22 May, 2017

සන්ෆලවර් විකුණුවේ නැහැ

Sunflowers-02

නීල්... මොකද මේ එකපාරටම සන්ෆවලර් සංගීත කණ්ඩායමට ඇතිවුණා කියන ප්‍රශ්නෙ...?

මොකක් ගැනද ඔය කියන්නේ... මට තේරැණේ නෑ...

සමාජ වෙබ් ජාලා කීපයකම පහුගිය දිනවල ප්‍රචාරය වුණා නීල් සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණලා කියලා. මොකක්ද ඒ කතාව?

ඒ කතාව මාත් දැක්කා. මටත් පුදුමයි කවුද ඒ වගේ කතාවක් කිව්වේ කියලා. ඇයි ඒ වගේ කතාවක් දැම්මේ කියලා මාත් තාමත් හිතනවා.

ඒ කියන්නේ සන්ෆවලර් සංගීත කණ්ඩායම ශාන් කියන කෝටිපති ව්‍යාපාරිකයාට විකුණලා නැද්ද...?

නෑ... එහෙම සන්ෆවලර් තාම කාටවත් විකුණලා නෑ...

එතකොට කවුද එහෙම කතාවක් කිව්වේ?

ඒකම තමයි මාත් අහන්නේ... කවුද එහෙම කිව්වේ. ඇයි එහෙම කිව්වේ කියලා. ඔය සිද්ධියෙන් පස්සේ අපේ බලගල්ලගෙනුත් මාධ්‍ය ආයතනයක කෙනෙක් විස්තර අහලා. ෆෝන් එකට කියපු දෙයක් පවා ඒ කෙනා වෙබ් සයිට්වලට දාලා. ඒක කොච්චර නරකද...? මට තේරෙන්නේ නෑ... ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා.

එතකොට නීල් හිතේවත් නැද්ද සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණන්න...?

මෙහෙමනේ... අනාගතේ ගැන කියන්න හරියටම මම දන්නේ නෑ... හෙට මට මොනව වෙයිද කියල මම දන්නේ නැහැනේ. අනික මගේ දරැවන් වුණත් සංගීතයට නැඹුරැ අය නෙමෙයි. ඉතින් සමහරවිට තව අවුරැදු හත අටකින් සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණාවි. හැබැයි ඇත්ත කතාව තාම මම කාටවත් සන්ෆවලර් විකුණලා නෑ... ඒක බොරැවක්.

කොහොමද සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙන ඉල්ලුම එදා වගේමද...?

සන්ෆවලර් සංගීත කණ්ඩායම පටන් ගත්තු දවස් ඉඳන් අද වෙනතුරැ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංග වේදිකාවේ ලොකු ඉල්ලුමක් සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙනවා.

අද වෙනකොට බොහෝ සංගීත කණ්ඩායම් ඇතිවෙලා තියෙනවා. මොකද හිතෙන්නේ?

අලුත් කණ්ඩායම් ඇතිවෙන එක හොඳයි. හැමදාම එකම පිරිසකටම ඉන්න බැහැනේ. හැබැයි වැඩේ කියන්නේ ඒ පටන් ගන්න හැම කණ්ඩායමකටම රුඳෙන්න තියෙන කාලය අඩුයි. එක එක හේතූන් නිසා බොහෝ කණ්ඩායම් රුදෙන්නේ බොහෝම ටික කාලයයි. ඒ නිසා ඒ කඩාවැටීම අපරාදයක් විදියටයි මම හිතන්නේ.

සන්ෆවලර් සංගීත කණ්ඩායමේ හිටපු සමාජිකයින් කීපදෙනෙක් වරින් වර සංගීත කණ්ඩායමෙන් වෙනත් කණ්ඩායම්වලට මාරැවුණා නේද...?

ඒක සන්ෆලවර් සංගීත කණ්ඩායමට විතරක් ඇතිවුණු සිද්ධියක් නෙමෙයි. ඕනෑම කණ්ඩායමක ආරම්භකම සාමාජිකයෝම නෙමෙයි අදටත් ඉන්නේ.

ඉතින් සන්ෆවලර් සංගීත කණ්ඩායමේදි මේ කාලය පුරාවට එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් වුණා. ඈත් වුණා. අලුතින් සාමාජිකයෝ ළංවුණා. අද සන්ෆවලර් සංගීත කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි. ඉස්සර වගේම සන්ෆවලර් සංගීත කණ්ඩායමට තැනක් තියෙනවා. ඒක අපි කියනවට වඩා අපේ ආදරණීය රසික රසිකාවියන් දන්නවා සන්ෆවලර් සංගීත කණ්ඩායමේ තැන කොතැනද කියලා. ඒ නිසා සන්ෆවලර් සංගීත කණ්ඩායම ගැන මම අදටත් සතුටින්.

ඒ ජනප්‍රියත්වය නිසාමද සන්ෆවලර් එක ගැන මේ විදියට කතා වෙබ් සයිට්වල පලවෙන්නේ?

අනේ මන්දා. හැබැයි ඔය වෙබ් සයිට් ගැන මට තියෙන්නේ නොපැහැදීමක්. අපෙන් කිසිම දෙයක් අහන්නේවත් බලන්නේවත් නැතිව හිතුමතේ විස්තර දානවා. ඔය වෙබ් සයිට්වල FBවල වැඩිපුරම තියෙන්නේ බොරැනේ. තමන් දැන් කරන කියන දේවල් ඒ ඒ වේලාවට ෆොටෝ අරගෙන විස්තර පළකරන එක තරම් සමහරැන්ට වෙන වැඩ නැහැනේ. සමහරැ ගෙදර කෑමක් ඉවුවත් ෆොටෝ අරගෙන FB දානවා. ඇත්තටම මේ දේවල්වලට මම කැමති නෑ. ඒ වගේම අපේ වයසේ වැඩිමල් උදවිය පවා මේකට කැමති නෑ. ඊට වඩා ඒ කාලය හොඳ දේකට යෙදෙව්වනම් ඉවරයිනේ...

නීල් කියන්නේ මේ සන්ෆවලර් විකුණපු කතාව බොරුවක්... එහෙමද...?

ඔව්... ඒ කතාව බොරුවක්. සන්ෆවලර් කාටවත් තාම විකුණලා නෑ...

Text – Dishani / Pic - Internet (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සන්ෆලවර් විකුණුවේ නැහැ"

    Post a Comment