30 May, 2017

ජීවිතයේ නොසෑහෙන්න අමිහිරි තැන් තියෙනවා



‘ආයෙත් වරක්’ ගීතය මේ වනවිට බොහෝ ජනප්‍රියත්වට පත් ගීතයක් වී හමාරය. එම ගීතය ඔස්සේ බොහෝ රසික පිරිසකයන් අතර ජනප්‍රිය වූ සඳුන් පෙරේරා පිළිබඳව පසුගිය කාලයේ බොහෝ පුවත් මැවිණි.

සඳුන් පෙරේරා කියන්නේ අද ලංකාවේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක්ද?

ඔව්, ලංකාවෙ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක් බවට පත්වෙලා කියලා මම හිතනවා. ඒක මගේ සිතුවිල්ලක් විතරයි. ඒ නිසා තමයි පසුගිය මාසවල ඉඳන් පෝය දවස හැරෙන්න අනිකුත් දිනවල ප්‍රසංග වේදිකාවලට මම සහභාගි වුණේ.

ජනප්‍රියත්වට පත් වෙන්න ඉස්සෙල්ලා ජීවිතයේ අමිහිරි කාලයක් ගත කරපු කෙනෙක්නේද?

අනිවාර්යෙන්ම ඔව්, ජීවිතයේ නොසෑහෙන්න අමිහිරි තැන් තියෙනවා. ඉස්සර සිංදුවක් කියන්න තියෙන ආසාවට නොකා නොබී කිලෝ මීටර් ගණන් රෑ දවල් බලන්නෙත් නැතුව පාරේ වැස්සේ තෙමි තෙමී අනුන්ගේ රේන්කෝට් ඇඳගෙන, අනුන්ගේ කුඩ ඉහළගෙන, ස්ටූඩියෝ ගානේ සිංදු කියන්න චාන්ස් එකක් ඉල්ලගෙන මම බොහෝ තැන්වල ඇවිද්දා. අද ඒ පාරේ මගේම වාහනයකින් යනකොට ලොකු ආඩම්බරයක් දැනෙනවා වගේම අමිහිරි තැන් මතක් වෙනවා. ගොඩක් දුක් වින්දා මේ තැනට එන්න. මම ගොඩක් සල්ලිකාර පවුලක කෙනෙක් නෙමෙයි.

‘‘ආයෙත් වරක්’ ගීතය ඔබට ජනප්‍රියත්වයක් ලබා දුන්නේ කොහොමද?

අදටත් මේ ක්ෂේත්‍රයට එන බොහෝ අය මගෙන් අහපු දෙයක් තමයි &‘අයියෙ, මේකට ගොඩක් සල්ලි ඕන නේද?* කියන එක. ඇත්තටම මේ ගීතය වෙනුවෙන් සහ මේ විධියේ ජනප්‍රියත්වයක් ලබාගැනීම වෙනුවෙන් සතපහක්වත් මම වියදම් කළේ නැහැ. ඒකට අංක එකේ හැකියාව කියන දේ ඕනෙමයි. ඒ වගේම වාසනාව කියන දේ බලපානවා. ඒ සඳහා වෙලාවත් බලපානවා. මම බලන් හිටියා ගොඩාක් කල් මගෙ ඒ වෙලාව එනකම්, මගෙ වාසනාව පෑදෙනකම්. මට වාසනාව ගෙනාව ගීතය ‘‘ආයෙත් වරක්’. ඒ ගීතය මට ආරාධනාවකින් ලැබුණ දෙයක්. ඒක මට ලැබුණ හොඳ අවස්ථාවක් මගේ ජීවිතය වෙනස් කරගන්න. ළහිරු මුදලිගේ, සජිත් වී චතුරංග, ගිහාන් මඩප්පුලි, චන්දන වල්පොල මේ අය එකතුවෙලා මට කරලා දුන්න වැඩක් තමයි ‘ආයෙත්වරක්’ කියන්නේ.

‘ආයෙත් වරක්’ ගීතය හිට් කරන්න මුදල් ගෙව්වා කිව්වොත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද?

අනිවාර්යෙන්ම පුළුවන්. මොකද මම එහෙම සල්ලි ගෙව්වේ නැහැ.

ඔබ වටේ එකතු වූ නවකයන් හා විශාල රසික පිරිසක් සිටිනවා. මේ ගැන මොකද හිතෙන්නේ?

