17 April, 2017

ටිං ටිං' ආයෙත් ඇවිත්



තුසිත ධනුෂ්ක රණවීර, මෙයාගෙ නම වුණත්, ටෙලිනාට්‍ය නරඹන වැඩි දෙනෙක් අතර තවමත් මෙයා ජනප‍්‍රියව සිටින්නේ අපි අපි වගේ නාට්‍යයේ ‘‘ඇසල’’ චරිතය නිසයි. ‘‘කොල්ලො දඟකාරයි - කෙල්ලො විවිධාකාරයි’’ මේ විදියට නිතරම කිව්ව නිසා ‘‘විවිධාකාර කෙල්ලන්ගෙ දඟකාර කොල්ලා’’ කියලත් මෙයාට කියනවා. ඒ වගේම ටිං ටිං කියලත් මෙයා ජනප‍්‍රියයි. කොහොම වුණත් මේ විසේකාර තරුණ ටෙලිනාට්‍ය ශිල්පියා පසුගිය කාලයේ පෙනෙන්නට හිටියෙ නැහැ. දැන් මේ දිනවල නැවතත් හමුවන්නෙ ලිලන්ත කුමාරසිරිගෙ මුතුමලී නාට්‍යය සමගයි. එහි ‘‘නිරෝෂ්’’ ලෙස නැවත හමුවන ‘‘තුසිත ධනුෂ්ක රණවීර’’ නොහොත් ටිං ටිං එක්ක අපි පිළිසඳරකට එක්වෙමු.

තුසිත, කොහෙද මෙච්චරකල් හිටියෙ?

ඔස්ටේ‍්‍රලියාවේ

කොච්චර කාලයකට පසුව ද ලංකාවට ආවේ?

අවුරුදු පහකට පසුව

ඇයි එකපාරටම ඔස්ටේ‍්‍රලියා ගියේ?

ඒක පොඩි කාලයේ ඉඳලම තිබුණු හීනයක්. ඒ වගේ රටකට ගිහින් එහි දියුණුව දැක බලා ගැනීමේ සිහිනයක් තිබුණා. ඒක ඉටු වුණා.

නැවතත්, ඕස්ටේ‍්‍රලියාවට යන්නෙ නැද්ද?

ළඟදීම ආයෙත් ඕස්ටේ‍්‍රලියා යනවා. එදා අන්තිමට මම අමන්දා නාට්‍යයේ රගපෑවට පස්සේ සහභාගී වුණු අන්තිම ටී.වී වැඩ සටහනේදී කිව්වෙ අවුරුදු පහකට පසුව නැවත ලංකාවට එනවා කියලයි. ඒ විදියට ඇවිත් සිටියදී තමයි මුතුමලී නාට්‍යයේ රඟපෑමට ලිලන්ත කුමාරසිරි මහතා මට ආරාධනා කළේ.

ඊට පෙර නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද?

හයක විතර රඟපෑවා. මුලින්ම ක්ෂේත‍්‍රයට එන්න ලැබුණෙ රවීන්ද්‍ර විජේරත්න සහ තරංග දිසානායක මෙන්ම සුසිල නිෂ්පාදන - සන්ධ්‍යා මෙන්ඩිස් මහත්ම, මහත්මීන් නිසයි. ඉන්පසුව ලිලන්ත කුමාරසිරි මහතාගේ අමන්ද්‍ර ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. ටිං ටිං කියලා තමයි එදා වැඩි දෙනෙක් මට කතා කළේ. නැවතත් ලංකාවට ආවාම ටිං ටිං ඊස් බැක්’’ කියලා ෆේස්බුක් පිටුවල දැක ගන්න ලැබුණා. එදා අමන්දා නිසා ආදරයට ආදරය කරන කොල්ලෙක් කියලා බොහෝ ප‍්‍රතිචාර ලැබුණා.

දැන් එහෙනම් ඇත්තටම ආදරයකුත් ඇති?

ඔව් කිව්වොත් හරි

ඒ නිසාද නැවතත්, ඉක්මනටම ඕස්ටේ‍්‍රලියාවට පියඹන්න හදන්නෙ?

ඇත්තම කිව්වොත්, ජීවිතේ දාලා එන්න බැරි, ජීවිතයට බොහෝම සම්බන්ධ බොහෝ වෙනස්කම් වුණේ ඕස්ටේ‍්‍රලියාවට ගියාමයි. එහි ගිය පසු ඉංග‍්‍රීිසි භාෂාව වගේම විලාසිතා සඳහා වැඩිපුර උනන්දු වුණා. ඒ වගේම ආචාරශීලි බව, පෞරෂය පවා වර්ධනය කරගන්න පුළුවන් වුණා. ඕස්ටේ‍්‍රලියාව ඇත්තටම හරිම ලෙංගතු රටක්. කිසිදා අමතක කරන්න බැරි, අමතක වෙන්නෙත් නැති රටක්.

