08 May, 2017

මේ ළඟදි අපි දෙන්නා “මූන් ලයිට්” බැලුවා

Yshoda - Sumithra - Lester James Peiris

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 98 වැනි උපන් දිනය පහුගිය දිනවල පැවැත්වුණානේ. ඔහු ඒ දවස ගතකළේ කොහොමද?

අපි දෙන්නා කසාද බැඳපු දා ඉඳලා ලෙස්ටර්ගේ බර්ත් ඩේ එක සමරලා තියෙනවා. මේ පාරත් එයාගේ යාළු මිත්‍රයෝ එක්ක, ක්ෂේත්‍රයේ සමීප අයත් එක්ක ඔක්කොමත් එක්කම බොහොම සතුටින් එදා ඒ දවස ගත කෙරුවා.

ලෙස්ටර්ගේ දිනචර්යාව කොයි වගේද?

එයා උදෙන්ම නැගිටිනවා. ඊටපස්සේ මූණ හෝදගෙන පත්තර බලනවා. රේඩියෝ එක අහනවා. ඊටපස්සේ උදේ කෑම අරගෙන ටිකක් විවේකීව ඉන්නවා.

ඔය වෙලාවට ෆිල්ම් එකක් එහෙම බලන්නේ නැද්ද..?

බලනවා.. සමහරදාට හොඳ ෆිල්ම් එකක් ලැබුණොත් එයා මාත් එක්ක ඒක බලනවා. ළඟදි moon light කියන ෆිල්ම් එක බැලුවා. දිගටම එයා පොත් පත්තර කියවන්නේ නෑ. කාමරෙන් වුණත් එළියට යන්න වැඩිය කැමති නෑ. රස්නේ වැඩිම නම් විතරක් එළියට ටිකක් එනවා.

ලෙස්ටර්ව බලාකියාගන්න කෙනෙක් ඉන්නවද..?

ඔව්... කීපදෙනෙක්ම ඉන්නවා. හැබැයි එයා එහෙම කාටවත් වද දෙන්නේ නෑ. තනියම බාත්රූම් එකට යනවා. කවන්න ටිකක් අමාරුයි. මොකද එයා කන්න හරි හොරයි. ඉස්සර ඉඳන්ම එයා කෑමට ලොකු ආසාවක් තිබුණේ නෑ. තාමත් එයාගේ මතකය හොඳටම තියෙනවා.

එදා ඔහු කළ නිර්මාණයන් ගැන අද ඔබ එක්ක කතාබහ කරනවද?

නිතරමත් නෑ. පහුගිය කාලේ රේඛාව චිත්‍රපටය ආයෙත් පෙන්වද්දි එයා මාත් එක්ක ඒ ගැන කතා කෙරුවා. ටික කාලෙකට කලින් අයිරාංගනී සේරසිංහයි, යශෝධායි, රෑ දහයට විතර අපේ ගෙදරට ආවා. ඒ ඇවිත් රෑ දහයේ ඉඳන් එක විතර වෙනකන් අපි හැමෝම පහුගිය දේවල් ගැන කතා කර කර හිටියා.

නිර්මාණවේදියකු විදිහට ඔහු ඔහුගේ ජීවිතේ දැක්ක සොඳුරුතම නිර්මාණය මොකක්ද?

එයා ෆිල්ම් දෙකකට හුඟාක් කැමතියි. ඒ ගම්පෙරළියයි, නිධානයයි.

නිර්මාණවේදියකුගේ බිරියක් විදිහට ඔබ ඔබේ ජීවිතේ වෙනස් කරගත්තු තැන් තියෙනවද?

නෑ... එයා මගේ ජීවිතේ මට කැමති විදිහට ගෙනියන්න සම්පූර්ණ නිදහස මුල ඉඳන්ම දීලා තියෙන්නේ. අපි බැඳලා අවුරුද්දකින් විතර මෙක්සිකෝ සම්මාන උළෙලේදී “ගම්පෙරළිය” බලන්න යන්න ටිකට් එකක් ලැබෙද්දි එයා එයාගේ ටිකට් එක මට දුන්නා. ඒකට මමයි, පුණ්‍යයි, හෙන්රියි ගියා. ඒ ගිහින් ඇවිත් ආයෙත් මම ලැබුණු අවස්ථාවකින් ලෝකෙ වටේ මාස තුන හතරක් ගියා. ඒ නිදහස එයා මට දුන්නා. කිසිම දේකට කිසිම තහංචියක් දැම්මේ නෑ.

