28 May, 2017

කිසිදු නියාමනයකින් තොරව මෙරට විකාශය කරන රූපවාහිනී නාලිකා ජාවාරමක් !

NASA satellite

විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍ර හෝ කිසිදු නියාමනයකින් තොරව මෙරට විකාශය කරන විදේශීය රූපවාහිනී නාලිකා ජාවාරමක් හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාව බලවත් තර්ජනයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාතේ බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක මූලික කරගෙන සිදු වන මෙම ජාවාරම ශ්‍රී ලංකාව තුළ නියාමනය නොවන ඉන්දීය චන්ද්‍රිකා සැපයුම්කරුවන් විසින් ලබා දෙන විකාශන පහසුකම් යොදා ගැනීම හරහා සිදු කරන බවත් ඒ ඔස්සේ විකාශය වන ඇතැම් නාලිකාවල ජාතික සංහිඳියාවට සහ භෞමික අඛණ්ඩතාවට හානි කරන වැඩසටහන් රැසක් විකාශය වන බවත් අනාවරණය වී ඇත.

අදාළ ජාවාරම වටා මිලියනයකට ආසන්න ග්‍රාහක පිරිසක් බිහිව ඇති අතර එම පිරිසට අදාළ නාලිකා පහසුකම සැපයීම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 3 ත් 5 ත් අතර මුදලක් නීති විරෝධී ආකාරයෙන් රටින් පිට කිරීමට ජාවාරම්කරුවෝ කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

මෙම ජාවාරම පිළිබඳ මේ වන විට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වන අතර මෙරට ජාතික ආරක්ෂාව, මෙරට විනිමය නීතිවලට පටහැනිව සිදු වන මුදල් විදේශගත කිරීම, බිලියන ගණනක බදු මුදලක් රටට අහිමි වීම, සිනමා කර්මාන්තයට සිදු කරන බලපෑම, ඉන්දීය වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරණය හරහා සිදු කරන බලපෑම සහ විදෙස් රූපවාහිනී විකාශනය සඳහා බලපත්‍රලාභී ආයතන මුහුණ දී ඇති දුෂ්කරතා ඇතුළු කාරණා රාශියක් සම්බන්ධව එම පැමිණිලි හරහා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.ෙ

මේ සම්බන්ධව අප කළ සොයාබැලීමේ දී විදුලි සංදේශන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකුම සඳහන් කර සිටියේ විදුලි සංදේශන නියාමනයට අදාළව මෙරටට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් සහ විෂය දැනුම සම්බන්ධව ඇති දුර්වලතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් රට තුළ මතුව ඇති බවයි.

එසේම ලෝකයේ සීමිත රටවල් කිහිපයක හැර අනෙක් කිසිදු රටක් දේශීය නියෝජිතායතනයක් හෝ බලපත්‍රලාභියකු නොමැතිව විදේශීය නාලිකා විකාශය කිරීමට ඉඩ නොදෙන බවත් මෙරට මතුව ඇති තත්ත්වයට කඩිනම් පියවර නොගතහොත් ඉතා අහිතකර ප්‍රතිඵලවලට මුහුණදීමට සිදු විය හැකි බවත් ඔවුන් පවසති.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කිසිදු නියාමනයකින් තොරව මෙරට විකාශය කරන රූපවාහිනී නාලිකා ජාවාරමක් !"

    Post a Comment