මම පුංචි කාලේ ඉඳන්ම ගොඩක් ප්‍රසංග බලන්න යනවා. ආර්ටිස්ට්ලා ගැවසෙන තැන්වලට නිතරම යන්න උත්සාහ කරනවා. එතකොට එයාලට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මම දැක්කා. ලංකාවෙ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ගායක ගායිකාවන්ට රසිකයින්ගෙන් ලැබෙන ඉහළම ප්‍රතිචාර මම දැක්කා. මට ඕන කළා කවදා හරි දවසක ඒ දේ ලබාගන්න. ඒක එක්තරා විදියක මගේ ආසාවක් කිව්වොත් මම හරි. මොකද අපිට ආසාවල් බලාපොරොත්තු තියෙනකොට තමයි අපි එතනට යන්න වැඩ කරන්නේ. ඒක හිතේ තියාගෙන මම වැඩ කළා. මට ඕන වුණෙත් ඒ දේ ලබාගන්න. අද වෙනකොට එදා මම බලපු ප්‍රසංගවල ගීත ගායනා කරනවා. මම එදා හිටපු තැන අද කට්ටිය ඇවිත් මට ගොඩක් ඉහළ ප්‍රතිචාර ලබාදෙනවා. ඒ වගේම ගොඩක් ආදරය කරනවා.

ඔබේ අතීතය පිළිබඳව නැවත නැවත කියද්දී ඔබේ ප්‍රතිරූපයට හානියක් වෙන්නේ නැද්ද?

මම හිතන්නේ මේ හදාගත්ත ප්‍රතිරූපය තව තවත් වර්ධනය වෙන්නයි, ප්‍රතිරූපයට හානිවෙන්නයි බලපාන්නේ අපි කියන කරන දේවල්. නමුත් ඇත්ත කතාව මම මෙතනට ආවේ දුක් විඳලා නම්, මම මෙතනට ආවේ ගොඩක් වෙහෙසක් දරලා නම්, ලැජ්ජාවට පත්වෙලා නම් ඒ අමිහිරි අත්දැකීම් මගේ ජීවිතේ තියෙනවා නම් මම ඒ දේවල් වෙන කෙනෙක් එක්ක බෙදාගත්තාට වරදක් නැහැ. හේතුව මට ලංකාවෙ කතා කරන පිරිසත් එක්ක බොහෝ දෙනෙක් තව බලන් ඉන්නවා මේ ක්ෂේත්‍රයට එන්න සහ ජනප්‍රියත්වයක් ලබාගන්න හෝ ලංකාවෙ හොඳ ගායකයෙක් වෙන්න. ඒ හැමදේටම ගොඩක් ආස කරන පිරිසක් ඉන්නවා. මම හිතනවා මම මේ කියන දේවල් ඒ අයට උත්තේජනයක් වේවි කියලා. මම මේ කියන හැමදෙයක්ම අකුරක් නෑර ඔප්පු කරන්න පුළුවන් හැම සාධකයක්ම මගේ ළඟ තියෙනවා. මාත් එක්ක ඉස්සර හිටිය පිරිස අදටත් මම මේදේවල්වලට උත්තර ඇහුවොත් විවෘතව උත්තර ලබාදෙනවා. සරලවම කියනවා නම් අපි තැනකට ආවේ දුක්විඳලානම් ඒ දේ කවුරුත් ඉස්සරහා කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ. අපි විඳපු දුක බය නැතිව කියන්න කොන්දක් තියෙන්න ඕන. නමුත් තව දෙයක් කියන්න ඕන, කවදාවත් මම මෙහෙම දුක්වින්දා, මෙහෙම කළා කියලා ඒ දෙයින් තැනක් හදාගන්න මට කිසිම උවමනාවක් නැහැ. මේ දේ එළියට ආවේ රූපවාහිනි නාළිකාවක විකාශය වුණු එක්තරා වැඩසටහනකින්. ඒ වැඩසටහනේදී මනේ අහපු ප්‍රශ්නයකට අදාළව, අම්මාත් එපා කියද්දි දෙයක් කියවුණා. ඒ දේ මම විඳපු දුක්වලින් පුංචිම කාරණාවක් විතරයි. මුලින්ම ලංකාවෙ හොඳ තැනකට යනවා කියලා අධිෂ්ඨානයක් ආව තැන තමයි මම කිව්වේ. ඒ ඇරෙන්න මම විඳපු දුක් කිසිම කෙනෙක්ට තාම කියලා නෑ. ඒ නිසා ඒ දේ කියලා අනුකම්පාවක් ලබාගන්න මට උවමනාවකුත් නැහැ. නමුත් යම්කිසි කෙනෙක්ට ඒක උපකාරී වෙයි කියලා හිතෙන නිසා මම කැමතියි මගෙන් කෙනෙක් ඇහුවොත් ඒ ගැන කියන්න.

