ප්‍රකෘතිය මහගමසේකර ශූරින්ට අනුව සුන්දර ය. ඔහුට එසේ වූ පමණින් සියල්ලෝ ප්‍රකෘතිය වැළඳගන්නෝ නොවෙති. කලාවේ නීති රීති නැත. එය අපි අත් දකින බොහෝ සමාජ ප්‍රපංචයන්ට වඩා වෙනස් ය. සමාජය තුළ අන්‍යයන්ගේ කැමැත්ත අකැමැත්ත අනුව ජීවත් වන අය කලාව සමඟ ඒකාත්මික වූ පසු ස්වාධීන ජීවිහූ වෙති. සැබෑ ලෝකයේ අත්දැකීමක් නොවන තමන්ට කැමති ඕනෑම අයෙකු වීමේ අවස්ථාව කලාව හිමි කර දෙයි.
එකී කලාව සමීපතමයෙකු බවට පත්වන්නේ නිර්මාපකයාගේ ආනුභාවයෙනි. කලා නිර්මාණයක් රස විඳීමේදි තමන් තනිවී නැති බවක් හැඟේ නම් එම නිර්මාණ කාර්‍යය සාර්ථක ය. තමන්ගේ සිතැඟි සමග මුහුවෙන කලාකරුවාට අපි ආශක්ත වන්නෙමු. ඔහු හෝ ඇයව ඇගයීමට ආශා කරන්නෙමු. ලෝකවාසී බහුතරයකගේ ආදරය දිනාගත් එවන් කලාකරුවෙක් පසුගිය දා ජීවන ගීතය ගයා නිම කළේ ය.
ඔහු නමින් චෙස්ටර් බෙනින්ග්ටන් ය. අන්තර්ජාලයේ පඬිවදන් දෙන කලාව පිළිබඳ හැඟීමක් නොමැති සරිගම කන්නන් වන්දනාමාන කරන පාත්‍ර වර්ගයාට ඔහු අමුතු සත්වයෙකි. නමුත් තමන් කවුදැයි යන්න කිසිවෙකු හඳුනා නොගත් ලෝකයක අවතැන් වූවන්ට ඔහු ළඟම මිතුරෙකි. අනාදිමත් කාලයක සිට තරුණ හදවත් අමන්දානන්දයට පත් කළ ලින්කින් පාක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ඔහුයි. මේ සංගීත කණ්ඩායම ලෝකය පුරා ජනාදරයට පත් වීමට හේතුව ප්‍රකෘතියේ දක්නට ලැබෙන එහෙත් කිසිවෙකුගේ අවධානයට ලක් වන්නේ නැති සංවේදි දෑ නිර්මාණයට අනුභූත කර ගැනීම ය.
තරුණ ආතුරයන්ගේ හිස්ගෙඩි තුළ ජීවත් වූ යක්ෂයා පළවා හැරීමට ආ යකැදුරාට අවසානයේ යක්ෂයා ඉදිරියේ පැරදුම වැළඳ ගැනීමට සිදු විය. චෙස්ටර් බෙනින්ග්ටන් සියදිවි නසා ගත්තේ ය. එය ජීවිතය සම්බන්ධයෙන් කිසිසේත්ම අනුමත කළ නොහැකි අවසානයක් වුවත් නිධාන කතා සැපයීමට අපට කිසිදු අවසරයක් නැත. මරණයක අමිහිර ජීවත්ව සිටින්නන්ට දැනෙන්නකි. චෙස්ටර්ගේ අකල් වියෝවෙන් කම්පා වූ ලක්ෂ සංඛ්‍යාත රසික හදවත් සමූහය ඒ අත්දැකීමේ කොටස්කරුවෝ වූහ.
අන්තර්ජාලය යනු ගොසිප් වෙබ් අඩවි පවත්වා ගැනීමට, අසැබි වීඩියෝපට සහ විකෘති කරන ලද ඡායාරූප මුදා හැරීමට පමණක් උපන් දෙයක් නොවේ. මිනිස් සිතක ඇති වන හැඟීම් සහ සිතුවිලිවල සිරකාරයෙකු නොවී ඒවා සංයමයෙන් යුතුව ප්‍රකාශ කිරීමට අන්තර්ජාලය හොඳ වේදිකාවකි. චෙස්ටර්ගේ මරණය අන්තර්ජාලයම කඳුළු ගඟක් බවට පත් කළේය. මෙය කීප දෙනෙකුට කහඹිලියා ගෑවුණාක් වැනි අත්දැකීමක් විය.
