31 May, 2017

මුස්ලිම් පල්ලිය වැනසීම : BJP නායකයන්ට සාපරාධී කුමන්ත්‍රණ චෝදනා

Destroying mosque BJP
AFP-හින්දු ප්‍රහාරකයන් මුස්ලිම් ආආ විනාශ කරන ආකාරය

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ඉහළම මට්ටමේ හිටපු නායකයකු වූ L.K.අද්වානිට එරෙහිව සාපරාධී කුමන්ත්‍රණ චෝදනා යටතේ නඩු පවරනු ලැබුණි.

මෙයින් වසර විසි පහකට පෙර අයෝධ්‍යාවේ සුප්‍රකට 'බබ්රි'(Babri) මුස්ලිම් පල්ලිය විනාශ කර දමනු ලැබීම සඳහා කටයුතු කර ඇති බවට ලාල් ක්‍රිෂ්ණ අද්වානි චෝදනා ලබයි.

ආගමික වෛරය ඇවිස්සීම සම්බන්ධයෙන් අද්වානි සහ ඔහුගේ සගයන් එකොළොස් දෙනකුට එරෙහිව චෝදනා ගොණුකර ඇති අතර, භාරතීය ජනතා පක්ෂයේ ඉදිරිපෙළ නායකයන්ව සිටි මුර්ලි මනෝහර් ජෝෂි සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයකු වූ උමා භාරතී චුදිතයන් අතර වෙති.

1992 වසරේ හින්දු -මුස්ලිම් වාර්ගික ගැටුම් මැද හින්දු ප්‍රහාරක කල්ලියක් විසින් අයෝධ්‍යාවේ 'බබ්රි' මුස්ලිම් පල්ලිය විනාශ කර දමන ලද අතර ඔවුන් කුපිත කිරීමේ කතා පැවැත්වූ බවට එල්ල වෙන චෝදනා චුදිතයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එම වර්ගවාදී ගැටුම් රැල්ලේ දී දෙදහසකට ආසන්න ජීවිත විනාශයක් වාර්තා විය.

'බබ්රි' මුස්ලිම් පල්ලිය පිහිටි ඓතිහාසික භූමිය 'රාම' දෙවියන්ගේ ජන්ම භූමිය වන බවත්, දහසය ශතවර්ෂයේ මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් එහි වූ 'රාම දෙවොල' විනාශ කොට ඒ මත මුස්ලිම් පල්ලිය ඉදිකර ඇති බවත් හින්දු භක්තිකයෝ කියා සිටිති.

කෙසේවුවද, 1992 වසරේ දී එම මුස්ලිම් පල්ලිය විනාශ කර දමනු ලැබීම සංවිධානාත්මක ක්‍රියාවක් වූ බව ඉන්දියානු මධ්‍යම පරීක්ෂණ බියුරෝව (CBI) පවසයි.

මෙම කාරණය විභාග කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා විශේෂ උසාවියක් පිහිටුවන මෙන් පසුගිය අප්‍රියෙල් මාසයේ නියෝග කළ අතර, පල්ලිය විනාශ කර දැමීම සම්බන්ධයෙන් ඉහත නම් සඳහන් කළ තිදෙනාට එරෙහිව නඩු පවරන ලෙස උපදෙස් දී තිබුණි.

එසේම එම නඩුව අවුරුදු දෙකක කාලයක් ඇතුළත විභාග කර අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය වෙයි.

ප්‍රධාන චුදිතයන් තිදෙනා අද අඟහරුවාදා(මැයි 30) විශේෂ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර විත්තිකරුවන්ට කිසිදු හේතුවක් යටතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් වැළකීමට අවසරයක් නැති බව ප්‍රකාශ කළ විනිසකරුවෝ ඔවුන් ඇප මත මුදා හරින මෙන් නියෝග කළහ. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මුස්ලිම් පල්ලිය වැනසීම : BJP නායකයන්ට සාපරාධී කුමන්ත්‍රණ චෝදනා"

    Post a Comment