07 May, 2017

මිෂෙල් රයිමස්ට ඇසිඩ් ගැහුවේ දේශපාලන පෙම්වතාද? - ඇඬුවා කියලා ආයේ මට එ් රූපය ගන්න බෑ

Michelle Reimers-01
Michelle Reimers

මිෂෙල් රයිමස්, කලක් පුංචි තිරයේ දියකිඳුරිය වූයේ ඇයයි. අද තරම් එදා මාධ්‍ය තාක්ෂණය නොදියුණු කාලයක සිහින ඉසව්ව ටෙලිනාට්‍යයෙන් මිෂෙල් බොහෝ ඇස් වශී කරගත්තා. නමුත් පුංචි තිරයේ දියකිඳුරිය වූ ඇය එක් නිමේෂයකින් බොහෝ දේ අහිමි කරගත් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුන්නා. කලක් තම මුහුණේ සුන්දරත්වය නිසා ජනප්‍රිය වුණ මිෂෙල්ගේ මුහුණ එක නිමේෂයකින් විරූපී වුණා. ඒ සිදුවීමත් සමඟ ඇයට නිළියක හා නිරෑපිකාවක ලෙස නමක් තබාගෙන සිටි ක්ෂේත්‍රයට සමුදෙන්නට සිදුවුණා.

අද ඇය වයස අවුරුදු දාසයක දියණියක සමඟ තනිවම ජීවිතයට මුහුණ දෙනවා. එදා තරැවක් වූ නමුත් අද අැය සාමාන්‍ය ගැහැනියක්. මිෂෙල් සමඟ අපි කතා කළා.

මිෂෙල් අද ඔයා කවුද...? මොනවා කරන කෙනෙක්ද?

අද මිෂෙල් රයිමස් කියන්නේ අවුරුදු දහසයක් වයසැති දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඉතින් දැන් දුවගේ exam එක මේ අවුරුද්දේ. ඉතින් එයාගේ වැඩත් බලාගෙන දැන් ගෙදරට වෙලා ඉන්නවා. විශේෂ වැඩක් කරන්නේ නෑ.

එක කාලෙක ඔයා ලංකාවේ ලස්සනම යුවතියක්. ජනප්‍රියම නිරූපිකාවක්. ඒ අතීතය මතක් වෙද්දී දැන් දැනෙන්නේ කොහොම හැඟීමක්ද?

ඒ කාලේ මගේ මූණයි අද මගේ මූණයි දකිද්දි ලොකු වෙනසක් තියෙනවා. ඒ කාලේ ගැන මතක් වෙද්දි දුක නැහැයි කියලා බොරුවක් කියන්න මට බෑ. ඉස්සර මට හිත වාවන්නේ නෑ. මේ ඇස්වලින් අනන්තවත් අඬලා ඇති. ඒත් මොනවා කරන්නද? ඇඬුවා කියලා ආයේ මට ඒ රූපය ගන්න බෑ. ඒ නිසා මම දැන් හිත හදාගෙනයි ඉන්නේ.

ක්ෂේත්‍රයේ අයට ඉක්මනින්ම ඔයාව අමතක වුණාද?

ඔව්.. ඒක ඇත්ත. මාව දන්න කට්ටියගෙන් කවුරුත් අද වෙනතුරු මට කෝල් කරලවත් මා ගැන හොයලා බැලුවෙවත් නෑ. මීගමුවට ඇවිත් බලලා මා ගැන හොයලා බලන්නේ ගාමිණී සිරිවර්ධන විතරමයි. අනිත් කවුරුවත් මා ගැන හොයලා බැලුවේ නෑ. මගේ අම්මනම් කිව්වේ පළවෙනි දවසේ හොසිපිට්ල් එක පිරෙන්නම කට්ටිය හිටියා කියලා. ඒ හැමෝටම ඕනවෙලා තියෙන්න ඇත්තේ මගේ මූණට කොච්චර ඩැමේජ්ද කියලා දැනගන්න විතරමයි. අද ඒ කවුරුවත් නෑ.

ඇත්තටම මිෂෙල් ඔයාට වැරදුණේ කොතනද?

වැරදුණු තැන තමයි මගේ මේ ඇක්සිඩන්ට් එක. ඒක 1999 දී ඇතිවුණ සිද්ධියක්. ඒ සිදුවීමෙන් පස්සේ මගේ මුළු ජීවිතයම වෙනස් වුණා.

සමහරු කිව්වා ඔයාගේ මූණට දේපාලනයට සම්බන්ධ කෙනෙක් ඇසිඩ් ගැහුවා කියලා?

