14 June, 2017

එල්ලී මැරුණු පුතුගේ වියෝවෙන් පෙළුණු මහලු මවත් ඔහු සමඟින් යන්න ගියා

dead-body-boy-hanging

තම (54) වයසැති පුතුගේ වියෝව දරාගත නොහැකිව (79) හැවිරිදි මවක් හදිසියේම මිය යෑමේ පුවතක් බළන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පුතා ජයන්ත ප්‍රේමකුමාර යන අය පාසල් ගුරුවරයෙකි. ඔහු පසුගිය (09දා) දින රාත්‍රියේ ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු (10දා) දින බළන්ගොඩ මූලික රෝහලේදී පවත්වන ලද්දේ බළන්ගොඩ නාගරික අතිරේක මරණ පරීක්ෂක සාමවිනිසුරු ඒ.ජී. විමලදාස මහතා ඉදිරියේදීය.

එහිදී සාක්කි දුන් මියගිය අයගේ මව වන අගලගම මලවරගේ ඩිංගිරි මැණිකේ (79) මහත්මිය මෙසේ කීවාය. මේ ගෙල වැලලාගෙන මිය ගොස් සිටින්නේ මගේ දෙවැනි පුතා. මට පිරිමි දරුවන් තුන්දෙනයි. ගැහැනු දරුවන් දෙදෙනයි සිටිනවා. මියගිය පුතා පාසල් ගුරුවරයෙක්. ඔහු අවිවාහකව සිටියා. නිවෙසේ සිටියේ අප දෙදෙනා විතරයි. ගෙදර සියලු කටයුතු සොයා බැලුවේ මිය ගිය පුතා. අනෙක් දරුවන් විවාහ වී නිවෙසින් බැහැරව සිටින්නේ. පොඩි පුතා නිවෙස අසලම වෙනත් නිවෙසක් හදාගෙන පදිංචිව සිටිනවා.

මියගිය පුතා සවස 6.30ට පමණ කාමරයට ගියා. උදේ නැඟිට්ටේ නැති නිසා බලනකොට කුස්සියට යාබද කාමරයේ ගෙල වැලලාගෙන සිටියා. මොන හේතුවක් උඩ පුතා දිවි නසා ගත්තේ දැයි කියන්න
මා දන්නේ නැහැ.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු බළන්ගොඩ මූලික රෝහලේ නීති වෛද්‍ය දයා මාතොට ආරච්චි මහත්මිය විසින් සිදුකරන ලද අතර සාක්කි මෙහෙයවීම බළන්ගොඩ පොලිසියේ සැරයන් (15658) වනිගසුන්දර මහතා විසින් සිදු කෙරිණි.

ලැබුණු සාක්කි හා වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් මරණ පරීක්ෂකවරයාගේ නිගමනය වූයේ ගෙල වැලලා ගැනීම හේතුවෙන් හුස්ම
හිරවී මෙම මරණය සිදුවී ඇති බවයි.

මියගිය අයගේ අවසන් කටයුතු පෙරේදා (12දා) දින පැවැත්වීමට නියමිතව තිබුණු අතර එසේ තිබියදී එදින උදෑසන 8.50ට පමණ හදිසියේම ඔහුගේ මව මියගොස් තිබේ. ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පෙරේදා (12දා) දින බළන්ගොඩ මූලික රෝහලේදී පවත්වන ලද්දේ බළන්ගොඩ නාගරික අතිරේක මරණ පරීක්ෂක සාමවිනිසුරු ඒ.ජී. විමලදාස මහතා ඉදිරියේදීය.

එහිදී සාක්කි දුන් මිය ගිය අයගේ බාල සහෝදරයා වූ අගලගම මලවරගේ සමන්ත ප්‍රභාත් කුමාර (47) මෙසේ කීය.

මියගොස් සිටින්නේ මගේ මව. පසුගිය 9 වැනිදා රාත්‍රි අයියා ගෙල වැලලාගෙන තිබුණා. ඒ මරණය පිළිබඳව අම්මා හරිම දුකෙන් හිටියේ. 12 වැනිදා අයියාගේ අවසාන කටයුතු සිදු කරන්න ලෑස්ති කර තිබුණා. එදින උදේ කරගස්තලාව පන්සලේ ලොකු හාමුදුරුවන් හා තවත් හාමුදුරුවරු කිහිපනමක් අපේ නිවෙසට වැඩියා. අම්මා ඒ හාමුදුරුවන්ට වැඳ නමස්කාර කරන්න හදනකොටම එකවරම වැටෙන්න ගියා. හාමුදුරුවෝ වහාම අම්මා අල්ලා ගත්තා.

ඊට පසු ත්‍රිරෝද රථයකින් අම්මා බළන්ගොඩ මූලික රෝහලට රැගෙන ගියා. නමුත් එහිදී වෛද්‍යවරු ප්‍රකාශ කළා අම්මා මියගොස් ඇති බව. අයියාගේ වියෝව දරාගත නොහැකිව අම්මා මිය යන්න ඇති. මේ මරණය පිළිබඳව සැකයක් නැහැ.

මියගිය අයගේ පශ්චාත් මරණ කටයුතු බළන්ගොඩ මූලික රෝහලේ නීති වෛද්‍ය දයා මාතොට ආරච්චි මහත්මිය විසින් සිදුකළ අතර සාක්කි මෙහෙය වීම බළන්ගොඩ පොලිසියේ සැරයන් (42913) ජයතිස්ස මහතා සිදු කළේය.

ලැබුණු සාක්කි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් මරණ පරීක්ෂකවරයාගේ නිගමනය වුයේ හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මියගිය දෙදෙනාගේම දේහයන් එකම නිවෙසේ තැන්පත් කර තිබුණු අතර දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (13දා) දින බළන්ගොඩ අලුත් නුවර පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

කල්තොට _ එස්. වීරවංශ (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "එල්ලී මැරුණු පුතුගේ වියෝවෙන් පෙළුණු මහලු මවත් ඔහු සමඟින් යන්න ගියා"

    Post a Comment