22 April, 2017

පිරිමින්ගේ රහසඟ කඩා විරූපී වනතුරු පහරදී මරා දමන විකෘති මානසික තණමල්විල තනියා

Thanamalwila Thaniya

පසුගිය සතියේ තණමල්විල ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී කිසිදා නොඇසූ අමුතුම හැසිරීමක් ඇති දරුණු වන අලියකු පිළිබඳව අපට අසන්නට ලැබිණි.

මෙම අලියාගේ විශේෂත්වය වන්නේ කිසිදු දේපළ හානියක් හෝ වගා හානියක් සිදු නොකිරීමයි. අනෙක් අලින් ගෙවල් ‍ෙදාරවල් කඩා බිඳ දමමින් වගා පාළු කරද්දී ඒ කිසිවක් නොකිරීම සැබැවින්ම "තණමල්විල තනියා" නමින් ප්‍රකට මේ සද්දන්තයාගේ විශේෂත්වයකි. කාන්තාවන්ට හෝ දරුවන්ට පහර නොදීමත් විශේෂත්වයකි.

නමුත් මේ සතාගේ හොඳම විශේෂත්වය වන්නේ පිරිමින් පසුපස පමණක් හඹා ගොස් අල්ලා ගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ රහසඟ කඩා දමා පසුව සිරුර විරූපී වනතුරු දරුණු ලෙස පහරදී මරා දැමීමයි.

තණමල්විල මීගස්වැව ගම්වාසීන් සඳහන් කළේ මෙම අලියා කිසියම් ආකාරයක විකෘති මානසික තත්ත්වයකින් පෙළෙන දරුණු ගණයේ සතකු බවයි.

පසුගිය සමයේ තණමල්විල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක පුද්ගලයෝ රැසක්ම "තණමල්විල තනියාගේ" ගොදුරු බවට පත්වූහ. ඉන් පිරිසක් ඔවුන්ගේ ජනනේන්ද්‍රියද ආරක්ෂා කර ගනිමින් දිවි ගලවා ගත්හ. එහෙත් හැමෝටම ඒ භාග්‍යය හිමි නොවුණි. විකෘති හැසිරීමක් පෙන්නුම් කරන මේ වන අලියා ගත වූ මාසයක පමණ කාලය තුළ පමණක් පිරිමින් හත් දෙනකු මරා දමනු ලැබුවේය.

තණමල්විල තනියා නැකැතට වැඩ ඇල්ලුවේ අලුත් අවුරුදු දිනයේ පැය කීපයක් ඇතුළත තණමල්විල ප්‍රදේශයේ මීගස්වැව සහ නිකවැව යන ගම්මාන දෙකෙහි පුද්ගලයන් පස් දෙනකුට පහර දීමෙනි. ඒ සියලු දෙනා දරු පවුල් නඩත්තු කරන්නා වූ පිරිමින්ය. කෙටියෙන්ම කිවහොත් ගෘහ මූලිකයන්ය. එම පහරදීම්වලින් තිදෙනකු මියගොස් අනෙක් දෙදෙනා බරපතළ ලෙස තුවාල ලැබූහ. මේ අලියාගෙන් පහර කා තුවාල ලබා බේරෙන අය සදාකාලික අබ්බගාතයෝය.

මරා දැමීමට මිනිසුන් සොයමින් අලියා දිවා කාලයේ පවා ගම්මාන අතර සැරිසරමින් සිටියේය. තණමල්විල තනියා නිසා ඒ ගම්වලට අවුරුදු උදා නොවුණි. රතිඤ්ඤා පත්තු නොවුණි. කැවුම් කිරිබත් පිළියෙල නොවුණි. ඒ ගම්මාන හරියටම මළ ගෙවල් බඳු විය.

එහිදී වහා ක්‍රියාත්මක වූ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පිස්සකු මෙන් මිනී මරමින් යන සද්දන්තයා අල්ලා එම ප්‍රදේශයෙහි ජන ජීවිතය සුරක්ෂිත කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සරත් පතිරත්න මහතාට නියෝග කළේය.

ඒ අතරේ ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් කැප් කුවක්කු සහ පතරොම් තුවක්කු කිහිපයක් රැස් කර ගනිමින් අලියා වෙඩි තබා මරා දැමීමට සැලසුම් කළහ. ඔවුන්ගේ අරමුණ වූයේ සතාව මරා දමා උගේ ජනනේන්ද්‍රියද ගලවා දැමීම බව ගම්වැසියෙක් අප හා පැවැසීය.