සඳුන් පෙරේරා කියන කෙනා ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙයි කියලා අම්මා කවදාවත් හිතුවේ නැතිව ඇති. ඉතින් ඒ පිළිබඳව අම්මාගෙන් ලැබන ප්‍රතිචාරය මොනවගේද?

මට වඩා, පාරෙ තොටේ යනකොට මට වඩා ප්‍රතිචාර ලැබෙන්නේ අම්මාට. අම්මාට කතා කරන්නේ ‘අහවල් ගායකයාගේ ‘අම්මා’ කියලා. එහෙම කතා කරනකොට අම්මාට ඊට වඩා ලොකු සතුටක් නැතිව ඇති. ඇත්තටම අම්මා හිතුවෙ නෑ මම ගායකයෙක් වෙයි කියලා. මොකද අම්මා දන්නවා මෙතනට එන්න ගොඩක් අමාරුයි කියලා. මගේ ජීවිතයේ එක තැනකදී උසස් පෙළ අවසන් වෙලා කැම්පස් යන්න ඔන්න මෙන්න ඉන්නකොට මම ලොකු තීරණයක් අරගෙන ජීවිතය වෙනස් කරගන්නවා. එතනදී තමයි මම ගායන ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ. මුලින්ම පද රචකයෙක් විදියට. ඔක්කොම අධ්‍යාපන කටයුතු නවත්වලා අම්මාට අභියෝගයක් විදියට තමයි ක්ෂේත්‍රයට එන්නේ. අම්මාට පිටුපාලා දෙයක් කළා නම් ඒ දේ තමයි අධ්‍යාපනය අතෑරලා ගායනයට පිවිසීම. නමුත් මම හිතනවා එහෙම කරපු දේත් හරිගියා, මට දැඩි විශ්වාසයක් තිබුණා මේක කරනවාමයි කියලා. මම දන්නවා මම ෆේල් වෙන්නේ නැහැයි කියලා. ඒ විශ්වාසය නිසා මට ඒ දේ හරි ගියා. අපි දන්න විදියට අම්මාගේ ආශිර්වාදය නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. නමුත් මට දෙන්න ඕන හැම උදව්වක්ම දුන්නා. මම එදා වගේම අදත් කියනවා අම්මා නිසා මම දිනුවා කියලා.

සඳුන් පෙරේරා කියන්නේ පෙම්වතෙක්ද?

ඔව් පෙම්වතෙක්.

ජනප්‍රියත්වයත් එක්ක තරුණ ගැහැනු ළමයින්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. මේ දේවල් සමග ඔබේ පෙම්වතියගේ ප්‍රතිචාර මොනවගේද?

මම මේ ක්ෂේත්‍රයට එන්නේ ලොකු රසික පිරිසක් හදාගන්න. ලංකාවෙ පිළිගත්ත, හැමෝම ආදරය කරන ගායකයෙක් වෙන්න. මම මේ ක්ෂේත්‍රයට එන්නේ ඒ දේවල් කරගන්න මිසක්, වෙන දෙයක් හොයාගන්න නෙවෙයි. මගෙ ජීවිතේ අමිහිරි දේවල් කියන්න පුළුවන් නම් මට මේ දේවල් කියන්න බැරිකමක් නැහැ. අපේ ජීවිතේ අපිට ඉලක්කයක් දීලා යම්කිසි කෙනෙක් අපි දුක්විඳින කාලේ ඉඳන්ම අපි ළඟ ඉන්නවානම් මම හිතන්නේ අපි දෙයක් ලැබුනාට පස්සේ ඔවුන්ව අතෑරලා යන එක සුදුසු නැහැ. ඒක ගොඩක් කුහක ක්‍රියාවක් විධියටයි මම දකින්නේ. ඉතිං ඒ නිසා මම හිතනවා තමන්ට ඕන කරන ආදරය, සෙනෙහස ඒ විදියට ලැබෙනවා නම් පිට පාරේ යන්න කිසිම වුවමනාවක් නැහැ. සරලව කීවොත් මම පෙම්වතෙක්. මම මේදේවල් විවෘතව කියන නිසා දෙයියන්ගේ පිහිටෙන් මට රසිකාවියන්ගෙන් තියෙන ආදරය, ආකර්ෂණය අඩුවෙලා නැහැ. මොකද එයාලා විවෘත්තව කතා කරන දේ අගය කරනවා. එයාලා ආදරය කරන්නේ මගේ ගීතවලට, මගේ කටහඬට හා මගේ චරිතයට වෙන්න ඇති.