එයා එරට තරුණියක් ද?

ලංකාවෙන් ගිහින් එහේ පුරවැසිභාවය ලබාගෙන සිටින්නෙ. ලංකාවේ ඉපිද - හැදි වැඩුණ ලස්සන හුරු බුහුටි, ඒ වගේම ලස්සනම හිතක් තියෙන කෙනෙක්.

කොහොමද? මේ හුරුබුහුටි කෙල්ල හොයා ගත්තෙ?

මුලින්ම ඇය මගේ හොඳම යෙහෙළියක වුණා. මගේ සිහිනය වන්නේ ටෙලිනාට්‍ය හා සිනමා අධ්‍යක්ෂවරයකු වීමයි. ඒ සිහිනය සැබෑ කර ගන්න ඇය මට විශාල අත්වැලක් වුණා. ඇය මගේ ප‍්‍රථම නිර්මාණයෙහි රඟපෑමට පවා එක් වුණා. විටෙක රස්සාවක් පවා නැතිව අතිශය දුෂ්කර කාලයක් ගත කරද්දි ‘‘පූර්ණි’’ මට දැක් වූ සහයෝගය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්.

තව කොච්චර කාලයක් ලංකාවේ රැඳි සිටිනවද?
ලංකාවේදි උපාධිය හමාර කරන්නත් තියෙනවා. මුතුමලී නාට්‍යයට අමතරව මියුසික් වීඩියෝ සහ චිත‍්‍රපටයකටත් ආරාධනා ලැබුණා. චිත‍්‍රපටයක රඟපෑමට ලැබීම ඇත්තටම ලොකු සතුටක්. ඒ අතර මගේම නිෂ්පාදන ආයතනයක් ස්ථාපිත කිරීමටත් සුදානමින් සිටින්නෙ. ‘‘ටිං ටිං ප‍්‍රඩක්ෂන් හවුස්’’ නමින්.

එදා ටිං ටිංගෙ දෙබස් කීපයක් මතක් කළොත්?

හැම දෙයක්ම හොඳට කළොත් ඔය තියෙන්නෙ ටිං ටිං’’ කිව්වා. ඒක අප්සට් නම් ටිං ටිං ගාලා ඔය වැඬේ කරන්නකෝ කීවා. බොහෝම ප‍්‍රීතිදායක නම්? ටිං ටිං ඩබල් ටිං කිව්වා. එදා නෙහාරම මට කිව්වෙ. බටු ඇටේ වගේ හිටියට ටිං ටිං වගේ වැඩම නේද කරන්නෙ කියලයි.

තුසිත, ඉතා මිල අධික විලාසිතා කරනවා කියන්නෙ?

ඔස්ටේ‍්‍රලියාවට ගියාට පස්සෙ තමයි මම ඒකට හුරු වුණේ.

සමහර විලාසිතා කට්ටලයකට රුපියල් ලක්ෂ තුන, හතරක් වැය කරනවා කියන්නෙ ඇත්තද?

ඇත්තෙන්ම ඔව්

ඇත්තටම ඇයි එහෙම වියදම් කරන්නෙ?

කොහොමටත් මෙහි සිටිය දී මියුසික් විඩියෝවලට පවා නිතර භාවිත කළේ බ‍්‍රෑන්ඞ් ඒවා. මම ගෙනා ඒ රැල්ල පසුව මියුසික් වීඩියෝ හරහා ගලා ගියා. ඒක ඉතිං එතකොට හොඳ දෙයක්. ලෝ ප‍්‍රකට වෙළඳ නාම යටතේ වූ විලාසිතාවලට මම ටිකක් කෑදරයි.

ටිං ටිං වගේ පිස්සු චරිතයක්ද?

ටිං ටිං වුණේ නළුවකු ලෙස විතරයි. එතැනින් එහාට මම සරල සාමාන්‍ය කෙනෙක්. නමුත් මම කවුද කියලා මට සඟවන්න ඕනෑ නැහැ. මගෙන් තව කෙනෙකුට යහපතක් වෙනවා නම්. ඒක තමයි මගේ සතුට. අවංකව අදහස් ප‍්‍රකාශ කරන අවංක කෙනෙක් කියලා කියන්න පුළුවනි.















සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටිං ටිං' ආයෙත් ඇවිත්"

    Post a Comment