුණු පෙන්වා දෙමින්, ගාන්ධි තුමාගේ සිත ධෛර්යමත් කළේය. නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව භාරත දේශයේ නිදහස පතා සටන් කළ මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨ ජන නායකයන් සැමවිටම දිරිමත් කළේය. මේ ආදි වශයෙන් තාගෝර්තුමා තම මාතෘ භූමිය වන භාරත දේශයේ විමුක්තිය පතා කළ උදාර සේවය ද ඉතිහාසගත වූවක් විය.

තාගෝර්තුමා පිළිබඳව ‘ ශ්‍රීනේරු’ තුමා පවසා ඇත්තේ මෙසේය ‘ ජීවිතයේ විශිෂ්ට වූ ද උදාර වූ ද අංග කෙරෙහි අපගේ සිත් යොමු කරමින් පුද්ගලයනුත්, ජාතීනුත් වැටෙන වළවල්වල අපට වැටෙන්නට ඉඩ නොදී ඔහු අපට මඟ පෙන්වන ආලෝක ධාරාවක් විය' යනුවෙනි.

එතුමා පිළිබඳව සුප්‍රසිද්ධ ජර්මන් නව කථාකරුවකු වූ ‘හර්මන් හෙස’ මහතා ප්‍රකාශ කොට ඇත්තේ ‘තාගෝරයන්ගේ බලපෑම ඇතැම් මනස් සහ හදවත් තුළ දිගින් දිගටම පවතිමින් ඵල දැරීය. අවසාන විග්‍රහ‍ෙය්දී වැදගත් වන්නේ තාගෝරයන් ලබා තිබූ ප්‍රසිද්ධිය හා ඔහු කලා විලාසිතාවක් බවට පත් කර ගැනීම මත පදනම් නොකෙරුනු ආභාෂයයි’ යනුවෙනි.

උසස් කුල පරම්පරාවකින් පැවතිය ද, ධනවත් සිටු මැදුරක ඉපදුනද, සාමාන්‍ය මිනිසකු ලෙස, සාමාන්‍ය ජනතාව අතරේ ගැවසී , සිය කාලයත්, ධනයත්, ශ්‍රමයත් තම මාතෘ භූමියේත් සහෝදර ජනතාවගේත් උන්නතිය තකා කැප කොට, භාරත දේශයට, උගතුන් , කලාකරුවන් රැසක් බිහි කොට ලෝකයේ උතුම්ම මිනිසකුට පුද දෙනු ලබන සම්මානයෙන් පිදුම් ලබා, දේශියත්වයන් තුළින් විශ්වත්වයක් ඇති කළ, වංශ දේශයේ පියාණන් වශයෙන් හැඳින් වූ මේ මහා කලාකරුවා 1941 අගෝස්තු මස 07 වනදා උතුරු කල්කාටාවේ පිහිටි තමා උපත ලද සිටු මැදුරේදීම සඳහටම නෙත් පියාගත්තේය. රබීන්ද්‍රනාත් තාගෝර්තුමාගේ කය මිය ගිය ද එතුමාගේ නාමය ලොව සදා පවතිනු ඇත.

ඇම්. විමලරත්න
අලූබෝගහලන්ද වත්ත, මාවිත්තර,
පිළියන්දල

(dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්"

    Post a Comment