20 June, 2017

'අනේ ඕවට කර ගහලා පොලිසි ගාණේ යන්න බැහැ' - අයෙක් මගහැර යද්දී දිවිනසාගැනීමට ගිය රණවිරුවෙකු බේරාගත් උතුම් නීතිඥවරයා

Suicide committed while jumping to train

බිරිය සමඟ වූ අඬදබරයෙන් කලකිරී උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වන දුම්රියට ගෙල තබා සියදිවි නසා ගැනීමට සුදානම්ව සිටි ආබාධිත යුද හමුදා සෙබළකුගේ ජීවිතය බේරා ගැනීමට අනුරාධපුර මහාධිකරණයේ සේවයේ නියුතු නීතිඥ රෝහණ ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාට හැකිවී තිබේ.

ඔහුගේ ජීවිතය බේරා ගැනීමට බොහෝ පිරිසකගෙන් උදවු ඉල්ලා ඇතත් ඊට ප්‍රතිචාර නොලැබුණු නිසා තනිවම තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට දෙදරු පියකු වන නීතිඥ රෝහණ ප්‍රේමලාල් මහතා නොබියව කටයුතු කර තිබිණි.

ආබාධිත සෙබළා කොළඹ සිට වවුනියාව දක්වා ගමන් කළ ශීඝ්‍රගාමී දුම්රියට බෙල්ල තබා සිය දිවි හානි කර ගැනීමට සූදානම්ව සිටියදී උතුරු දුම්රිය මාර්ගයට ආසන්නව හරස් මාර්ගය අසල ශරීර සුවතාවේ යෙදී සිටි ඒ මහතා සියදිවි හානි කර ගැනීමට සූදානම් වී සිටි පුද්ගලයා දැක ජීවිතය බේරාගෙන තිබිණි.

බිරියකට සැමියකු, දරුවන්ට පියකු, සහෝදරයන්ට ඥාතියකු අහිමි වීමට තිබූ අතර ජීවිතයක වටිනාකම දත් ඒ මහතා ජීවිතයක් බේරාගෙන සිදුකළ සත්ක්‍රියාව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මෙසේ පැවැසුවේය.

මා සෑම දිනකම සවස මාර්ගයේ ඇවිදිමින් ශරීර සුවතාවේ යෙදෙනවා. පසුගිය 18දා උත්සවයකට සහභාගි වූ නිසා ප්‍රමාද වී තමයි ශරීර සුවතාවේ යෙදුණේ. අනුරාධපුර තැපැල් කන්තෝරුව ඉදිරිපිටින් ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය දෙසට දිවෙන අතුරු මාර්ගයේ දුම්රිය මාර්ගය අසලින් රාත්‍රි අටට පමණ ඇවිදිමින් යන විට දැක්කා පුද්ගලයකු බිම දිගා වී රේල් පීල්ලට බෙල්ල තියාගෙන සිටිනවා.

මා දැන සිටියා ටික වේලාවකින් උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රියක් ගමන් කරන බව. එම පුද්ගලයාට ළං වී බලන විට කටින් සෙම දාගෙන සිටියේ කවුරුන් හෝ ඔහුව මරා දමා රේල් පාරට ගෙනත් දමන්න ඇතැයි සැකසිතූ නිසා ඔහුට අත තියන්න ටිකක් බිය වුණා. පසුව ළං වී බලන විට ඔහු හුස්ම ගන්න අයුරු දැක්කා.

දුම්රිය මාර්ගයෙන් ඔහුට ඉවත් වන්න කීවා. එයට අවනත නොවූ නිසා මා සැරෙන් කතා කොට පාදයෙන් තල්ලු කර ඔහුව මාර්ගයෙන් ඉවත් කළා. තරුණයා මා හට පරුෂ වචනයෙන් බැන වැදුණා. මා දුටුවා ඔහු කෘත්‍රිම පාදයක් පැලඳ සිටින අයුරු. ඔහු ආබාධිත රණවිරුවකු බවට මා සැක සිතූ නිසා හොඳින් කතා කරමින් ඔහුගෙන් ඇසුවා පුතා ඔයා ආබාධිත රණවිරුවෙක් නේද? සියදිවි නසා ගන්න හදන්නේ ඇයි දැයි කියා.

එම පුද්ගලයා තමන් හමුදාවේ සේවය කළ අයකු බවත් බිරිය සමඟ ඇති කරගත් ආරවුලක් නිසා දුම්රියට පැන සියදිවි නසා ගැනීමට පැමිණි බවත් පැවැසුවා. ඉන් අනතුරුව මා ඔහුට කරුණු පහදලා කියලා දුන්නා. ඔයා රට ජාතිය බේරගන්න ගිහින් කකුලකුත් නැති කරගෙන ඉන්නේ. ඔයාලා වගේ අයගේ ජීවිත අපිට හුඟක් වටිනවා කියලා.

ආබාධිත සෙබළා දුම්රිය මාර්ගය අසලින් ඉවත් නොවන නිසා මා ඉක්මනින්ම අනුරාධපුර පොලිසියට දුරකතන ඇමැතුමක් ගෙන සිද්ධිය දැන්වූවා. ඇමැතුමට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා මේ වේලාවේ එවන්න නිලධාරීන් නැහැ කියලා මට කිව්වා. මා ඒ පිළිබඳව අනුරාධපුර දුම්රිය ස්ථානයට කතා කරලා දැන්වූවා.

ඊට පිළිතුරු දුන් නිලධාරියා පැවැසුවේ පොලිසියට දන්වන්න කියලා. එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ අයකුට ඔහුව ඉවත් කරමු යැයි පැවැසුවා. 'අනේ අයියා ඕවට කර ගහලා පොලිසි ගාණේ යන්න බැහැ' යැයි පවසා ඔහු යන්න ගියා. එම සිදුවීම සිදු වී විනාඩි පහක් යන්නට මත්තෙන් කොළඹ සිට වවුනියාව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කළා.

ඊට පිටුපසින් පැමිණෙන දුම්රියට මොහු පනීවි යැයි මට සැක සිතූ නිසා මම එම ස්ථානයේම රැඳී සිටියා. කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පැමිණෙන විට දුම්රිය එම ස්ථානයෙන් ගමන් කර විනාඩි 20ක් පමණ ගත වූවා. පැමිණි නිලධාරීන් මෙම පුද්ගලයා පරීක්ෂා කර බලා ඔහු පැමිණි ත්‍රිරෝද රථය, එම රථයේ ඉදිරි අසුන මත තිබූ මුදල් පසුම්බිය, ජාතික හැඳුනුම්පත සොයාගෙන ඔහු අධික බීමතින් සිටි නිසා පොලිසියට රැගෙන යෑමට කටයුතු කළා.

බිරිය සමඟ සිදුවූ ආරවුලක් නිසා සිත් කලකිරීමට පත්වූ වයස අවුරුදු හතළිහක් පමණ වන අනුරාධපුර නිරාවිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු නීතිඥවරයා විසින් බේරාගෙන තිබූ අතර ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔහුව පොලිස් භාරයට ගෙන තිබිණි. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'අනේ ඕවට කර ගහලා පොලිසි ගාණේ යන්න බැහැ' - අයෙක් මගහැර යද්දී දිවිනසාගැනීමට ගිය රණවිරුවෙකු බේරාගත් උතුම් නීතිඥවරයා"

    Post a Comment