ඉන්දියන් සාගරයේ මුතුඇටය ලෙස ශ්‍රී ලංකාවට නම ලැබෙන්නේ නිකම්ම නොවේ, මේ පුංචි රට මහා සම්පතින් පිරී සාගරයකින් වට වී තිබීම හේතුවෙනි. විදෙස් රටවල විදේශිකයන් අපේ රටට සංචාරය සඳහා පැමිණීමට මූලික හේතුවක් වන්නේද මේ නිල්වන් මහා සාගරයයි. ඔවුහු තම විවේකය සන්සුන්ව ගත කරන්නට ශ්‍රී ලංකාවට සංක්‍රමණය කරති. නමුත් පසුගිය 2010 වසරේදී සිදුකෙරුණු සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව සමුද්‍ර දූෂණය අතින් පස්වැනි තැනට හිමිකම් කීය. එය ශ්‍රී ලාංකිකයන්ට සතුටුදායක වාර්තාවක් වූයේ නැත. එනම් මුහුදට අපද්‍රව්‍ය බැහැර කරන රටවල් අතරින් පස්වැනි තැන හිමිවූයේ ශ්‍රී ලංකාවට බැවිනි.
“මෙය 2010 වසරේදී කරනු ලබන සමීක්ෂණයක දත්තයන්. නමුත් මේ වර්ෂයේදී ඊට වඩා ශ්‍රී ලංකාවට සතුටු විය හැකි තත්ත්වයක් පවතිනවා. 2010 වසරෙන් පසුව මෙම සමීක්ෂණය නැවත වරක් සිදුකළේ නෑ. නැවත ළඟදීම ඒ සමීක්ෂණ කණ්ඩායමම මෙම සමීක්ෂණය නැවත වතාවක් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් 2010 වසරට වඩා අද වෙද්දී ශ්‍රී ලංකාව හොඳ තත්ත්වයක පවතින බව අපිට කියන්න පුළුවන්.”
මෙලෙස ඒ පිළිබඳව අදහස් දැක්වූයේ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාය.
2010 වසරේදී කරනු ලබන සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව වාර්ෂිකව මුහුදට බැහැර කරනු ලබන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6 කි. වාර්ෂිකව මුහුදට බැහැර කරනු ලබන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 8.8 වූ චීනය මෙම සමීක්ෂණ වාර්තාවේදී පළමුවැනි ස්ථානයට හිමිකම් කියයි.
මෙහි දෙවැනි ස්ථානය හිමිව තිබුණේ ඉන්දුනීසියාවටය. ඒ අනුව වාර්ෂිකව ඉන්දුනීසියාව මෙට්‍රික් ටොන් මිලියන 3.2ක් පමණ ප්‍රමාණයක් සාගරයට කසළ බැහැර කරයි.
මේ පිළිබඳව ප්‍රදීප් කුමාර මහතා මෙසේ කියයි.
“පාංශු ඛාදනය වැඩිවීමත් සමඟ සාගර අපවිත්‍ර වීම වැඩිවීමක්ද සිදු වේ. සාගරය 85%ක් පමණ දූෂණය වන්නේ මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙනුයි. කෙතරම් මුහුද ආශ්‍රිතව පිරිසුදු කිරීමක් කළද මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් සාගරය අපවිත්‍ර වීම සිදුවෙයි. විශේෂයෙන් ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප වැනි ප්ලාස්ටික් භාජන මුහුද ආශ්‍රිත වෙරළට දැමීමෙන් මුහුදු රැල්ලත් සමඟ ඒවා සාගරය කරා ගසාගෙන යනවා.” ඔහු සඳහන් කරයි.
මේ දිනවල රටේ පවතින ප්‍රධානතම ගැටලුවක් වනුයේ කසළ ක්‍රමානුකූලව බැහැර නොවීමයි. මහා මාර්ගයේද බොහෝ කැළි කසළ ගොඩගැසී පවතී. නිවෙස්වල ඇති කසළ ක්‍රමානුකූලව රැගෙන නොයාම හේතුවෙන් රටේ කසළ ප්‍රශ්නය මේ තරමට උග්‍ර තත්ත්වයට පත්ව තිබේ.
