10 July, 2017

G 20 සමුළුව; බෙදීම් සමඟ නිමවෙයි

G20 summit Finished with divisions
G 20 නායකයෝ රැස්වෙමින් සිටියදී හැම්බර්ග් නගරයේ තත්වය

ජර්මනියේ 'හැම්බර්ග්' නගරයේ මුළුදුන් G 20 රාජ්‍ය නායක සමුළුව නිමාවේ ප්‍රකාශයට පත් කරන ලද අවසන් නිවේදනය සාමාජික රාජ්‍යයන් අතර පැහැදිලි බෙදුමක් පෙන්නුම් කරයි.

දින දෙකක් තිස්සේ පැවැත්වූ සාකච්ඡා වලින් අනතුරුව නිකුත් කර ඇති අවසන් ප්‍රකාශනයට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය හැරුණ විට සෙසු රාජ්‍යයන් දහනවයම(19) පැරිස් පරිසර ප්‍රඥප්තියේ වෙනසක් සිදුකළ නොහැකි බව කියා සිටිති.

ඒ අතරම පොසීල ඉන්ධන මත දිගු කලක් රඳා පැවැත්මේ ඇමෙරිකානු උවමනාවත් සමුළුව සහ ඊට සහභාගී වූ සාමාජික නොවන රාජ්‍යයන් විසින් පිළිගනු ලැබ ඇත.

" ඇමෙරිකා එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ගත් තීන්දුව අපගේ සැලකිල්ලට ගනු ලබන නමුත් එම ගිවිසුම ආපසු හැරවිය නොහැකි බවට සෙසු රාජ්‍යයන් දහනවය එකඟ වෙති" හැම්බර්ග් ඒකාබද්ධ ප්‍රකාශනය කියා සිටියි.

G 20 දෙදින සමුළුව නිමාවේ කැඳවූ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල් (Angela Merkel) පැරිස් සම්මුතිය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන ස්ථාවරය පිළිබඳව සිය කනස්සල්ල පළ කළාය.

එහෙත් සෙසු සාමාජික රාජ්‍යයන් සම්මුතිය සමඟ බැඳී සිටීම අතිශය සතුටට කරුණක් බවත් ඇය පවසන්නීය.

දේශගුණ විපර්යාස වලට අතිරේකව හැම්බර්ග් G 20 සමුළුවේ අවධානය යොමු වූ ප්‍රමුඛ කරුණක් වුණේ ලෝක වෙළෙඳාමයි.

ඒ ඒ රටවල වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීම සඳහා "නීත්‍යනුකූල වාණිජ ආරක්ෂණ ක්‍රියාමාර්ග" අනුගමනය කිරීමට එම වෙළෙඳ සාකච්ඡාවල දී රටවල් සඳහා අවසරයක් ලැබුණ අතර එම අවසරයත් ජනාධිපති ට්‍රම්ප් ලද තවත් ජයග්‍රහණයක් බවට පත්විය.

මෙවර සාකච්ඡා ඉතා දුෂ්කර වූ බව ජර්මන් චාන්සලර් අන්ගෙලා මර්කල් පවසයි.

සමුළුව නිමාවේ අවධානයට ලක් වූ තවත් කරුණක් වුණේ ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවකට සහභාගී වීමෙන් තොරවම පිටත්ව යාමයි.

ඉන්පෙර මෙම සමුළුවේදී අප්‍රිකාව සම්බන්ධයෙන් පැවැත්වුන සැසියකට ජනාධිපති ට්‍රම්ප් වෙනුවට ඔහුගේ දියණිය 'ඉවන්කා' පෙනී සිටීමත් ඉතාම අසාමාන්‍ය සිදුවීමක් විය.

ජනාධිපති පුතින් සහ ජනාධිපති ට්‍රම්ප් පළමු වතාවට මුහුණට මුහුණ හමුවීමේ අවස්ථාව නිසාත් හැම්බර්ග් සමුළුව ලෝකයේ අවධානයට ලක්විය.

සමුළුව නිමාවේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශයක් කළ රුසියාවේ ජනාධිපතිවරයා, තමා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ සක්‍රීය සබඳතාවක් ගොඩනගා ගන්නා ලද බව සඳහන් කළේය.

'තමන් දෙදෙනා' අතර සිකුරාදා (ජූලි 07) පැවැත්වුන සාකච්ඡාව අනුව අනාගතයේ තමන්ට එකමුතුව කටයුතු කළ හැකි බවට බොහෝ සාධක ඇති බව ජනාධිපති පුතින් පවසයි.

"රූපවාහිනියෙන් දකින ජනාධිපති ට්‍රම්ප් සහ සැබෑවට දකින ට්‍රම්ප් වෙනස්" බවක් ජනාධිපති පුතින් සඳහන් කළ බවක් ද මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ ඇත.

ඉහත කී මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති පුතින් පසුගිය වසරේ පැවැත්වුන ඇමෙරිකානු ජනාධිපතිවරණයට මොස්කව් පාලනය මැදිහත් නොවූ බවට තමා සිදුකළ සහතික වීම ජනාධිපති ට්‍රම්ප් විසින් පිලි ගන්නා ලද බව සිය විශ්වාසය වන බවත් සඳහන් කළේය.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පෙනී සිටින ඇමෙරිකානු තානාපති නිකී හාලේ (Nikki Haley) ඒ සම්බන්ධයෙන් වෙනත් අර්ථ දැක්වීමක් සිදු කරයි.

"ජනාධිපති ට්‍රම්ප් ජනාධිපති පුතින් හමුවීමට ගියේ - අපි දන්නවා -ඔබ ඊට ඇඟිලි ගහපු බව. කමක් නැහැ - ඒක දැන් අතෑරලා දාන්න කියන පණිවුඩය ඔහුට දෙන ඉරියව්වකින්" තානාපතිවරිය ප්‍රකාශ කළාය.

G 20 ; G 19+1 බවට පත්වෙයි

හැම්බර්ග් සමුළුව අවසානයේ නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශනයේ ඇමෙරිකාවට අදාළ වෙනම ඡේදයක් ඇති අතරවාරයේ ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවකට සහභාගී නොවී පිටව යාම වැනි කරුණු සමාලෝචනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු භාර බීබීසී වාර්තාකරු ජේම්ස් රොබර්ට්සන් "G 20 සමුළුව G 19 +1 සමුළුවක්‌ " ලෙස විග්‍රහ කළේය.

ලෝක නායකයන්ගේ පරිසර සහ වෙළෙඳාමට අදාළ පිළිවෙත් කෙරෙහි විරෝධය පළ කරමින් මෙවර G 20 සමුළුව ආරම්භ වීමට පෙර පටන්ම දැවැන්ත මහජන උද්ඝෝෂණ දියත් වෙමින් තිබුණි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "G 20 සමුළුව; බෙදීම් සමඟ නිමවෙයි"

    Post a Comment