16 July, 2017

උන් ගේ බිරිය එතැන උන්නාය

Kim Jong un - Wife

උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් පසුගිය සතියේදී මුළු මහත් ලෝකයම උණුසුම් කතිකාවතකට රැගෙන ආවේ අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලීමත් සමඟය. උතුරු කොරියා පාලකයා ලෝකයාට කතාකරන්නට මෙවර හොඳ මාතෘකාවක් සපයා තිබෙන්නේද මිසයිල අත්හදා බැලීමටම ඇඳුණු තවත් සිද්ධියක් කරළියට රැගෙන එමිනි. 

එය, මිසයිල අත්හදා බැලීමේ සාර්ථකත්වය සැමරීමට පැවති ජයපැන් පාන උත්සවයකි. ජයපැන් බීමේ අවස්ථාවට සිය බිරියත් සහභාගී කරවාගෙන තිබිණ. ඔහුගේ රූමත් සහ තරුණ බිරිය ගැන කතා කිරීම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම තරමටම ලෝකයට උණුසුම් මාතෘකාවක් වී තිබෙන්නේ ඒ හරහාය.

උන්ගේ විසිහත් හැවිරිදි බිරිය රී සොල් - ජූ අවසන් වරට මහජනයා ඉදිරියේ පෙනී සිටියේ මෙයට නව මසකට පමණ ඉහතදී එනම්, පසුගිය වසරේ අගභාගයේදී ය. මෙවර ඈ සැමියා සමඟ පෙනී සිට තිබුණේ ඒ අවසන්වරට පෙනී සිටියාට වඩා හාත්පසින්ම වෙනස් ඇඳුම් ආයිත්තම් සහ විලාසිතාවලින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඈ ඇඳ සිටි ලා නිල් පැහැති ඇඳුමත්, අත තිබුණු අත් බෑගයත් ඉතාමත් අගනා මිලෙන් අධික ඒවා බව පැවසේ. 

රී කෙරෙන් දිස්වුණු විශේෂත්වය වූයේ ඇගේ කොණ්ඩා මෝස්තරය යි. මෙයට පෙර අවස්ථාවලදී රීගේ කොණ්ඩා මෝස්තරය වූයේ කෙටි කර කපන ලද කොණ්ඩයයි. නමුත් මෙවර ඈ කොණ්ඩය තරමක් වවා බැඳ ඇති සෙයක් දක්නට ලැබිණ. උතුරු කොරියා ගැහැනුන්ටත් කොණ්ඩය වැවීමේ සම්ප්‍රදාය අරඹන්නට කාලය එළඹ ඇතැයි කියන පණිවුඩය එයින් ලබා දෙන්නේද යන්න සැක සහිතය.

රී සිය සැමියා සමඟ මේ අන්දමට ඉතා කලාතුරකින් මහජනයා හමුවේ පෙනී සිටීම උතුරු කොරියා ජනයාට උණුසුම් ප්‍රවෘත්තියකි. ඇය ජීවතුන් අතර සිටින බව පවා රටවැසියා දැනගන්නේද එසේ පෙනී සිටීමෙනි. එමෙන්ම උතුරු කොරියා නායකයා වෙනත් ගැහැනියක කරකාරයට ගෙන ඇත්දැයි යන්න සැක හැර දැන ගන්නට වන්නේත් එවැනි අවස්ථාවකදී ය. රීගේ පෙනී සිටීම මිනිසුන් එවැනි බරපතළ කාරණා විග්‍රහ කිරීමට පවා යොදාගන්නේ උතුරු කොරියා නායකයන් ගුප්ත සහ අසාමාන්‍ය ජීවිත ගත කර ඇති බැවිනි. 

එහිලා වඩාත් කැපී පෙනෙන්නේ උන්ගේ පියා සහ උන්ගේ පියාගේ පියාය. උන්ගේ පියාත්, සීයාත් යන දෙදෙනාම තමන්ගේ බිරියන් මහජනයා ඉදිරියට රැගෙන ආවේ නැත. ඒ නිසාම එම නායක දෙපළට බිරියන් කීයක් සිටියාද දරුවන් කීයක් කියා දැනගන්නටවත් ඉඩක් නොලැබිණ. තාත්තාත්, සීයාත් තම නිත්‍යානුකූල බිරියන් සම්බන්ධයෙන් පවා අනුගමනය කළ පිළිවෙත ගැන සිතන විට උන් තම බිරිය සම්බන්ධයෙන් තරමක් දුරට 'ප්‍රජාතන්ත්‍රවාදීව' කටයුතු කරන බවක් පෙනී යයි. නමුත් උන් සිය බිරිය ගැන අනුගමනය කරන ක්‍රියා පටිපාටිය වුව සැක සහිතය.

