11 July, 2017

ඉන්දියාව: ගව ඝාතන තහනම තාවකාලිකව අත්හිටවේ

Cow India - 03

ඉන්දියාව පුරා ගව ඝාතනය තහනම් කිරීමට අවස්ථාව සැලසෙන නීතියක් ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අදාල නීතිය ක්‍රියාවට නැගීම මගින් "පාලනයකින් සහ නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මකවන සත්ව වෙළෙඳාම වැළැක්වීම" සිය අභිලාෂය බව ආණ්ඩුව පවසයි.

එය ක්‍රියාත්මක වූයේ නම් ඉන්දීය ඉතිහාසයේ පළමු වතාවට ගවයන් පමණක් නොව මී හරකුන් සහ ඔටුවන් ද මස් පිණිස විකිණීම තහනම් කරනු ලැබීමට ඉඩ තිබුණි.

එසේ වූයේ නම් එමගින් රටේ මස් කර්මාන්තයට මෙන්ම හම් කර්මාන්තයට ද ප්‍රබල පහරක් එල්ල විය හැකිව තිබුණු බව අගවිනිසුරුවරයා පැවසීය.
සබැඳි යොමු:

මස් සහ හම් කර්මාන්තයෙන් යැපෙන ඉන්දියාවේ සුළුතර මුස්ලිම් ප්‍රජාව එම නීතියට දැඩි විරෝධය පළකළහ.

එම නීතිය හඳුන්වාදීමෙන් දින කිහිපයකට පසුව එය ක්‍රියාවට නැගීම අත්හිටුවන මෙන් දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ පහළ අධිකරණයක් පසුගිය මැයි 30 වෙනි දින නියෝග කළේය.
මී ගව ඝාතනය

තමිල්නාඩු අධිකරණයේ තීන්දුව ජුලි 08 වෙනි දින අහෝසි වූ නමුත්, එය මුළු රටටම බලපැවැත්වෙන ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමණය විය.

මේ අනුව අගෝස්තු මාසය අවසාන වනවිට ආණ්ඩුව අදාළ නීතියට සංශෝධන සහිතව එය යළි ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතය.

හින්දු භක්තිකයන්ගේ පූජනීය සත්වයෙකු වන ගවයන් ඝාතනය කිරීම ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල තහනම් කර තිබෙන නමුත්, මී හරකුන් ඝාතනය කිරීම තහනම් කිරීමට ඉඩ තිබුණු පළමු අවස්ථාව මෙයය.

ඉන්දියාවේ ගව මස් ලෙසින් බොහෝ විට අලෙවි කෙරෙන්නේ මී ගව මස් වන අතර, ලොව ප්‍රධානතම ගව මස් අපනයනකරුවෙකු වන ඉන්දියාව එමගින් උපයන වාර්ෂික ආදායම ඩොලර් බිලියන හතරකි.

නව නීතිය මගින් "ජනතාවගේ ජීවිකාවට බලපෑමක් නොවිය යුතුය" යන්න අගවිනිසුරු ජග්දිෂ් සිංග් ගේ නිගමණය විය.

නව නීතිය මගින් තමන් ආහාරයට ගත යුත්තේ කවරක්ද යන්න තීරණය කිරීමේ අයිතියට බලපෑම් කරන බව පෙත්සම ඉදිරිපත් කළ තමිල්නාඩු වාසීන්ගේ තර්කය වී තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව "ජයග්‍රහණයක්" බව මස් වෙළෙඳුන් වෙනුවෙන් පෙත්සම ඉදිරිපත් කළ සමස්ත ඉන්දීය කුරේෂ් ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධානී අබ්දුල් ෆහීම් කුරේෂි පැවසීය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉන්දියාව: ගව ඝාතන තහනම තාවකාලිකව අත්හිටවේ"

    Post a Comment