22 April, 2017

මම කාටවත් කඩේ යන නළුවෙක් නෙමෙයි

Viraj Perera-02

ගීත රූප පරචනාවලින් වැඩි වශයෙන් දකින්නට ලැබෙන ඔහු ටෙලි නාට්‍යය කිහිපයකටම දායක විය. මේ වනවිට ස්වාධින රූපවාහිනියේ "මුතුමලී" ටෙලි නාට්‍යය තුළින්ද, 'සිරස' රූපවාහිනියේ නැවත විකාශය වන 'අරුමවන්ති' ටෙලි නාට්‍යයෙන්ද රංගනයෙන් දායක වූ ඔහු විරාජ් පෙරේරාය. ඔහු වෘත්තියෙන් ඒ.එම්.ඩබ්.ලිව්. සමාගමේ අලෙවි ප්‍රවර්ධන කළමනාකරුය. මේ කතාබහ ඔහු සමගය.

විරාජ් කියන්නේ ලැබෙන හැම මියුසික් වීඩියෝ එකක්ම භාර ගන්න කෙනෙක්ද?

Viraj Perera

හැම නිර්මාණයකටම යන්නෙ නැහැ. මගේ රැකියාවත් එක්ක ඒවට යන්න කාලය මදියි. මම මේ වෙනකොට මියුසික් වීඩියෝ 150කට පමණ රංගන දායක වෙලා තියෙනවා. මම උත්සහ කරනවා විනාඩි තුනක වගේ කාලය තුළ ඒ හැඟීම් ප්‍රකාශනය කරන්න හැකියි කියලා. මම අසාධාරණ විදිහට මුදල් අය කරන්නේ නැහැ. දැන් ගීතයක් පැකේජ් නැතුව මාධ්‍යට දෙන්න අමාරුයි. පැකේජ්වලටත් වියදම් කරලා ඒ මියුසික් වීඩියෝ එකට රංගන දායකත්වය ලබාදෙන කෙනාටත් ලොකු මුදලක් වියදම් කරන්න බැහැ. ගායකයාට එය අපහසුයි. ඒ නිසා මම ඒ ගැන හිතලා තමයි එයට දායක වෙන්නේ.

ගීතයක ගුණත්වය කියන කාරණාව එතරම් අදාළ නැද්ද?

ගුණාත්වය ගැන අවධානය යොමු කරන්න ගියොත්, අද රටේ ගුණාත්මක නිර්මාණ බිහිවෙන්නේ හරි අඩුවෙන්. අපිට ලැබෙන දේ තමයි කරන්න සිද්ධ වෙන්නේ. හොඳ ගුණාත්මක නිර්මාණවලට දායක වුණත්, දැන් තියන පැකේජ් ක්‍රමය නිසා අවාසනාවකට ඒ ගීත මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැහැ. දැන් ඕඩියෝ එකට වීඩියෝ එකක් අවශ්‍යම වෙලා. රිගින් ටෝන් බිස්නස් එක හරියට කරගන්න වීඩියෝ එකක් අවශ්‍යයි කියන මතය, රටේ හැදිලා ඉවරයි. සමහර ගීතවල වීඩියෝ එක ඕඩියෝ එකට වඩා ප්‍රබලයි. සමහර වෙලාවට අපි දායක වෙන නිර්මාණවලත් එකිනෙක ගැළපීමක් නැහැ. කතා කරලා එය නිවැරදි කරගන්න සමහර වෙලාවට යොමු වෙනවා. ඒ නිසා මට ලැබෙන නිර්මාණයට සාධාරණයක් කරන්න මම යොමුවෙනවා.

මේ කාරණාව ඔබ ටෙලි නාට්‍යයවලට දායක වීමේදිත් එහෙමද?

කනගාටුවෙන තැන් වැඩියි. 'දුදරුවෝ', 'දඬුබස්නාමානය', 'ගිරය' වැනි වඩා හොඳ නිර්මාණ බිහිවුණා. ඒත් අද මේ පවතින තරගකාරිත්වයත් එක්ක එවැනි ටෙලි නාට්‍යයකට දායක වෙන්න ලැබෙන්නෙ නෑ. එහෙම ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නෙත් නෑ. අලුතින් රංගනයට එන ශිල්පීන්ට මම කියන්නේ මෙගා නාට්‍යයවලට එන්න එපා කියලා. මෙගා නාට්‍යයවලදී අධ්‍යක්ෂකවරයාට ඒ ශිල්පියාව හදන්න අවස්ථාවක් නැහැ. එපිසෝඩ් තුනක් විතර දවසකට කරන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ. එහෙම වුණාම අලුතින් එන රංගන ශිල්පීන් විනාශ වෙන එක සිද්ධ වෙන්නේ. මම වසරකට ටෙලි නාට්‍යය දෙකක් පමණයි භාරගන්නේ.

විරාජ් තෘප්තිමත් නැතුව තමයි නිර්මාණවලට දායක වෙන්නේ?

බොහෝ දෙනෙක් ඉන්නේ කලකිරීමෙන්. එහෙත් ඒක කතා කරන්න යොමු වෙන්නෙ නැහැ. එහෙම කතා කරන්න ගියොත්, ඔවුන්ට වැඩ ලැබෙන්නෙ නැහැ. මම හැමදාම විවේචනය කළා. මම රැකියාවක් එක්ක මේ ක්ෂේත්‍රයේ නියැළෙන්නේ. බිහිවෙන නිර්මාණ බැලුවම දක්ෂයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. එහෙත් ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. චැනල්වලටත් ශිල්පීන් බෙදාගෙන ඉන්නවා. ඒ නිසා සමහර චැනල්වල වැඩවලට ආරාධනා ලැබෙන්නෙ නැහැ. අධ්‍යක්ෂකවරුත් එහෙමම තමයි. ඒ ගැන බලද්දි කලකිරෙනවා. ඒ කුමන තත්ත්වයක තිබුණත්, ලැබෙන නිර්මාණය හොඳින් කරන්න බලනවා. පළිගැනීම් වැඩියි.

රංගන ජීවිතය ගැන කතා කළොත්, ඉදිරි සැලසුම් මොනවද?

වාණිජමය පැත්තට වඩා සම්භාව්‍ය නිර්මාණවලට දායක වෙන්න මම ලොකු කැමැත්තකින් ඉන්නවා. මේ වෙද්දි %එළ අයිඩියා^ කරන චිත්‍රපටයක් කරන්න යොමුවෙලා තියනවා. ඒක තමයි සිනමාව පැත්තෙන් තියන ලොකුම බලාපොරොත්තුව. මට කිසිවෙක් එක්ක තරගකරන්න ඕන නැහැ. මම පූර්ණකාලීනව කලා ක්ෂේත්‍රය තුළ නැහැ. මම කාර්යය බහුලයි. නිවාඩු දිනවල රංගනය සිදුකරන්නේ. මම කාටවත් කඩේ යන නළුවෙක් නෙමෙයි. ඒ වගේම නිර්මාණයට උපරිම දායකත්වය ලබාදෙන නළුවෙක්. ප්‍රේක්ෂකයන් මා සමග සිටිනතුරු මම නිර්මාණවලට දායක වෙනවා.

Viraj Perera-03

නිදුක් මදුෂික (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම කාටවත් කඩේ යන නළුවෙක් නෙමෙයි"

    Post a Comment