ඒ බැව් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වඩාත් හොඳින් ලෝකයාට දැනිණ. ඔක්තෝම්බර් මාසය වනවිට මාස හතකින්වත් උතුරු කොරියා ජනයා රීව දැක තිබුණේ නැත. එනිසා බොහෝ දෙනකු විශ්වාස කළේ කිසියම් අපේක්ෂාවක් වෙනුවෙන් රී මරා දමන්නට ඇතැයි කියාය. එසේ රී මරා දමන්නට ඇත්තේ උන්ගේ බාල සොයුරිය වන කිම් යෝ - ජෝන්ග් සමඟම යැයි ඇතැමෙක් කියා සිටියහ. කිම් යෝ - ජෝන්ග් උන්ගේ පාලනයට සම්බන්ධ වී කටයුතු කළත් පෙරළියක් කර උතුරු කොරියා පාලිකාව ලෙස පත්වන්නට ඇයටත් ඉඩක් තිබේ. ඒ ඉඩ කවර අවස්ථාවකදී ප්‍රයෝජනයට ගනු ඇතැයි කියා කල්පනා කර බලා තීරණයක් ගන්නට උන් කිසිවිටෙකත් මැලිවන්නේද නැත.

මේ අතර ඇතැම් පිරිස් කල්පනා කළේ රී දරුවකු ප්‍රසූත කළේ යැයි කියාය. රී ප්‍රසූත කළේ පුතකු බවද රාවයක් ඇත. නමුත් කිසිවකු රී ගැබිනියක වී සිටි බවක් දැන සිටියේ හෝ දැක තිබුණේ හෝ නැත. පැසිපන්දු ක්‍රීඩක අමෙරිකා ජාතික ඩෙනිස් රොඩ්මන්ට 2013 වසරේ මාර්තු මාසයේදී කිම් ජොන්ග් උන්ව මුණ ගැසෙන්නට අවස්ථාවක් ලැබිණ. ඩෙනිස් පෙරළා පැමිණ බ්‍රිතාන්‍යයේ පළවන ටැබ්ලොයිඩ් පුවත් පතකට කියා තිබුණේ රී දියණියක ප්‍රසූත කළ බවකි. දකුණු කොරියා මාධ්‍ය ප්‍රකාශ කරන්නේ රී 2012 වසරේදී දරුවකු බිහි කළ බවකි. 

උතුරු කොරියා නිර්මාතෘ කිම් ඉල් සුන්ග් ගේ සියවන අනුස්මරණ දිනය යෙදී තිබුණු දිනටම මේ දරුවා උපද්දවා ගන්නට උන්ට වුවමනාව තිබුණු නිසා රීට කෘත්‍රිම වශයෙන් ප්‍රසව වේදනා ඇති කරවා නියමිත දිනයේදීම දරුවා ප්‍රසූත කරවා ගත් බව දකුණු කොරියාව වැඩි දුරටත් කියා සිටී. 2013 වසරේදී 'ගාර්ඩියන්' පුවත්පත වාර්තාවක් පළ කරමින් කියා සිටියේ රී ගැහැනු ළමයකු වැදූ බවකි. දැරියට ජූ - අයෙ යන නම තැබුණු බවත් පුවත් පත වැඩිදුරටත් පෙන්වා දී තිබිණ. කෙසේ වුවත් රී, උතුරු කොරියා නායකයාට දාව දරුවකු ප්‍රසූත කළාද යන්න අදටත් නිශ්චිත උත්තරයක් නැති ප්‍රශ්නයකි.

රී, උන්ගේ බිරිය බව දැනගන්නටත් ලෝකයාට සෑහෙන කාලයක් ගත විය. අඩුම තරමින් ඔවුන් දෙපළ විවාහ වූ බවක්වත් නිල වශයෙන් අනාවරණය නොකෙරිණ. ඔහු විවාහ වී සිටින බව දැනගන්නට හැකි වුණේ රී 2012 වසරේදී උන් සමඟ අවස්ථා කිහිපයකදී උත්සවවලට පැමිණීම නිසයි. ඒ සමඟම දකුණු කොරියා බුද්ධි අංශ කියා සිටියේ උන් අසලින් සිටින කාන්තාව හ්යොන් සෝන්ග් - වොල් නැමැති ගායිකාවය කියාය. 

