12 June, 2017

ජයලාල් රෝහණගේ 'ගොන්ඩෝලාව' වේදිකා දියඹට

Jayalal Rohana - 2017-06-11_21-55-19

හාසේ‍යාත්පාදක නාට්‍යකින් ගැඹුරු සමාජ කතිකාවක් ඇති කිරීම කොහොම වුණත් බුද්ධිමත් ප්‍රේක්ෂකයාට අගෞරව නොවන විදියට දෙබස් වුවත් භාවිත කරන්න අවශ්‍යයි. ගොන්ඩෝලා කියන්නෙත් හාස්‍ය විඳලා පිරුණු ඔළුවක් ගෙදර අරන් යන්න කියාපු නාට්‍යයක්.

"ගොන්ඩෝලාව" කියන්නේ මොකක්ද කියලා දන්නවාද? සමහර විට ඔබ මේ වචනයේ තේරුම දන්නවාත් ඇති. නොදන්නා අයට දැනගන්න පොඩි අදහසක් දුන්නොත්, "ගොන්ඩෝලා" කියන්නේ වැනිසියේ ඇළ මාර්ගවල වහලුන් විසින් පදවපු ලී ඔරු විශේෂයක්. එකපාරටම "ගොන්ඩෝලා ඔරු" ගැන කතා කරන්නේ ඇයි කියලා ඔබ හිතනවා ඇති. ඒකට හේතුවක් තියෙනවා.

අපේ රටේ ජනාදරයට පත් වුණු ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන ජයලාල් රෝහණ මහතා අලුත් නාට්‍යයක වැඩ පටන් අරගෙන. ඒ නාට්‍යයට නම දාලා තියෙන්නේ "ගොන්ඩෝලා" කියලා. කොයි කවුරුත් දන්නවා ජයලාල් රෝහණ කියලා කියන්නේ ටිකක් අමුතු විදිහේ තේමාවලින් වේදිකා නාට්‍ය නිර්මාණය කරන නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් කියලා.

ඔහුගේ 'ලෝකා', 'සක්විති මොළ', යන නාට්‍ය වගේම මේ නාට්‍යය සමාජයේ අලුත් පෙරළියක් සිදුකරන බව නොඅනුමානයි. නාට්‍යයේ නම අපිට ටිකක් නුහුරුයි. වැනීසියේ ඔරු විශේෂයක නමක් අපේ රටේ නාට්‍යයකට දැම්මේ ඇයි කියන එකම ගැටලුවක්නේ. ඒකට හේතුව මෙන්න මේකයි.

වැනීසියේ අතීතයේ හිටපු වහලුන්ට ස්වාධීනව හිතන්න අවකාශය ලැබිලා නැහැ. ඔවුන්ට සිදුවුණේ පාලකයන්ට අනුව පාලනය වෙන්න. ඒ විතරක් නෙවෙයි හැම වහලෙක්ගේම හිතන පතන විදිහ වෙනස් කරවන්න පාලක පන්තිය හැමවිටම උත්සාහ දරලා තියෙනවා. මේ කාරණාව සරල නෑ කියලා කොයි කාටත් තේරෙනවනේ. යටත්වෙලා තමන්ගේ ස්වාධීන චින්තනය නැති කරගත්තු වහලුන් වගේම තමයි අපිත්. මේ කාරණාව අපේ රටට ගළපමින් රට වැසියන් වහලුන් විදිහට සලකන පිරිසක් මේ රටෙත් සිටින බව අඟවන්න තමයි මේ නම නාට්‍යයට යොදලා තිබෙන්නේ.

