05 June, 2017

තනියම හිටියත් ඉන්නෙ සතුටින්

Nino Araliya-02

”නිනෝ ලයිව් චිත‍්‍රපටය හරහා මේ දිනවල පේ‍්‍රක්ෂකයන්ට සමීපවන නිනෝ අරලිය අප කවුරුත් දන්නා දක්ෂ රංගන ශිල්පියෙකි. මෙම චිත‍්‍රපටය පසුගිය 26 වැනි දා සිට සිනමාහල්වල තිරගත වීම ඇරඹුණි. කාලෙකින් පෙනී සිටින මොහු මෙම චිත‍්‍රපටයේ හා ඔහුගේ සැබෑ ජීවිතයේ තතු පිළිබඳ පැවසීමට සඳැල්ල අප හා එක්වූයේ මෙලෙසිනි.

නිනෝ ලයිව් චිත‍්‍රපටය ගැන මොකද හිතෙන්නේ ?

මේ චිත‍්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ රියැලිටි වැඩසටහනක් මුල්කරගෙන. රියැලිටි වැඩසටහන් අපේ රටට හඳුන්වලා දෙන්නේ මීට වසර 10 කට විතර කලින්. මේ චිත‍්‍රපටය කරලත් දැන් අවුරැුදු 8 ක් විතර වෙනවා. ලංකාවේ ටෙලිවිෂන් මාධ්‍යයන්ට රියැලිටි තරග හඳුන්වලා දුන්න කාලේ දීම තමයි මේ චිත‍්‍රපටයත් නිර්මාණය වෙන්නේ. වසර 8 කට පස්සේ මේ චිත‍්‍රපටය දැන් තිරගත වෙනවා. මේ කාලේ වෙනකොට හැම කෙනෙක්ම වගේ රියැලිටි වැඩසටහනක් කියන්නේ මොකක්ද කියන එක හොඳට දන්නවා. මීට වසර 8 කට විතර කලින් පෙන්නුවානම් පේ‍්‍රක්ෂකයන්ට මේ චිත‍්‍රපටය තේරැුම් ගන්න අපහසු වෙන්නත් ඉඩ තිබුණා. වර්තමානය වන විට පේ‍්‍රක්ෂකයන් රියැලිටි තරග නරඹලා ඒ පිළිබඳ කරැුණු කාරණා හොඳට දන්නවා. ඒ නිසා පේ‍්‍රක්ෂකයන්ට මේ චිත‍්‍රපටය ආදරයෙන් වැලඳගනියි කියලා මම හිතනවා.

චිත්‍රපටය තිරගත වෙන්න මෙච්චර කාලයක් ගතවුණේ ඇයි ?

හේතු මොනවද කියලනම් මම දන්නේ නැහැ. චිත‍්‍රපටය කළාට පස්සේ මේ චිත‍්‍රපටය ඉක්මනට පෙන්නන්න තමයි අපි උත්සාහ කළේ. නමුත් යම් යම් කරැණු නිසා මේ චිත‍්‍රපටය තිරගත වෙන්න ප‍්‍රමාද වුණා.

මේ චිත‍්‍රපටය සඳහා ඔබේ නම යොදාගත්තේ ඇයි ?

ප‍්‍රවර්ධන කටයුතු සඳහා ඒක ගොඩක් වැදගත් වෙනවා කියලා තමයි, මේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ තිසර ඉඹුලාන මට කිව්වේ. මගේ නම යොදාගන්නවට කැමතිද කියලා මගෙන් ඇහුවා. ඉතින් මම ඒකට කැමති වුණා.

”නිනෝ ලයිව් චිත‍්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද ?

මහේන්ද්ර අයියගේ නාට්‍ය වැඩමුළුවල දී තමයි අපි මුලින්ම මුණගැහුණේ. ඒ කියන්නේ 2004 දී. මේ චිත‍්‍රපටය කළේ 2008 දී විතර. සෑහෙන කාලයක් අපි ආශ්රපය කරලා එකට ඉඳලා තමයි මේ චිත‍්‍රපටය කළේ.

මේ චිත‍්‍රපටයේ ඔබේ චරිතය මොනවගේද ?

මේ චිත‍්‍රපටයේ මගේ තාත්තා වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. මේකේ ඉන්න හැමෝම නළුවෝ. මම විතරයි රඟපාන්නේ නැත්තේ.

සමස්තයක් වශයෙන් ගත්තම මේ චිත‍්‍රපටය ගැන මොකද හිතෙන්නේ ?

2008 වසරේ දී මේ චිත‍්‍රපටය නිර්මාණය වුණත් අදටත් මේ චිත‍්‍රපටය වලංගුයි. මට නම් හිතෙන විදියට මෙතෙක් කාලයකට මේ වගේ චිත‍්‍රපටයක් නිර්මාණය වෙලා නැහැ.

ඇයි කාලයක් පෙනෙන්න හිටියේ නැත්තේ ?

මට තවම කරගන්න බැරිවුණු වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඒ දේවල් කරගන්නත් තියෙනවා. සමහර වෙලාවට මෙහේ ඉඳන් ඒ දේවල් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවල මට විදේශ ගතවෙන්න වෙනවා. ඒ හින්දා තමයි කාලයක් නිහඩව හිටියේ.