ඇය උතුරු කොරියාවේ ප්‍රකට සංගීත කණ්ඩායමක ගායිකාවකව සිටියාය. 2006 වසරේදී ඇය සිය සංගීත දිවියට සමුදුන් ඒ ගායිකාව උතුරු කොරියා යුද හමුදාවේ නිලධාරියකු සමඟ විවාපත් වූ බව ද පසුව ඈ එකී හමුදා නිලධාරියාට දාව දරුවකුද වැදූ බව ද සටහන්ව තිබේ. කෙසේ වුවත් මේ ගායිකාව සහ උන් අතර ඉතා ප්‍රබල ප්‍රේම සම්බන්ධයක් පැවැති බවත් උන්ගේ පියා එයට තදින්ම විරෝධය පළ කළ බවත් කියැවේ. 

උන් සහ යට කී ගායිකාව අතර පැවැති පරම සම්බන්ධය යළි ලියලා නැඟුණේ 2011 වසරේදී කිම් ජොන්ග් ඉල් මරණයට පත්වීමත් සමඟ බව දැක්වේ. දෙදෙනා අතර සම්බන්ධය උතුරු කොරියා රජයේ ඉහළ නිලධාරින් පවා දන්නා ප්‍රසිද්ධ රහසකැයි තැනෙක සටහන්ව ඇත. මේ අතර 2012 වසරේ මාර්තු මාසයේදී මේ ගායිකාව උතුරු කොරියාවේ පැවැති අන්තර්ජාතික උත්සවයකදී ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ගැබ් බරවය. 

උතුරු කොරියාවේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වන්නට හ්යොන් සෝන්ග් - වොල්ට ශක්තියක් ලැබුණේ උන් නිසා බවට සමහරු තර්ක කරති. එනිසා උන්, රීට අමතරව හ්යොන් සෝන්ග් - වොල් සමඟ සම්බන්ධයක් පවත්වමින් සිටියාටත්, තවමත් ඒ සම්බන්ධය පවත්වාගෙන යනවාටත් සැකයක් නැත. නමුත් 2012 වසරේදී පැවැති උත්සව අවස්ථාවන්හිදී උන් සමඟ පෙනී සිටි කාන්තාව හ්යොන් සෝන්ග් - වොල් නොව රී නමැත්තියම බව පසුව සනාථ කෙරිණ. එම තහවුරුව දෙනු ලැබුවේ උතුරු කොරියා මාධ්‍යය මඟිනි.

කෙසේ වුවත් රී කාගේ කවුද, ඈ කුමන තරාතිරමක කෙනකුද යන්න ගැන කිසිඳු තොරතුරක් හෙළි නොකිරීමට උතුරු කොරියා බලධාරීන් වග බලාගෙන තිබේ. කිම් ජෝන් - ඉල්ගේ සූපවේදියකු ලෙස කටයුතු කළ කෙන්ජි ෆුජිමොතෝට රීව මුණ ගැසෙන්නට වරක් ඉඩ ලැබී ඇත. ඒ හමුවෙන් පසුව කෙන්ජි, රී ගැන කතාකරමින් කියා සිටියේ මෙවැන්නකි.

“... ඇය ඉතාමත් චාම් කාන්තාවක්. මට නම් හිතාගන්නවත් බැහැ ඒ තරම් චාම් කාන්තාවක්. ඇය මෘදු කරුණා ගුණාංග ඇති කෙනෙක්. ඇගේ කටහඬ ඉතාමත් මෘදුයි. ....” යනුවෙනි.

ඒ මෘදු ගැහැණිය උන් තරම් දඩබ්බර, හිතුවක්කාර සහ භයානක මිනිසකුට බිරිය වූයේ කෙසේදැයි දිනෙක අනාවරණය වනු ඇත. සමහර විට ඒ වනවිට ඈ ජීවතුන් අතර නොසිටින්නටත් ඉඩ තිබේ. (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උන් ගේ බිරිය එතැන උන්නාය"

    Post a Comment