සඳුන් පෙම්වතෙක් වෙන්නේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඉස්සෙල්ලාද?

ගොඩාක් කලින්. දුක් විඳින කාලේ ඉඳන්.

ඔබේ ඉඳිරි කටයුතු එකම රාමුවක් යටතේ නිර්මාණය වෙන දේවල්ද?

මම කැමති නැහැ, ‘ඉස්සරහට ලොකු වෙනසක් කරනවා. ‘ඇත්තටම ඉදිරියේදී ලොකු වෙනසක් දකින්න ලැබෙනවා වගේ දේවල් කියන්න මම කැමති නැහැ. මම කලිනුත් කියන්නේ, අදත් කියන්නේ හෙටත් කියන්නේ මිනිස්සු ඉල්ලන දේයි මම කරන්නේ. එහෙම නැතිව මේකේ රඳා පැවැත්මක් නැහැ. ඒ නිසා මම කරපු කිසිම ගීතයකට ලැබෙන ප්‍රතිචාර අඩුවෙලා නැහැ. ඉස්සරහටත් ඒ දේ බලාපොරොත්තු වෙන්නම් මම එයාලා ඉල්ලන දේ දෙන්න ඕන. එයාලාගේ ඉල්ලීම මොකක්ද ඒ කාලයට ගැළපෙන ගීතයක් මම ලබාදෙනවා. ප්‍රසංග වේදිකාවේදී ටිකක් විරල වචන දාලා අලුත් වැඩක් කරන්න ආසාවක් තියෙනවා. ඒ වගේම විරහ ගීත නොකර ආදර ගීතයක් කරන්න ආසාවක් තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම කනපිට හරවලා වෙනස්ම දෙයක් කරනවා කියලා කියන්න මම කැමති නැහැ. ඒක වෙන්න ඕන කාලෙට, මිනිස්සුන්ගේ ඉල්ලීම අනුව වෙයි.

ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු නේද?

මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුද්දක් වගේ පුංචි කාලයක් ඇතුළත මම දුක්විඳලා බලාපොරොත්තු වුණ හීනවලින් ගොඩාක් ඉෂ්ට කරගත්තා. මට ඒ වගේ දේවල් බොහොම පොඩ්ඩයි තියෙන්නේ ඉෂ්ට කරගන්න. ඒ හැමදේකටම මට උපකාර වුණේ මම හම්බකරගත්ත මගේ රසික රසිකාවියන්. එයාලගෙ ඉල්ලුම තියෙන තාක්කල් ඕනෙම කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ වැජඹෙන්න පුළුවන්. එයාල ඉල්ලන එයාලගෙ රසවින්දනය දෙනතාක්කල් අපිට ඒ දේවල් ලැබේවි. අපි තේරුම් ගන්න ඕන එයාලා අකමැතිදේවල් කරන කොට අපිට ඒ දේවල් නැතිවෙලා යනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ වෙද්දි ගොඩක් දේවල් ඉෂ්ට කරගෙන ඉවරයි. බලාපොරොත්තු ගොඩක් තියෙනවා. එකක් තමයි මට මගේ අම්මා තාත්තා, අක්කා, නංගී ඇතුළු පවුලේ ඉතිරි හතර දෙනාව මියෙනතාක්කල් සතුටින් තියන්න ඕන. ඒ වෙනුවෙන් කරන්න ඕන හැමදේම මම කරනවා. මගේ ජීවිතයේ ආදරණීය කතාවත් ලස්සනට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජීවිතයේ නොසෑහෙන්න අමිහිරි තැන් තියෙනවා"

    Post a Comment