29 May, 2017

මොන Offers ආවත් මම වායෝ දාලා යන්නේ නෑ

mihindu ariyaratne

'මිසිස් පෙරේරා', 'යනතැකන' වැනි ගීතවලින් ජනප්‍රිය වූ ගායකයෙකු ලෙස මිහිඳු ආරියරත්න හැඳින්විය හැකිය. වායෝ සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබන මිහිඳුගේ නවතම ගීතය වන 'දුවනී' ගීතයද පසුගියදා එළිදක්වනු ලැබීය. එම ගීතය පිළිබඳවත්, වායෝ සංගීත කණ්ඩායම පිළිබඳව හා පුන්‍ය කටයුත්තක් වෙනුවෙන් 27 වැනිදා 'වායෝ' පැවැත්වීමට යන ප්‍රසංගය පිළිබඳව මිහිඳු අපත් සමග මෙලෙස පිළිසඳරක නිරත වූවා.

අපි ඉස්සරලාම 'දුවනි' ගීතය ගැන කතා කරමු?

'දුවනි' ගීතය මධුරංග විජේසේකර අයියාගේ පෞද්ගලික අත්දැකීමක්. ඒ‘ ගීතය ලියලා ගීතය නිර්මාණය නොකර අවුරුදු හතරක් පහක් විතර ඔහු ළඟ තිබුණා. ඒකේ තව තනුවක් තිබුණා. එයාම කිවුවා අපි මේක අශාන් මල්ලිට දීලා කරගමු කියලා. මේක සම්පූර්ණයෙන්ම එයාගෙ අදහසක්. එයාගේ ආසාවක් තිබුණා මම ලවා මේක ගායනා කරවන්න.

එයාම තමයි අශාන් මේ වැඩේට හොඳවෙයි, එයාගෙ මෙලඩි ලස්සනයි. ඊට පස්සේ තමයි වැඩේ කෙරුණේ. ඇත්තටම මේ Concept එක එයාගෙ. එයාට වෙච්ච ඇත්ත කතාවක්. ඒක එයාගෙ හදවතින්ම ආව නිසා වෙන්න ඇති මේක මෙච්චර සාර්ථක වුණේ.

ඒ ගීතයට ඔබව තෝරාගැනීම සම්බන්ධයෙන් ඔබට මොකද හිතෙන්නේ?

ඇත්තටම මට පෞද්ගලිකව ඒක ලොකු ආඩම්බරයක්. ඒක මගෙ ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙනවා. මනුරංග විජේසේකර කියන්නේ ක්ෂේත්‍ර‘යේ ඉන්න දැවැන්තයෙක්. මට එයා දැවැන්තයෙක්. 'මිසිස් පෙරේරා' කියන ගීතය ලිව්වෙත් එයා. එයා ලියන දේවල්වල ලොකු පරාසයක් තියෙනවා.

හාස්‍යයේ ඉඳලා සීරියස් මාතෘකාවක් වෙනකම් ඕනෙම දෙයක් එයාට ලියන්න පුළුවන්. ඉතින් එහෙම තියෙද්දි එයාගේ අතිශය පෞද්ගලික අත්දැකීමක් ගීතයට නගන්න මාව තෝරාගැනීමම මට ලොකු ආඩම්බරයක්. සාමාන්‍යයෙන් තමන්ගේ පෞද්ගලික දෙයක් කරන්න ගන්නේ හොඳයිම කියලා හිතෙන කෙනෙක්නේ. එහෙම මාව තෝරාගත්ත එක ලොකු ආශීර්වාදයක් වගේම ලොකු ජයග්‍රහණයක්.

ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

ඇත්තටම හොඳයි. හුඟක් අය කියන දෙයක් තමයි වෙනස් කියන එක. වෙනස කියන එකත් දැන් පරණ වෙලානේ. අලුත් කියන දෙයත් පරණ වෙලානෙ. අපි හැමදාම කරන තේමා තියෙනවා. අපි පොදුවේ කරන තේමා ගත්තාම ඒක වෙනස්ම කතාවක්. ඇත්තටම කියනවානම් කලින් ගීතයට නොනැගිච්ච කතාවක් මේක.

