16 May, 2017

මධු සමයේ දී ඇති වන කොන්දේ වේදනා සුළු කොට තකන්න එපා

Loving Couple In beach

2005 වසරේ, එවකට වයස අවුරුදු 25ක් වූ සඳමාලි විවාහ වූයේ වසර දෙකක පේ‍්‍රම සම්බන්ධතාවක ප‍්‍රතිඵලයක් ලෙසිනි. මධුසමය දින රාත‍්‍රියේ හදිසියේම ඇයට කොන්ද ප‍්‍රදේශයේ වේදනාවක් හට ගැනුණි. එය ඇති වී නැති වී ගිය ආකාරයේ කොන්දේ වේදනාවක් වූ බැවින් ඒ පිළිබඳව ඇය කලබල වූයේ හෝ වැඩිදුර සළකා බැලූවේ හෝ නැත. 

විවාහයෙන් පසු රැකියාවේ සුපුරුදු රාජකාරී කටයුතු සහ ගෙදරදොර වැඩකටයුතු අතර ඇයට මෙම කොන්දේ වේදනාව පිළිබඳව මතකයක් පවා නොතිබිණි. නැවත වරක් ඇයට මේ ආකාරයට කොන්දේ වේදනාවක් හට ගැනුණේ විවාහයෙන් මාසයකට පමණ පසු රාත‍්‍රියක දීය. 

ඒ තම සහකරු හා යුගයහනේ සබඳතා පවත්වන අතරතුරය. එවරද එය ඇති වී නැති වී ගිය ආකාරයේ කොන්දේ වේදනාවක් පමණක් වූයෙන් වැඩිදුර සළකා බැලීමේ අවශ්‍යතාවක් නොතිබිණි. තුන් වන වරට සඳමාලිට මෙම වේදනාව ඇති වුයේ කාර්යාලයේ සේවය කරමින් අතරතුර ය. ඒ මොහොතේ ඇයට පෙර දෙවතාවක් ඇති වී නැති වී ගිය මෙම වේදනාව පිළිබඳව මතක් වුව ද මෙවර එය ඇති වී නැති වී ගිය වේදනාවක් නොවූයෙන් ඒ පිළිබඳව කල්පනා කරන්නට වූවා ය. මේ අවස්ථාවේ කොන්දේ වේදනාව අඩු වූයේ පැය කාලකට පමණ පසුව ය.

මාස දෙකක් තුළ තුන් වතාවක් හටගත් ඇගේ කොන්දේ වේදනාව දරුණු වන්නට පටන් ගත්තේ ඇය පළමුවරට ගැබ් ගැනීමෙන් පසුව ය. දරුවා බිහි කරන තාක් මාස හයක් වැනි කාලයක් තුළ මෙම වේදනාව නොනවත්වාම පැවතුණි. දරු උපතින් පසු මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු හමු වූ සඳමාලිට වෛද්‍ය පර්යේෂණ කීපයකට මුහුණ දෙන්නට සිදුවිය. 

අවසාන වශයෙන් ඇයට දැන ගන්නට ලැබුණේ ඇගේ කොන්දේ වේදනාව ඇති වීමට හේතුව කොඳු නාරටියේ ඇති වූ ක්ෂණික ගැස්සීමක් බව ය. මෙය සුව කළ නොහැකි තත්වයක් බවත්, වියපත් වීමත් සමග වේදනා නාශකවලින් යම් ආකාරයක සුවයක් ලබා ගැනීම විනා නිට්ටාවට සුව කළ නොහැකි තත්වයක් බවත් දැන ගන්නට ලැබුණි.

මෙම රෝගී තත්වය බහුල වශයෙන්ම ඇති වන්නේ කාන්තාවන්ට නොව පිරිමින්ට ය. එයට හේතුව අනුරාගී ක‍්‍රියාවලියේ දී කාන්තාවන්ට වඩා පිරිමින්ගේ කොඳු නාරටිය ප‍්‍රදේශය තරමක ගැස්සීමකට ලක් වන බැවිනි. නමුත් එය කාන්තාවන්ට වුවද ඇති විය හැකි තත්වයකි. සාමාන්‍යයෙන් මෙම තත්වය සහිත පිරිමින් සියයට 7ක් ද කාන්තාවන් සියයට 2ක් ද ලෝකයේ සිටින බව වෛද්‍ය මතයයි. කොඳු නාරටියේ ඕනෑම ස්ථානයක ඇතිවන වේදනාවන් පළමුව දැනෙන්නේ කොන්ද ප‍්‍රදේශයට ය. 

නමුත් අනුරාගී හැසිරීම්වලදී සිදුවන හදිසි ගැස්සීම් තත්වයන් නිසා කොන්දේ ඇතිවන වේදනාවන් එකවර ඇති නොවන්නා සේම එය එකවර පිටතට එන්නේ ද නැත. එසේම එකවර සුව වන්නේ ද නැත. මෙය හඳුනාගත් මුල් අවස්ථාවේ ම නිසි ලෙස ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් සුව කර ගත හැකි වුව ද බොහෝ දෙනෙකු මූලික අවස්ථාවේ දී ම වෛද්‍ය උපදෙස් සඳහා යොමු නොවේ. එයට හේතුව එය ඇති වී නැති වී යන ආකාරයේ වේදනාවන් බැවින් ඔවුන් ඒ පිළිබඳව වැඩි සැළකිල්ලක් නොදැක්වීමය.

මේ නිසා අනුරාගී හැසිරීමක දී හෝ එවන් හැසිරීමකින් පසුව එකවර ඇති වී නැති වී යන ආකාරයේ කොන්දේ වේදනාවක් ඇති වුවහොත් නැවත එසේ වේදනාවක් ඇති වීමට පෙර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් වියපත් වන විට ඇති වන කොන්දේ අපහසුතාවලින් මිදිය හැකි බව අවධාරණය කළ යුතු වේ.

දුලංජලී මුතුවාඩිගේ (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මධු සමයේ දී ඇති වන කොන්දේ වේදනා සුළු කොට තකන්න එපා"

    Post a Comment