නෑ.. ඇත්තටම ඒක බොරු කතාවක්. මම ඉස්පිරිතාලේ ඉඳිද්දි මාව බලන්න ආපු අය තමයි ඒ වගේ කතාවක් කියලා තියෙන්නේ. ඇත්තටම වුණේ මාව පිච්චුණා. ඒ වෙලාවේ මගේ පෙම්වතාත් මගේ ළඟ හිටියා. එයා ගින්න නිවන්න උත්සාහ කරද්දි එයාගේ අත් දෙකත් පිච්චුණා. ඒ නිසා සමහරු කිව්වා එයා ඇසිඩ් ගහන්න හැදුවා කියලා. ඒත් ඒකත් බොරැවක්. ඒ ඇක්සිඩන්ට් එකෙන් මගේ මූණයි අත් දෙකයි පපුව ගාවට වෙනකම් හොඳටම පිච්චුණා.

මූණට හානියක් වුණාට පස්සෙ වචනයෙන් කියාගන්න බැරි කඩාවැටීමක් හිතට දැනුණා නේද...?

ඔව්.. ඇත්ත. ඒක වචනවලට පෙරළන්න අදටත් මට තේරෙන්නෙ නෑ. මම පිච්චුණු දවසේම මම මගේ මූණ දැක්කා. මම ඒ වෙලාවෙම මගේ අක්කාට කිව්වා (මට ජීවත් වෙන්න ඕනෙ නෑ) කියලා. මම හෝ ගාලා ඇඬුවා. මාස දෙකක් විතර මම හොස්පිට්ල් එකේ හිටියා.

කොහොමද ඔය හිත හදාගත්තේ?

මගේ අම්මි මගේ ළඟින්ම හිටියා. එයා හැමවෙලේම කිව්වේ (ඔයා දුර්වල වෙන්න එපා... ඔයා කොහොම හරි හිතට හයිය ගන්න) කියලා. කාලයක් යනතුරු මම කණ්ණාඩියෙන් මූණ බැලුවේ නෑ. කාලයක් යනකන් මම කාමරයෙන් එළියටවත් ආවෙ නෑ. අම්මි තමයි කිව්වේ (ජීවිතේ ආයෙ පටන් ගන්න ඔයාට පුළුවන්) කියලා. ඊට පස්සෙ මම හෙමිහිට මගේ හිත හදාගත්තා. කොහොම හරි මම තනියම නැගිට්ටා. 2001 අවුරුද්දේ මගේ දුව ඉපදුණා. ඊට පස්සේ මගේ මුළු ජීවිතයම වුණේ මගේ පුංචි දූ පැටියා. දුවගේ මූණ දකිද්දි මට මගේ තරැණ කාලය මතක් වෙනවා. අද මම තනියම දුවව හදාගන්නවා. ඒක මට සතුටක්.

ඔය සිද්ධිය වුෙණ් ඔයාගේ ජීවිතේ ලස්සනම කාලයේදී නේද..?

ඔව්.. සිද්ධිය වෙද්දි මට අවුරුදු විසි එකයි. මගේ ජීවිතේ සුන්දරම කාලෙදි ජීවිතේම අසුන්දර වුණා.

ඉස්සර ලස්සන කෙල්ලෙක්නෙ. ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ කොයි කාලෙදිද?

මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ මට අවුරුදු දාසයේදි විතර. මම මිස් ශ්‍රී ලංකා තරගාවලියෙන් ජයග්‍රහණය කළා. ඊට පස්සෙ තමයි ජනප්‍රිය කෙනෙක් එක්ක මගේ ප්‍රේමයක් ඇතිවුණේ.

දැන් ගෙවන ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

දැන් ගෙවන ජීවිතේ මෙහෙම ගෙනියන්න හරි අමාරුයි. මගේ යාළුවෙක් ඉන්නවා වජිරා ප්‍රේමරත්න කියලා. එයාලා මටයි මගේ දුවටයි ගොඩාක් උදවු කරනවා. ඇත්තටම ඒ අයට ගොඩාක් ස්තූති කරන්න ඕනේ.

අද ඒ කාලය.. ඒ කාලේ ඡායාරූප දකිද්දි දුකක් හිතෙනවද මිෂෙල්?

ඔව්.. ඇත්ත.. තාමත් මා ගාව ඒ ෆොටෝ තියෙනවා. තාමත් ඒ ෆොටෝ මාව ජීවත් කරවනවා. එක මොහොතකදි වෙච්ච සිදුවීමක් ජීවිතයම වෙනස් කළා. ජීවිතේ දැන් වෙද්දි සමහර තැන් ගැන සතුටුයි. සමහර තැන් ගැන දුකයි. ගොඩාක් අඩුපාඩු තියෙනවා. ඒත් ඉතින් මොනව කරන්නද... ඇක්සිඩන්ට් එක වෙච්ච කාලෙදි මම ගොඩාක් ඇඬුවා. ඒත්.. ජීවිතයට තනියම මුහුණ දුන්න ගැහැනියක් විදිහට මම ආයෙත් නැගිට්ටා. අද මම ඒ ගැන සතුටු වෙනවා.

Michelle Reimers-02

Text - Dishani / Pic — internet (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මිෂෙල් රයිමස්ට ඇසිඩ් ගැහුවේ දේශපාලන පෙම්වතාද? - ඇඬුවා කියලා ආයේ මට එ් රූපය ගන්න බෑ"

    Post a Comment