26 July, 2017

කැකිරි දූපතේ දරු ප්‍රසූ­තිය සහ හද­වත් සැත්කම

new born baby-life

‘කැකිරි දූපත’නම් මෙම දූපත් සිඟිත්ත පිහිටා ඇත්තේ එසේ මෙසේ දුරකින් නො වේ. එය පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 78˚ බව කියැවේ. ‘බරීස් ගොර්බාතව්ගේ’ ‘කැකිරි දූපතේ දරු ප්‍රසූතිය’ නම් අපූරු කෙටිකතාව කියවන විට ලාංකික අපට උතුරු අක්ෂාංශ 5˚ත් 10˚ ත් අතර සිට 78˚ දක්වා සිතින් ගමන් කරන්නට සිදුවෙයි. බරීස් ගොර්බාතව් විසින් 1937 දී ලියන ලද කෙටිකතාවට අනුව සිඟිති දූපත සොයාගෙන සිතියමෙහි සටහන් කළ කණ්ඩායමේ ප්‍රධානියා ඉදිරිපත් කළ ක්ෂණික වාර්තාවේ “අලුතින් සොයා ගත් දූපත කැකිරි ගෙඩියකට සමාන ය.” යනුවෙන් සඳහන් කළේ ලු. 

ඉන්පසු ගුවන් විදුලි සංඥා පණිවුඩ කරුවෝ ධ්‍රැව වෘත්තයේ දූපත් පවුලේ උපන් මේ නව දූපත් පොඩිත්ත කැකිරි දූපත යනුවෙන් නම් කළේ ලු. කොහොම හරි මේ ඈත දූපතට ද පදිංචිය සඳහා මිනිස්සු ගියහ. කතුවරයා කැකිරි දූපතේ මිනිස් ජනාවාස ඇතිවීම මෙසේ විස්තර කරයි. “ මෙම දූපතේ නැවුම් හිම මත විශාල කෝප්පයක් මෙන් කවාකාර හැඩැති වලස් පා සටහන් ළඟින්ම, තියුණු ප්‍රබෝධවත් මිනිස් පා සටහන් ද දක්නට ලැබිණි. ගොඩනැගිලි සාදන ලදී. අයිස් ගොඩැලි සහිත බිමෙහි මිනිස් ජීවය බිහිවිය. මිනිසුන්ට එහි වැඩ කටයුතු ඇති විය. පිරිසිදු තඹවන් භාජනවල කෝපි උතුරන්නට විය... (සෝවියට් රුසියන් කෙටිකතා කලඹ 1- අනුවාදය: දැදිගම වී. රුද්‍රිගු )

දවසක් කැකිරි දූපතේ විශේෂ සිද්ධියක් විය. ඒ දරුවෙකු ප්‍රසූති කරන්නට සිටි ස්ත්‍රියකගේ වේදනාත්මක කෑගැසීමයි. ඇගේ සැමියා වූ සුදුමැලි තරබාරු පුරුෂයා ද කරන්නට කිසිත් නැතිව අසරණ වෙයි. ඔහු සිය බිරියගේ යහන අසල හඬා වැටෙයි. කැකිරි දූපතේ දොස්තර ද අසරණ ය. ඔහු ප්‍රසව විද්‍යාව නොදන්නෙකි. ඇරත් මෙය විශේෂ අවස්ථාවකි. 

නූපන් බිළිඳා ගර්භාෂයේ හරහට සිටලා ය. අන්තිමේ දී ඈතින් ම පිහිටි කැකිරි දූපතේ සිට සෙසු දූපත්වලටත් පක්ෂ මූලස්ථානයටත් මවත්, නූපන් බිළිඳාත් බේරා දෙන මෙන් ඉල්ලා ගුවන් විදුලි සංඥා පණිවිඩයක් යැවුණේ ය. පක්ෂ සංවිධායකයා මෙන් ම ප්‍රධානියා ද අසරණ වූහ. කැකිරි දූපතට යන්නට අහස් යානා නැති ය. ගුවන් තොටේ ද එක අහස් යානයක් වත් නැති. ශීත කාලය රජ කරයි. කෙසේ නම් අහස් යානා පියාසර කරවන්න ද? අන්තිමේ දී දෙදෙන ම රෝහලේ දොස්තර ‘සෙර්ගේයි මත්වේයිච්’ හමුවන්නට ගියහ. දෙදෙන දොස්තරගෙන් ඉල්ලා සිටින්නේ කැකිරි දූපතේ දරු ප්‍රසූතියට උදව් කරන ලෙස ය.

“ස්ත්‍රියගේ ඇඳ ළඟට මගේ අත යැවිය හැකි කිලෝමීටර දහසක් දිගැති යාන්ත්‍රික අතක් මට දෙන්න...මට දෙන්නකො දුර දක්න ඇස් දෙකක්. ආ...ආ...කිලෝමීටර දාහක් දුර බලන්න පුළුවන් ඇස් දෙකක්.” දොස්තර කියයි. ඔහු ළඟට යන දෙදෙන දොස්තරගේ අභියෝගය භාර ගනිති. “දොස්තර මහතාණෙනි, අප ඔබට එවැනි ඇස් දෙකක් සහ අත් දෙකක් ලබා දෙන්නම්.” විස්මයට පත්වෙන දොස්තර මෙසේ අසයි. “මොන අත් ද? මොන ඇස් ද?” දෙදෙන යෝජනා කරන්නේ ඒ “රේඩියෝව” බවයි. රේඩියෝ ව මගින් අම්මාගේ සහ ඇගේ කුසේ සිටින බිළිඳාගේ තත්ත්වය වාර්තා කරන අතර, දොස්තර දිය යුතු ප්‍රතිකාර ගැන රේඩියෝව මගින් වාර්තා කළ යුතු බව ය. 

