16 May, 2017

මම විවාහ නොවෙන්නේ බැඳීම් අඩුකරගන්න වුවමනා හින්දා

Dayan Vitharana

දයාන් විතාරණ රටම හඳුනන්නේ ගායකයෙක් වගේම ඡායාරූප ශිල්පියෙක් විදියටයි. කාලාන්තරයක් ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටි මේ ජනප්‍රිය කලාකරුවා අද වන විට ආගමික චින්තනයට වැඩි නැඹුරුවක්දක්වනවා. ඔහු තමන්ගේ කලා කටයුතු තුළින් පවා සමාජයට දෙන්නට හදන්නේ ආගම හා බැඳුණු පණිවුඩයකුයි. ඒ හින්දම අපි හිතුවා 'සතුට හා දුක' ගැන දයාන් දරන ආකල්පය කුමක්ද කියලත් විමසා බලන්න.

දයාන් අපි ඔබට දුක හා සතුට කෙටියෙන් නිර්වචනය කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
සතුට කියන්නේ නිවන. දුක කියන්නේ තණ්හාව.

ඔබ තවම නිවන් අවබෝධ කරගත හැකි පෘථග්ජන පුද්ගලයෙක්. ඔබ කියන විදියට ඔබ ඉන්නෙත් දුක තුළ. අපි හරිද වැරදිද?
ඔබ හරි. මම විතරක් නමෛයි සියලු පෘථග්ජනයින් ඉන්නේ දුක තුළ. ඒක තමයි යථාර්ථය. නමුත් අප ඒ ජීවිතය තුළ ඉඳගෙන සතුට කියන හැඟීම් විඳිනවා. හැබැයි ඒක තාවකාලිකයි.

කලාකරුවෙක් විදියට දයාන් විඳි ලොකුම සතුට මොකක්ද?
2002 අප්‍රේල් 30 මගේ ප්‍රථම ගීත සමුච්චය එළිදැක්වීම.

කලාකරුවෙකු විදියට විදි ලොකුම දුක?
අමරදේව සර්ගේ වියෝව.

පුද්ගලික ජීවිතයේ විඳි ලොකුම සතුට?
ඒකත් මගේ ප්‍රථම ගීත නිකුතුව තමයි.

පුද්ගලික ජීවිතයේ විඳි ලොකුම දුක?
මට අවුරුදු 13දී මගේ පියා මෙලොව හැර යාම.

වෙන කෙනෙකු නිසා දයාන් සතුටු වූ අවස්ථා වගේම දුක්වූ අවස්ථාත් ඇති නේද?
මම කොහොමත් අනිත් අයගේ යහපත දැකල සතුටුවෙන, අනිත් අයගේ දුක දැකලා දුක්වෙන කෙනෙක්.

දයාන් හින්දා වෙන අය සතුටු වූ අවස්ථා, දුක් වූ අවස්ථා නැද්ද?
මගේ අම්මා මගේ සතුට දැකලා, ජයග්‍රහණයන් දැකලා සතුටු වුණා. දුක දැකලා දුක්වුණා.

ආදරේ කියන්නේ ඔබට සතුටක්ද? දුකක්ද?
දුකක්. ආදරේ කියන්නේ බැඳීමක්. බැඳීම් කියන්නේ දුකක්.

වැඩියෙන්ම සතුට තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද? විවාහ ජීවිතය තුළද?
තනිකඩ ජීවිතය තුළ බැඳීම් අඩුයි. ඒ හින්දා සතුට තියෙන්නේ එතැන.

දයාන් කියන්නේ මේ ලෝකේ හැම විවාහයක්ම දුකක් කියලද?
ඔව්.

ඒත් ආදරණීය අඹු සැමියන් සතුටින් තම යුග ජීවිතය ගත කරන අවස්ථා ලෝකේ කොයිතරම් තියෙනවද?
ඔව්. ඒත් ඒ ආදරය අවසන් වෙන්නේ දුකකින්.

ඒ කොහොමද?
ටිකක් හිතන්න. දැඩිව ආදරය කළ දෙදෙනෙක් සියලුම බාධක බිඳලා ප්‍රේමය ජය ගන්නවා. ඊට පස්සේ විවාහ වෙලා දරුමල්ලන් ලබලා සතුටින් ජීවිතය ගෙවනවා. ඒත් දවසක දෙන්නට වෙන් වෙන්න සිදුවනවා. ඒ දෙන්නම එකම මොහොතක මියයන්නෙ නැහැනේ. දෙන්නගෙන් කෙනෙක් කලින් මියයනවා. ඊට පස්සෙ අනිත් කෙනාට ඉතුරු වෙන්නේ දුක නේද?

දයාන් තනිකඩව ඉන්නේ ඔය කියන දුක දරාගන්න බැරි නිසාද?
නෑ. බැඳීම් අඩුකර ගන්න වුවමනා හින්දා.

ආරියවංශ කුලතිලක (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම විවාහ නොවෙන්නේ බැඳීම් අඩුකරගන්න වුවමනා හින්දා"

    Post a Comment