හැමදාමත් වගේ ජයලාල් රෝහණ කියන්නට හදන අමුතු කතා අතරට අලුතින් එකතුවෙන මේ කතාව සරලව මෙහෙම කියන්නම්. කතාව ගෙතෙන්නේ එක්තරා රටක විප්ලවීය ව්‍යාපාරයක් කරගෙන යන
සහෝදරයින් දෙපළක් වටායි. ඒ ව්‍යාපාරයේ නායක සහෝදරයා සමඟ ඔහුගේ බාල සහෝදරයා එක්තරා අවස්ථාවකදී ජීවිතාන්තය දක්වා සිරගත වෙනවා. නමුත් ඒ වෙද්දී ඔවුන්ගේ විප්ලවය ජයග්‍රහණය කරනවා. හිරේ ඉද්දී එක් දවසක බාල සහෝදරයා, තමන්ගේ නායක සහෝදරයාට "මෙහෙම හිටියා ඇති, අපි දැන් වෙනස් වෙන්න ඕන" කියලා කියනවා. හැබැයි නායක සහෝදරයාගේ තීරණය වෙන්නේ වෙනස් නොවී ඉන්නයි. ටික දවසකින් පස්සේ බාල සහෝදරයා හිරගෙයින් පැන යද්දී නායක සහෝදරයා හිරේදීම මිය යනවා.

අපි මොන තීන්දු තීරණ ගත්තත් අප වටා පවතින සහ සිදුවෙන සියලුම දේවල් කාලෝචිතව වෙනස් විය යුතු බව තමයි මේ නාට්‍යයෙන් කියන්නට උත්සාහ කරන්නේ.
නාට්‍යයේ අධ්‍යක්ෂ ජයලාල් රෝහණ නාට්‍යයට නළු නිළියන් හය දෙනෙක් යොදා ගන්නවා. කතාවට අනුව නාට්‍යයේ නායක සහෝදරයාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල.

හාස්‍ය මුසු රංගනයන් අතරින් ජනාදරයට පත් රොඩ්නි වර්ණකුලගේ මෙවර රංගනය නම් අනිවාර්යෙන්ම වෙනස් රංගනයක් වේවි. මොකද මේ නාට්‍යයේ ඔහුගේ චරිතය ප්‍රශස්ත මට්ටමින් වෙනස් එකක්. මාලී ජයවීරගේ, කුමාර කරුණානන්ද, චන්දන නිශාන්ත පීරිස් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් ගොන්ඩෝලා හි රංගනයෙන් දායක වෙනවා. නාට්‍යයේ නිෂ්පාදනය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් අරුණ වීරසිරි මහතාගේයි.

හසේ‍යත්පාදක නාට්‍යයක් කියලා කියන්නේ නාට්‍යයේ දෙබස්වලට බඩ පැලෙනකන් හිනාවෙලා ඔළුවේ මුකුත් නැතිව ගෙදර යන නාට්‍යයක් නෙවෙයි. හාසේ‍යාත්පාදක නාට්‍යකින් ගැඹුරු සමාජ කතිකාවක් ඇති කිරීම කොහොම වුණත් බුද්ධිමත් ප්‍රේක්ෂකයාට අගෞරව නොවන විදියට දෙබස් වුවත් භාවිත කරන්න අවශ්‍යයි.

ගොන්ඩෝලා කියන්නෙත් හාස්‍ය විඳලා පිරුණු ඔළුවක් ගෙදර අරන් යන්න කියාපු නාට්‍යයක්. "ගොන්ඩෝලා" පළමු වරට රඟ දක්වන්න සූදානමින් සිටින්නේ ජූනි මස 23, 24 දිනයන්හිදී ප.ව 6.30ට කොළඹ ලුම්බිණි රඟහලේදී. මංගල දර්ශනයෙන් අනතුරුව ජූනි 30 වන දින බොරැල්ල නාමෙල් _ මාලිනී පුංචි තියටර්හිදී ප.ව. 6.30ටද නාට්‍ය වේදිකාගත කිරීමට නියමිතයි.

හාස්‍ය රසය ඇතුළේ අමුතු රසයක් හොයන ප්‍රේක්ෂක ඔබටත් ජූනි 23, 24 දිනයන්වලදී ගොන්ඩෝලා රසවිඳින්නට අවස්ථාව තිබෙනවා. 'ගොන්ඩෝලා' ඔබටත් දැනෙයිද කියලා ඇවිත් බලමුකෝ....

නලිනිකා ලක්ෂාණි (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ජයලාල් රෝහණගේ 'ගොන්ඩෝලාව' වේදිකා දියඹට "

    Post a Comment