“අද වෙද්දි රටේ පවතින ඩෙංගු සහ කුණු ප්‍රශ්නය නිසා මේ සාගරයේ කසළ ප්‍රශ්නය ගැන බොහෝ දෙනා කතා කරන්නේවත්, සැලකිලිමත් වන්නේවත් නෑ. ඩෙංගු ගැන අවධානය අද වැඩිවෙලා. නමුත් මේ හා සමානම දූෂණයක් සාගරය තුළද සිදුවෙනවා. බොහෝ දෙනා තම කසළ සාගරය ආශ්‍රිතව දැමීම තුළින් සාගරය අපවිත්‍ර වීමක්ද සිදුවෙමින් පවතිනවා. මේ නිසා සාගරය ආශ්‍රිතවද ඩෙංගු වැනි වසංගත තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. බොහෝ දෙනා ශ්‍රමදාන ආදියෙන් ගොඩබිම ආශ්‍රිතව ශුද්ධ පවිත්‍ර කළත් සාගරය ආශ්‍රිතව ශුද්ධ පවිත්‍ර කිරීමට උනන්දු වන්නේ නැහැ. මේ නිසා වෙරළ කලාපයේ ප්ලාස්ටික් කසළ ආදිය වැඩිවීමක් වුවද දක්නට පුළුවන්. මේ නිසා වෙරළ කලාපවල සෞඛ්‍ය තත්ත්වයද දුර්වල විය හැකි අතර ඒ පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත්.”
විදේශිකයන් සංචාරය කළ ද මහ සයුර අපවිත්‍ර වීමට ප්‍රධාන හේතුව ඔවුන් නොවේ. ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියා ඊට හේතු වේ. ශ්‍රී ලාංකික බොහෝ දෙනාට මහ සයුර වටිනාකමක් නොමැති වුවද විදේශිකයන් ලංකාවට පැමිණෙන්නේත් මේ මහ සයුර ප්‍රධාන හේතුවක් කරගනිමින් බව අමතක නොකළ යුතුයි.
ආසියානු රටවල් මුහුදට කුණු කසළ බැහැර කිරීමට සාපේක්ෂව යුරෝපීය රටවල් මුහුදට බැහැර කරන කසළ ප්‍රමාණයේ ප්‍රතිශතය 1%කටත් අඩුය. කරනු ලබන සමීක්ෂණයට අනුව විසිවැනි ස්ථානයේ සිටිනුයේ අමෙරිකාවය. එරට වාර්ෂිකව කසළ බැහැර කරන ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 0.3 කි.
“මෙරටට පැමිණෙන බොහෝ සංචාරකයන් දැන සිටිනවා සාගරයට කසළ දමන්න හොඳ නෑ කියලා. නමුත් බොහෝ ලාංකිකයන් තුළ ඒ ආකල්පය නෑ. විදේශිකයන් වෙරළේ බියර් ටින් එක පවා තැන තැන විසි කරන්නේ නෑ. ඒ සඳහා නියමිත තැන්වලට ඔවුන් ඒවා බැහැර කරනවා. නමුත් ලාංකිකයන් තුළ එහෙම ආකල්පයක් නෑ. ඔවුන් හිතුමතේම හිස් බියර් ටින්, වතුර බෝතල්, යෝගට් කෝප්ප තැන තැන දමනවා. ඒ ආකල්පමය වශයෙනුත් අපි දියුණුවෙන්න ඕනෙ.”
ආචාර්ය ප්‍රදීප් කුමාර සඳහන් කරයි.
එම සමීක්ෂණය අනුව මුහුදට අපද්‍රව්‍ය බැහැර කරන රටවල් අතරින් තෙවැනි තැනට සිටිනුයේ පිලිපීනයයි. සිව්වැනි තැන වියට්නාමයයි. මෙරට සමුද්‍රාසන්න දිස්ත්‍රික්ක සංඛ්‍යාව 14 කි. මේ අතර සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කයන් ආවරණය කරමින් මෙම අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩපිළිවෙළක් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක කරමින් සිටී.
“මේ සඳහා රටේ සෑම පුරවැසියකුගේම උදව් අවශ්‍ය වෙනවා. රට තුළ ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර අවම කිරීම අවශ්‍යයි.” පවසන ප්‍රදීප් කුමාර මහතා යෝජනාවක්ද ඉදිරිපත් කරයි.
“මාසයකට එක දවසකට මුළු ශ්‍රී ලංකාවම ශ්‍රමදාන ගම්මානයක් කළ යුතුයි. එදිනට රටේ සෑම කෙනකුටම තම වටපිටාව ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක නිරතවන්නට පුළුවන්. ලංකාවේ සෑම පුරවැසියකුම මෙම ශ්‍රම ගම්මානයට සහයෝගය දක්වන්නේ නම් අනිවාර්යයෙන්ම මෙම රට මීට වඩා හොඳ තැනකට යා හැකියි.”
මේ නිසා විශේෂයෙන් අඩුම තරමේ තම නිවසේ කසළ ක්‍රමානුකූලව නිසි පිළිවෙළට ඉවත් කරන්නට සහාය වෙමින් සාගරයේ සුන්දරත්වය විඳින්නට ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශිකයන්ටද සුන්දර වටපිටාවක් ගොඩනගන්නට සැවොම එකතුවන්න යැයි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ඉල්ලීමක් කරයි.
♦ දිශානි (deshaya)
Share this
|
|
0 Comment to "අපේ මහ මුහුද තවත් කසළ බඳුනක්!"
Post a Comment