14 June, 2017

අවුරුදු තුනක් යනකම් එම්. ජී. ට එම්. එස්. ගේ සින්දු කියන්න තහනම්



නිසි අවසරයකින් තොරව ප්‍රවීණ ගායක එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කිරීම තුළින් බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා එල්ලවී ඇති යොවුන් ගායක එම්. ජී. ධනුෂ්කට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තක් අවසන් කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහු දැඩි කොන්දේසි මත මුදාහැරීමට නියම කළේය.

ගායක එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ පුත් සරත් ප්‍රනාන්දු මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලකින් පසුව එම්. ජී. ධනුෂ්ක අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකාර ධනුෂ්ක මීට පෙර අධිකරණයට දන්වා තිබුණේ රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවා මෙම නඩුව සමථයකට පත් කිරීමට තමන් සූදානම් බවයි.

ඊට
පැමිණිලිකාර පාර්ශ්වයද එකඟතාව පළකර තිබිණි.

ඒ අනුව පැමිණිලිකාර පාර්ශ්වයට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවීමේ පදනම යටතේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා තීන්දු කළේය.

එහෙත් ඉදිරි වසර 03ක කාලය තුළ නිසි අනුමැතියකින් තොරව එම්. එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා නොකළ යුතු බවට සැකකරු වෙත කොන්දේසියක්ද පැනවූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 05ක පෞද්ගලික ඇපයක් සහ රුපියල් ලක්ෂ 05ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටද නියෝග කළේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ සැකකරු වන්දි ගෙවීම සඳහා ඉදිරිපත් වීම නිසාත් ඔහු ගායකයකු මෙන්ම ඔහුගේ තරුණ වියත් සැලකිල්ලට ගෙන මෙම නියෝග ප්‍රකාශයට පත්කරන බවයි.

කේ. එස්. උදයකුමාර (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "අවුරුදු තුනක් යනකම් එම්. ජී. ට එම්. එස්. ගේ සින්දු කියන්න තහනම්"

    Post a Comment