දොස්තර සිතන්නේ ලෝකයේ මේවා මහ පුදුම දේවල් බව ය. ඇහැට නොපෙනෙන කෙනකුගේ දරු ප්‍රසූතියට වෙදකම් කිරීම මෙන් ම ගුවන් විදුලිය මගින් වින්නඹුකම් කිරීම මහ පුදුම දේවල් ය. එතැන් පටන් කැකිරි දූපතේ දරු ප්‍රසූතිය අවසන් වන තුරු ධ්‍රැව ප්‍රදේශයේ වෙනත් ස්ථාන සමඟ ගුවන් විදුලි පණිවුඩ හුවමාරුව නතර වන බවට නිවේදන නිකුත් වේ. 

මුළු මහත් ආක්ටික් ප්‍රදේශය ම අදින ලද හුස්ම පවා පහළට නොදමමින් ගුවන් විදුලි සංඥාවලට නැඹුරු වී කැකිරි දූපතේ දරු ප්‍රසූතිය විමසති. හරියට ම අපේ අය දුරු රටක පැවැත්වෙන ක්‍රිකට් තරගයක් දෙස නෙත් යොමා කන් යොමා අදින ලද හුස්ම පවා පහළට නොදමා සිටින්නා සේ ය. එහෙත් අප මතක තබා ගත යුතු ය. ආක්ටික් ප්‍රදේශයේ සිදුවූයේ ගුවන් විදුලියේ හඬ සහිත සන්නිවේදනයක් නොවේ. ගුවන් විදුලි සංඥා මගින් කෙරෙන පණිවුඩ හුවමාරුවක් පමණි.

දොස්තර සෙර්ගේයි මත්වේයිච් කැකිරි දූපතේ දොස්තරගෙන් අසන ලද ප්‍රශ්න මෙන් ම ඔහුට දෙන උපදෙස් ද කැකිරි දූපතේ දොස්තර අසන ප්‍රශ්න හා රෝගියාගේ තත්ත්වය ගැන කරන විස්තර ද ගුවන් විදුලි සංඥාකරුවන් මගින් දෙපසට හුවමාරු වෙයි. උපදෙස් දෙන දොස්තර මත්වේයිච්ට මෙවන් හැඟීම් ද ඇතිවෙයි. “අනේ මා එහි නැත්තේ මන්ද?” මත්වේයිච් ළඟ මෙන් ම කැකිරි දූපතේ දොස්තර ළඟ ද සෙනඟ පිරී සිටිති. ඔවුහු හැඟුම් බරව සිටිති. ගැහැනියක් දොස්තරට ප්‍රයෝජනවත් ‍යයි සිතා සිය අත්දැකීමක් පවසන්නට ද තැත් කරයි. එහෙත් ඒවාට කන් දීමට වෙලාව නො වේ. තෙපැයක සංග්‍රාමයක් අවසන දරුවා නිරෝගිව බිහි වෙයි.

බරීස් ගොර්බාතව්ගේ කැකිරි දූපතේ දරු ප්‍රසූතිය තාක්ෂණික ඥානය මිනිසා විසින් උදා කරගැන්ම ආරම්භ වූ වකවානුවේ ඒ ඇසුරින් ලද අසිරිමත් ජයග්‍රහණයක් පිළිබඳ අපට කියාදෙන අපූරු සාහිත්‍ය නිර්මාණයකි. තාක්ෂණය අත පත් වන්නට පෙර යුගයේ පටන් සාහිත්‍යකරුවෝ ඒ අරභයා අපූරු සිහින දුටහ. මයුරපාද පිරුවෙන්පති හිමියන් ලියූ ‘පූජාවලි‍යේ’ එන ජීවක කතා වස්තුව ද වෛද්‍ය ක්ෂේත්‍රය අරභයා අතීතයේ විසූ අය දුටු සිහින පිළිබඳව අපට කියාදෙයි. ජීවක වෛද්‍යවරයා වරෙක සැත්කමකින් හිස විවර කොට ‘මත්තලුංගභෝජක’ නම් මොළයේ සෛල කා දමන පණුවන් දෙදෙනෙකු එළියට ගෙන සිටුවරයකුගේ දිවි ගළවයි. තවත් විටෙක බඩවැල ගැට ගැසී ගිය සිටුවරයෙකුගේ බඩවැල සැත්කමකින් එළියට ගෙන ගැට අරවා ඔහුගේ දිවි ගළවයි. 

එදා දුටු මේ සිහින වන් සැත්කම්වලට සමාන සැත්කම් අද රෝහල්වල දී සිදු කෙරෙයි. ඒ වෛද්‍ය විද්‍යාවේ හා තාක්ෂණයේ අසිරිමත් දියුණුව හේතුවෙනි. මෝටර් සයිකලයක් මිලට ගෙන දින පහකින් අනතුරට ලක්ව මොළය මියගිය තරුණයකුගේ හදවත තවත් කෙනකුට බද්ධ කරමින් මහනුවර රෝහලේ වෛද්‍යවරුන් එදා දුටු අසිරිමත් සිහින සැබෑ කළේ ඊයේ පෙරේදා ය. අපි රටක් වශයෙන් ඛේදවාචක පිළිබඳව ම නිරතුරුව වැළපෙමින් සිටිමු. එහෙත් ඒ අතර ම අප ලබන ජයග්‍රහණ පිළිබඳව ද සමාජයක් වශයෙන් සතුටු වන්නට මෙන් ම ඔවුන් දිරිමත් කරන්නට යුතුකමක් අපට ඇති බව ද සිහි කටයුතු ය. (මහානාම දුනුමාල - දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කැකිරි දූපතේ දරු ප්‍රසූ­තිය සහ හද­වත් සැත්කම"

    Post a Comment