28 May, 2017

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් චන්ද්‍රිකාට - මහින්දට අගමැතිකම් බෑ

chandrika-mahinda

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් අගමැති වීමට අවස්ථාවක් නොලැබෙන පරිදි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී තිබේ.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වන නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කමිටුවේ සාමාජිකයන් සමග මේ සම්බන්ධයෙන් පවසා ඇත. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වුව ද එය කළ යුත්තේ දෙවරක් රට පාලනය කළ අයකුට නැවත රට පාලනය කිරීමට නොහැකි ආකාරයෙන් බව ද මෙහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වය අවධාරණය කර ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසු රාජ්‍ය නායකයා ලෙස ව්‍යවස්ථාවෙන් බලය හිමි වන අගමැති ධුරය ලබා ගැනීම වැළැක්වීම ශ්‍රීලනිපයේ අදාළ යෝජනාවේ අරමුණ වී තිබේ. 

කෙසේ වෙතත් මේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තම අදහස අවසාන වශයෙන් ප්‍රකාශ කර නැති අතර, එම පක්ෂයේ ආරංචි මාර්ගවලට අනුව එජාප නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ සිටින ස්ථාවරය වන්නේ කිසිවකුට එවැනි බාධාවක් ඇති කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන බවයි.

වර්තමාන ආණ්ඩුව ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙවරක් ජනාධිපති ධුරයට පත්වූවකුට නැවත ජනාධිපති වීම වළක්වන ලදී. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට මෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. 

කෙසේ වෙතත් මනෝ ගනේෂන් ඇමැතිවරයා නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, රාවුෆ් හකීම් ඇමැතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඞ් බදූර්දීන් ඇමැතිවරයා නියෝජනය කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා නියෝජනය කරන ඊපීඩීපී පක්ෂය යන සුළු පක්ෂ පැහැදිලිවම මේ කමිටුවට පවසා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කළ ද එය කිසිසේත්ම අහෝසි නොකළ යුතු බව ය.

-පරාක්‍රම දිසානායක (sathhanda)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නව ව්‍යවස්ථා සංශෝධනයෙන් චන්ද්‍රිකාට - මහින්දට අගමැතිකම් බෑ"

    Post a Comment