ඒ වෙනස නිසා මගේ රසිකයන් වූ පිරිසකුත් ඉන්නවා. ඒකට හුඟක් කට්ටිය ආදරය කරනවා. අද හිට් වෙලා තියෙන සමහර ගීත එක්ක මේ ගීතය ලොකු හිට් එකක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට කාලයක් රඳා පවතින ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

සංගීත කණ්ඩායමක් සමග වැඩකටයුතු කරන අතරතුර ගායකයෙකු වීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ? කණ්ඩායමත් සමග ගායනයෙන් ඉදිරියට යාමටද බලාපොරොත්තුව?

මගේ බලාපොරොත්තුව සංගීත කණ්ඩායමත් සමගම සිටීම තමයි. තනියම ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම පොඩි කාලේ ඉඳන්ම ගිටාර් එකක් අතට ගත්ත ගමන් මියුසික් බෑන්ඩ් පිස්සුව තමයි තිබුණේ. ඒකත් එක්කම ඉස්සරහට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මම ආස දේ තමයි මියුසික් බෑන්ඩ් එකක ප්ලේ කරන එක. ඒ තියෙන තැන මට තනියම ගිහින් ලබාගන්න බැහැ.

ලංකාවේ සංගීත කණ්ඩායම් එන්න එන්නම ගොඩක් බිහිවෙනවා. මෙහි රඳාපැවැත්ම මොනවගේද?

මම හිතන්නේ සංගීත කණ්ඩායම් කියන දේ නිතරම බිහිවෙනවා, කැඩෙනවා ඒ වගේ දේවල් වෙනවා. මම නම් කියන්නේ ඒක තමයි වෙන්න ඕන. ඉස්සර ඉලෙක්ට්‍රොනික් සංගීතය තිබුණා, එකොස්ටික් සංගීතය තිබුණා. දැන් එකොස්ටික් පැත්තට ආයෙත් බරවීගෙන එනවා. ඒ වගේ අලුත් අලුත් දේවල් හොයාගෙන, අත්හදා බැලීම් කරමින් සංගීත කණ්ඩායම් නිර්මාණය වෙනවා. ඒ වෙනස්වීම තුළ තමයි ක්ෂේත්‍රයේ රඳාපැවැත්ම තියෙන්නේ. හැමදාම එකම සංගීත කණ්ඩායමකට තැනක ඉන්න බෑ.

හැමදාම සන්ෆලවර්ස්ලා, ජිප්සීස්ලා, වායෝ, මේරියන්ස් තව අවුරුදු 50ක් ඉදිරියට තිබ්බොත් එතන වෙනස්වීමක් නැහැ. එක්කෝ ඒ ගොල්ලන්ගේ මියුසික් වෙනස් වෙන්න ඕන. එහෙමත් නැත්නම් තව අලුත් අලුත් බෑන්ඩ් ආවොත්, අලුත් සංගීත රටාවන් ආවොත් තමයි ක්ෂේත්‍රයේ රසවත් බවක් තියෙන්නේ. ඒක එහෙම වෙන එක හොඳයි. අනිවාර්යෙන් ඒක වෙන්න ඕන. ක්ෂේත්‍රයේ ඉන්න සංගීත කණ්ඩායම් වුණත් අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ඕන.

ඒක මේරියන්ස්ලා කරනවා, සන්ෆලවර්ස්ලා කාලයක් කළා, ජිප්සීස්ලා පවා අලුත් අලුත් දේවල්වලට යොමුවෙන නිසා තමා මෙච්චර කාලයක් ඒ අය රැඳිලා ඉන්නේ. එකම දේ කළොත් රැඳිලා ඉන්න බෑ.

සංගීත කණ්ඩායම්වලට සාමාජිකයන් මාරුවීම් සිද්ධවෙනවා යම් යම් වටිනාකම් අනුව. ඔබටත් එවැනි වටිනාකම් සහිත ආරාධනා ලැබෙනවාද?