රංගනය ඔබේ වෘත්තියද ?

මම මේ ක්ෂේත‍්‍රයට ආවේ අහම්බෙන් නෙවෙයි. මම මේ ක්ෂේත‍්‍රයට ආවේ මගේ කැමැත්තෙන්මයි. වෘත්තීය රංගන ශිල්පියෙක්ට අවශ්‍ය හැම දෙයක්ම අපේ රටේ නැති නිසා මගේ වෘත්තිය ලෙස රංගනය හඳුන්වන්න මම අකැමතියි. නමුත් මම කලාවට හුඟක් ආදරෙයි. මගේ වෘත්තිය වශයෙන් රංගනය හඳුන්වන්න මම කැමති නැහැ.

වස්සානේ හීනේ ගීතයේ ඔබේ රංගනයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද ?

ඒ ගීතය නරඹපු හැමෝගෙන්ම වගේ මට ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

ටෙලිනාට්‍යවල රඟපානවට වඩා චිත‍්‍රපටවල රඟපෑමටද කැමති ?

ටෙලිනාට්‍යයක වුණත්, චිත‍්‍රපටයක වුණත්, විෂුවල් එකක වුණත්, වෙළඳ දැන්වීමක වුණත් මට ලැබෙන ඕනෑම චරිතයකට මම මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. මගේ චරිතය කුමක්ද කියන එක හොඳින් වටහාගෙන මම ඒ සඳහා දායකත්වය ලබා දෙනවා. ටෙලිනාට්‍ය වලට ද චිත‍්‍රපටයට ද වැඩියෙන් කැමති කියලා මම කියන්නේ නැහැ.

නිනෝ කියන්නේ ඉඳහිට දකින්න ලැබෙන රංගන ශිල්පියෙක් නේද ?

මම කවදාවත් මේ ක්ෂේත‍්‍රයෙන් ඈත් වෙන්නේ නැහැ. මේ ක්ෂේත‍්‍රයට මම ආදරේ නිසා මට ලැබෙන චරිතත් එක්ක මම හැමදාම මේ ක්ෂේත‍්‍රය තුල රුඳිලා ඉන්නවා. හැබැයි නිතරම දකින්න නැහැ කියලා මම පිළිබඳ වෙනමම ප‍්‍රතිරූපයක් හදාගන්න ඕනේ නැහැ මට.

කලාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ ?

කිසිම කලකිරීමක් නැහැ. මම දන්න තරමින් අවුරැුදු ගාණක ඉඳන් මේ ක්ෂේත‍්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරැුවෝ ක්ෂේත‍්‍රය නගා සිටුවන්න ප‍්‍රයත්න දරපු අවස්ථා තිබුණා. හොඳ අධ්‍යක්ෂණයක් යටතේ හොඳ වැඩමුළුවක් කරගෙන ගියොත් හොඳ කලාකරැුවන් පිරිසක් අපේ රටට බිහිවෙයි කියලා මම හිතනවා.

ක්ෂේත‍්‍රයේ ළඟින්ම ආශ‍්‍රය කරන්නේ කාවද ?

මම නාට්‍ය පාඨමාලාව හදාරපු කාලේ හිටිය යාළුවන්ව මම ළඟින්ම ආශ්ර ය කරනවා. ඒ හැර හැමෝම එක්ක හොඳින් කතා කරලා, සුහදව ඉන්නවා.

නිනෝ මේ දවස්වල එළවළු වගාවක් කරනව කියලත් ආරංචියි ?

ඒක මම වැඩසටහනක් අතරතුර විහිළුවට කියපු දෙයක් විතරයි.

මේ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා දැන් අවුරැුදු කීයක් වෙනවද ?

දැනට අවුරැදු 13 ක් වෙනවා.

මේ අවුරැදු 13 ක කාලය පිළිබඳ මොනවද හිතෙන්නේ ?

මේ ක්ෂේත‍්‍රය තුල තනිවම ඉන්න අමාරැුයි. මම මේ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරැුදු 13 ක් වුණාට තවම ලොකු දෙයක් මම මේ ක්ෂේත‍්‍රයට කරලා නැහැ. මේ ක්ෂේත‍්‍රයට ලොකු සේවයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

රියැලිටි තරගයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද ?

රියැලිටි වැඩසටහන් 3 කට මට ආරාධනා ලැබුණා. මම ඒ හැම රියැලිටි තරගයකටම සහභාගී වුණා.

ඉදිරි කලා කටයුතු මොනවද ?

දැනට නම් කිසිම නිර්මාණ කටයුත්තකට මට ආරාධනා ලැබිලැ නැහැ.

දැන් පෙම්වතියක් එහෙම ඇති නේද ?

මම තනිවම හිටියත් සතුටින් ඉන්නවා.

හැමදාම තනියෙම ඉන්නද බලාපොරොත්තුව ?

එහෙම නම් බලාපොරොත්තුවක් නැහැ. මේ දවස්වල නම් තනියෙන් ඉන්නවා.

සඳුනි ඉමල්කා (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තනියම හිටියත් ඉන්නෙ සතුටින්"

    Post a Comment