පුංචි සිරුරක් තියෙන ලොකු මනුස්සයෙක්. අපිට ලෙස්ටර් ගැන හිතෙන්නෙ එහෙම. තරුණ කාලෙදි ඔහු කොහොම කෙනෙක්ද?

ලෙස්ටර් මට වඩා අවුරුදු දාසයක් වැඩිමහල්. ඒ වුණාට එයා ලොකුවට සද්ද කරලා කතා කරපු පුද්ගලයෙක් නෙමේ. ඒ වුණත් එයාගේ කැමැත්ත අකැමැත්ත හැමෝටම දක්වනවා. කියන්න තියෙන දේ කෙළින් කියනවා. දර්ශන තලයකදි වුණත් එයා ඇඟපතින් පොඩි වුණත් එයාගේ පෞරුෂත්වය තියෙනවා. ඒක හැමෝටම දැනුණා. හැමෝගෙම ගරුත්වය එයාට තිබුණා. අවශ්‍ය නැති විදිහට හැසිරුණෙත් නෑ. ගෙදරදි වුණත් තාම එයාගේ පාලනය එයාට තියෙනවා. හැමදේම කරන්නේ එයාගේ මතයට අනුවයි.

අවුරුදු දාසයක් වැඩිමහල් වෙච්ච පුංචි සිරුරක් තිබුණු ලෙස්ටර්ට ඇඟපතින් හැඩිදැඩි වුණ ඔබේ හිත ගියේ කොහොමද?

වෙන කාටවත් නොතිබිච්ච මොකක්දෝ සුවිශේෂී සොඳුරුකමක් දෙන්නා ළඟම තියෙන්න ඇති. අපි දෙන්නා අතරේ ලොකු බැඳීමක් ඇතිවුණා. ඒක මේ චිත්‍රපටවල දකිනවා වගේ ආදරයක් නෙමේ. අපි දෙන්නාට දෙන්නා හුඟක් ගැළපුණා. දෙන්නගේම හිත්වල ආදරයක් ඇතිවුණා. ඒ ආදරේ ඇතිවුණේ අපි දෙන්නටම නොදැනුවත්වමයි.

ඉස්සර ලෙස්ටර් වැඩිපුරම යන්න කැමති කොහාටද?

එයාට යන්න ඕන කියලා තැනක් තිබුණේ නෑ. චිත්‍රපටයක් හදන්න තියෙනවානම් ඕන තැනකට යාවි. චිත්‍රපටයක් කරන්න ලෙස්ටර් සිරීපාදෙත් නැග්ගා. එහෙම නැත්නම් එයා වැඩියෙන්ම කැමති ගෙදරට වෙලා පොතක් කියවන්න තමයි.

ඔබගේ නිර්මාණවලට ලෙස්ටර්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

එයාගෙන් මට හැමදාමත් සහයෝගය ලැබුණා. එයා මට යමක් කියලා දෙන්න තැත් කෙරුවේ නෑ. ඒ වුණාට ඒවාට අවශ්‍ය පරිසරය, නිදහස, මානසිකත්වය මට හදලා දුන්නා. ඒක නිසයි මම කරපු දේවල් සාර්ථක වුණානම් ඒකට ප්‍රබල හේතුව වෙන්නෙත්.

රටක් ගෞරව කරන ආදරය කරන නිර්මාණවේදී යුවළක් වන ඔබ දෙපළ ගතකරන අද ජීවිතය ගැන මොකද හිතන්නේ?

මිනිසුන්ගේ ආදරය තමයි අපි දෙන්නට තාම ජීවත් වෙන්න පාර කියන්නේ. ඒ අයගේ ආදරය, ගෞරවය තමයි අපි දෙන්නව ධෛර්යමත් කරන්නේ. අපි දෙන්නම දැන් තරුණ නෑ. ඒ වගේ වයසක ඉඳිද්දි අපි දෙන්නට දුරකතනයෙන් හෝ ඇවිල්ලා හෝ ලියුමකින් හෝ අපි දෙන්නගේ දුක සැප හොයන එක කොච්චර දෙයක්ද..? දරුවන්ගේ ආදරයක් නොලැබුණු අපි දෙන්නට මේ වෙනකොට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඉතින් අපිට අපේ ජීවිතේ පාළුවක් නෑ.

Text – Jayamali / Pic – Internet (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මේ ළඟදි අපි දෙන්නා “මූන් ලයිට්” බැලුවා"

    Post a Comment