මට වෙන සංගීත කණ්ඩායම්වලින් ඇත්තටම Offers ඇවිල්ලා තියෙනවා. මම දැන් ඉන්න වායෝ බෑන්ඩ් එක ගැන මම හුඟක්ම තෘප්තිමත්. මට වැඩියෙන් ගෙව්වා කියලා මම එහෙම වෙන කණ්ඩායමකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ කණ්ඩායමේ පිරිස එක පවුලක් වගේ. සාමාන්‍යයෙන් පවුලක් දාලා යන්නේ නැහැනේ කොච්චර වරප්‍රසාද ලැබුණත්. ඒ සහෝදරත්වය තියෙනකම් අපි ඉදිරියට මේ වැඩකටයුතු කරගෙන යනවා. අනිත් අයටත් මට වගේම Offers ලැබෙනවා. එහෙම කියලා කවුරුවත් යන්නේ නැහැ.

වායෝ සංගීත කණ්ඩායමේ නායකයා, සංගීත් විජේසූරිය සමග කටයුතු කිරීමේදී නායකයෙකු වශයෙන් හා පුද්ගලයෙක් වශයෙන් ඔහු පිළිබඳව ඔබට දැනෙන්නේ කොහොමද?

නායකයාගෙන් අපට එන දේ තමයි තියෙන්නේ. ඒක එහෙම නොවේ නම් මෙහෙම අපේ සහෝදරත්වයක් තියෙන එකකුත් නැහැ. ඔහු පුද්ගලයෙකු ලෙස ගත්තත්, සංගීතඥයෙකු ලෙස ගත්තත් ඉතාමත්ම උතුම් උසස් පුද්ගලයෙක්. මමත්වය කියන දේ ඔහු තුළ අඩුයි. කණ්ඩායමක් ලෙස අපිටත් ඒක් පුරුද්ද ඇවිල්ලා තියෙන්නේ ඒකයි. අපි හිතන්නේ කණ්ඩායමක් විදියට. එයා ඉදිරියට යනවාට වඩා කණ්ඩායමක් විදියට අපි ඉදිරියට යවන්න තමයි එයාගේ උත්සාහය.

මම වායෝ සංගීත කණ්ඩායමට බැඳිලා අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් පුළුවන් තරම් මාව ඉදිරියට දාන්න තමයි ඔහු බලන්නේ. මම පිටිපස්සේ ඉඳන් මොකක් හරි ගීතයක් කියනවානම් 'මල්ලි ඉස්සරහට යන්න' කියලා ඒ දේවල් වලින් වුනත් අපිව ඉදිරියට යවන්න තමයි උත්සාහ කරන්නේ. ඔහු ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. අපි පොඩි කාලේ ඉඳන්ම ඔහුගේ රසිකයො. ඒ වගේ කෙනෙක් අපිව ඉදිරියට දාන එක හුඟක් ලොකු දෙයක්.

ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු ගැනත් කියමු නේද?

මේ අවුරුද්ද වෙනකොට මගේ ගීත කිහිපයක්ම නිකුත්වීමට නියමිතව තිබෙනවා. එහි එකිනෙකට වෙනස් නිර්මාණ කිහිපයක් තමයි එන්න තියෙන්නේ. අරුණ ගුණවර්ධන මහතා මගේ ආසම සංගීතඥයෙක්. ඒ වගේම අමරදේව සූරීන්ගේ අවසන් ගීතය සංගීතවත් කළේ ඔහු.

ඔහු සමග එකතු වී කළ නිර්මාණයක් තිබෙනවා. එය තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. ඒ පිළිබඳව රසිකයින් දන්නවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. රසිකයන්ගේ යෝජනා, චෝදනා මම මගේ සංගීත ගමනට හයියක් කරගන්නවා. 

Wayo

(ada)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මොන Offers ආවත් මම වායෝ දාලා යන්නේ නෑ"

    Post a Comment