වෙනත් රටක ගායකයෙකු වෙනුවෙන් ලාංකිකයන්ගේ සිතේ ඇතිවන හැඟීම ලංකාවේ කලාකරුවන් වෙනුවෙන් ඇති නොවන බවක් ඔවුහු පුන-පුනා කීහ. මේ ඊනියා 'සිය රට දේ සිරි සැප දේ' නඩයේ බොහෝ දෙනෙකු ස්වදේශීය සේවයේ එෆ්.එම් සංඛ්‍යාතය පවා නොහඳුනයි. නමුත් ඔවුන් විස්සෝප වන්නේ දේශීය දේවල් අගය නොකරන ගුණමකු ජාතියක් තුළ ජනිත වූවන් සේය. හොඳ කලා නිර්මාණයක් ඇගයීමට කලාවෙන් පවා නැති සම්බාධක ය. යමෙක් බටහිර නිර්මාණයක් අගය කරයිද ඔහු දේශිය නිර්මාණ බැහැර කරනු ඇතැයි අපිට සිතිය නොහැක.
මේ ලංකා පුත්‍රයන් විසින් ම කලාකෘති පරිශීලනය කිරීම වැනි අතිශය සංවේදි කාරණාවක් මත සමාජය දෙකට බෙදා ඇත. බටහිර නිර්මාණ ඇසුරු කරන්නන් 'පොෂ්' වන අතර දේශීය නිර්මාණ හා බැඳුණු ජීවිත 'ගොඩේ' වේ. ඌරන් කැකුණ තලන විට රජමගුල් සමරන හබන් කුකුළන් ද ඇත. ජනප්‍රිය සංස්කෘතිය යනු බටහිර සංස්කෘතිය පමණක් වන බව සහ දේශීය නිර්මාණ ඒවා දේශීයත්වය එක්කොට සෑදුණු ඒවා නිසාම ඇසුරු නොකළ යුතුය යන හීනමානයෙන් පෙළෙන්නෝ ද නැතුවා නොවේ. භේදයකින් තොරව සංගීතය රස විඳින කලාකාමීන්ට මුවා වී මොවුහු මේ නාටකය රස විඳිති.
අතීතකාමයේ අල්ප මාත්‍රයක් හෝ ශේෂගතව හැම මිනිසෙකු තුළම ඇත. චෙස්ටර් බෙනින්ග්ටන්ගේ මරණය දේශසීමා අතික්‍රමණය කරමින් හදවත් දවන්නේ මේ නිසාය. ඔහු වෙනුවෙන් දුක්වන බොහෝ දෙනා ළමා කාලය කෙමෙන් ඉක්මවා තරුණ වියට එළඹෙන්නේ ලින්කින් පාක් කණ්ඩායමේ ගීත අසමිනි. ඔහුගේ සංගීතය මග හැරුණු කීප දෙනා සැබෑ අවාසනාවන්තයෝ වෙති. ජීවිතයේ ලස්සනම අවධියක මුණ ගැසෙන අය මෙන්ම ඇස නොගැසෙන මෙවන් චරිත ද අමතක කළ නොහැක. අනවශ්‍ය ලෙස පුද්ගලයන් කලාව නිසා කොටස් දෙකකට බෙදී කුළල් කා ගැනීම දැකීමට තරම් චෙස්ටර් බෙනින්ග්ටන් පව් කර නැත.
තිසරණී විජයබණ්ඩාර @Thizuu (දිනමිණ)
අතීතකාමයේ අල්ප මාත්‍රයක් හෝ ශේෂගතව හැම මිනිසෙකු තුළම ඇත. චෙස්ටර් බෙනින්ග්ටන්ගේ මරණය දේශසීමා අතික්‍රමණය කරමින් හදවත් දවන්නේ මේ නිසාය. ඔහු වෙනුවෙන් දුක්වන බොහෝ දෙනා ළමා කාලය කෙමෙන් ඉක්මවා තරුණ වියට එළඹෙන්නේ ලින්කින් පාක් කණ්ඩායමේ ගීත අසමිනි. ඔහුගේ සංගීතය මග හැරුණු කීප දෙනා සැබෑ අවාසනාවන්තයෝ වෙති. ජීවිතයේ ලස්සනම අවධියක මුණ ගැසෙන අය මෙන්ම ඇස නොගැසෙන මෙවන් චරිත ද අමතක කළ නොහැක. අනවශ්‍ය ලෙස පුද්ගලයන් කලාව නිසා කොටස් දෙකකට බෙදී කුළල් කා ගැනීම දැකීමට තරම් චෙස්ටර් බෙනින්ග්ටන් පව් කර නැත.
තිසරණී විජයබණ්ඩාර @Thizuu (දිනමිණ)
Share this
|
|
0 Comment to "සංගීතයේ සම්බාධක සහ හීනමානය"
Post a Comment