21 May, 2017

ආදරේ ගැන කලකිරිලා නෑ – හේමාල් රණසිංහ

Hemal Ranasinghe - 2017.05.21

හේමාල් රණසිංහ කියන්නේ වර්තමානයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක් කීවොත් නිවැරදියි. මේ දිනවල තිරගත වන බන්ධනය චිත්‍රපටය නිසාම ඔහු ගැන හැමෝම කතා වෙන නිසා අපිත් හේමාල්ට කතා කළා.

ඉතින් හේමාල් කොහොමද ජීවිතේ?
හොඳයි.

අලුත් චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන සතුටක් තියෙන්නේ.

මේ චරිතය අනෙක් චරිතවලට වඩා වෙනස් කීවොත්?
ඔව්. කොහොමත් මම චරිත තෝරා බේරාගෙන තමයි රංගනයේ යෙදෙන්නේ. මේ චරිතය වෙනස් නිසා තමයි හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ.

ප්‍රථම වතාවට නේද පියෙක්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ? මොන වගේද ඒ ලැබුණු අත්දැකීම?
වෙනත් චිත්‍රපටයකටත් පියෙකුගේ චරිතයෙන් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් මට ඒ දේ විශේෂ අත්දැකීමක්. මොකද පූර්ණ වශයෙන් ඒ ළමයින්ට අවධානය දෙන්න වෙනවා. මගේ උපරිමයෙන් ඒ චරිත කළා කියන විශ්වාසය මට තියෙනවා.

ඒ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා විශ්වාස කරනවාද?
ඔව්. මම සාධාරණයක් කළා. ඒ ගැන ප්‍රේක්ෂකයන් හරියට තේරුම් ගනීවි.
සිනමාවට වගේ ටෙලි නාට්‍යවලටත් දිගුකාලීනව සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. ඒත් සම්බන්ධ වෙන්න අදහසක් නම් කොහෙත්ම නෑ.

පුංචි කා‍ලේ ඉඳන්ම හේමාල් හීන දැක්කේ නළුවෙක් වෙන්න. අද ඒ හීනේ හැබෑවක් වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. මොකද මේ ගමන එන්න මම ගොඩක් කැපවුණා. ඒ නිසා ආපස්සට හැරිලා බලද්දි තියෙන්නේ මහන්සියේ තරමට ප්‍රතිඵල තියෙනවා කියලා.

කොහොමද ප්‍රවීණයන්ගෙන් හේමාල්ට ලැබෙන ප්‍රතිචාර?
හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඔවුන්ගෙන් ගුරුහරුකම් වගේම ආදරයත් නොඅඩුවම ලැබෙනවා. ඇත්තටම ඒ ගැන විශාල තෘප්තියක් තියෙනවා.

රංගන ශිල්පියෙක් ලෙස හේමාල්ට ලැබෙන වටිනාකම ගැන තෘප්තිමත්ද?
ඒ ගැන කියන්න අවශ්‍ය නෑ. ඔය දේ අද හැමෝම දන්න දෙයක්. ඒ නිසා ඒ ගැන කතා කරන්න කැමැත්තක් නෑ.

රංගනය ගැන හැදෑරීමක් කරනවාද?
විශේෂ හැදෑරීමක් කරන් නෑ. නමුත් මට පුළුවන් විදිහට මම රංගනය ගැන ස්වයං අධ්‍යයනයක යෙදෙනවා.

නිරූපණයට තවමත් ආරාධනා ලැබෙනවාද?
දිගටම ආරාධනා නම් ලැබෙනවා. ඒත් නිරූපණයට නැවත එකතු වෙන්න නම් කැමැත්තක් නෑ.
නිරූපණයෙන් ඈත්වුණා කියලා දුකක් නෑ.

අද නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට එකතු වෙන පිරිස වැඩිවෙලා තියෙනවා. ඒ ගැන හේමාල්ගේ අදහස මොකක්ද?
ඕනෑම ක්ෂේත්‍රයකින් අද රංගනයට එකතු වෙනවා. ඔවුන් දැනගන්න ඕන ගමන සාර්ථක කරගන්න. ඒ වගේම වෘත්තියට ගෞරවයක් ලැබෙන විදිහට වෘත්තියේ නියැළෙන්න ඕන කියලයි මම හිතන්නේ.

විවාහය කල් යන්නේ ආදරය ගැන කලකිරීමක් තියෙන නිසාද?
එහෙම නම් ආදරය ගැන කලකිරීමක් නෑ. නිසි වෙලාවට ඒ දේවල් සිදුවේවි. එතකන් මම කලබල වෙන්නේ නෑ.

තිළිණි කරුණාරත්න (rivira)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආදරේ ගැන කලකිරිලා නෑ – හේමාල් රණසිංහ"

    Post a Comment