"තණමල්විල තනියා" මෙතරම් දරුණු වීමට හේතුව උෟ සමඟ එකටම ගැවසුණු පැටවකු බිහිකිරීමට ආසන්නව සිටි ගැබ්බර ඇතින්නක් ප්‍රදේශවාසීන් විසින් නිකරුණේ වෙඩි තබා මරා දැමීමයි. වනජීවී අමාත්‍යවරයාත් මේ කතාව අප සමඟ කීවේය.

අලි වැට නිසි ලෙස නඩත්තු නොකිරීම අලි ගම් වැදීමට හේතුව බව සඳහන් කරමින් ප්‍රදේශවාසීහු වනජීවී නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළහ. විරෝධයක් එල්ල කළහ. ඒ නිසා අලියා ඇල්ලීමට එහි යෑම නිලධාරීහු ප්‍රතික්ෂේප කළහ.

පවතින වතාවරණය හමුවේ ප්‍රකෝප වී සිටින තරුණයන් නිලධාරීන්ට පහර දීමට ඉඩ ඇති බැවින් එම ගම්මානවලට යෑමෙන් වළකින ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාද සිය නිලධාරීන්ට උපදස් ලබා දුන්නේය.
තරුණයන් විසින් වෙඩි තබා මරා දැමීමට පෙර අලියාව අල්ලා ගැනීමත් ගම් වැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් කළ යුතුව තිබූ බැවින් මෙහිදී වනජීවී නිලධාරීන් උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි විය.

මෙහිදී ක්‍රියාත්මක වූ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අලියා අල්ලා ඉවත් කිරීමට මීගස්වැව හා නිකවැව ගම්මානවලට යාමට නියමිතව සිටින වනජීවී නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස් සහ හමුදා ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළේය.

පසුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් අධිකාරිවරයා, තණමල්විල සහකාර පොලිස් අධිකාරිවරයා සහ පොලිස් ස්ථානාධිපතිවරයා, භික්ෂුන් වහන්සේ, ප්‍රදේශය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා, උෟව කලාපය භාර වනජීවී පශු වෛද්‍යවරයා සහ ගම්වාසීන්ගේ නියෝජිතයන් අතර සාකච්ඡා වට කිපයක්ම පැවැත්විණි. එහිදීද ගම්වැසි තරුණයන් කණ්ඩායමක් පොලිස් නිලධාරීන්ගේ මුහුණටම පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය අලියා මරා දැමීමට බවයි. මෙය අලි මිනිස් ගැටුමෙහි උච්චතම සහ උද්වේගකර අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

කෙසේ හෝ අවසානයේදී අලියා අල්ලන මෙහෙයුමෙහි නිරත වන වනජීවී නිලධාරීන්ට ආයුධ සන්නද්ධ පොලිස් ආරක්ෂාව ලබා දීමටත් අලියා සොයා ගැනීමට සිය සහාය ලබාදීමට ගම්වැසියන් ඉදිරිපත් වීමත් නිසා "තණමල්විල තනියා" කොටුකර ගැනීමෙහි මෙහෙයුම ආරම්භ විය.

වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායම් තුනක්, පොලිසිය සහ ගම්වැසියන් අලියා සොයමින් කැලය පීරන්නට විය. මෙහෙයුම ආරම්භ වී දින තුනක් ඉක්ම යද්දීත් තනියා සොයා ගැනීමට නොහැකි වූයේ තමන්ව ඇල්ලීමට පිරිසක් එන බව දැනුණු සතා කැලයේ කට්ටි පනිමින් සැඟවීමට උත්සාහ දැරීම නිසාය.

සිවු වැනි දිනයේදී අතුරු මාර්ගයක ගමන් ගනිමින් සිටි යතුරුපැදිකරුවකුව අල්ලා ගැනීමට ඔහු පසුපස හඹා ඒම නිසා සතා සිටින ඉසව්ව නිශ්චිතව දැන ගැනීමට මෙහෙයුම්කරුවන්ට හැකි විය. අවසානයේදී මීගස්වැව ගම කෙළවරෙහි කැලයක අලි රංචුවක සිටි ඇතින්නකට බැල්ම හෙළමින් සිටි තනියා දුර සිට තැබූ නිර්වින්දන වෙඩි පහරකට ලක්වීමෙන් අනතුරුව වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය. එම පුවත කනවැකුණු සැණින් මීගස්වැව, නිකවැව, සමාධිගම ආදී ගම්වල අලුත් අවුරුද්දට පත්තු නොකළ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රදේශවාසීහු සිය ප්‍රීතිය පළ කළහ. එමෙන්ම ඒ අවට ගම්වලින් පවා බැඳ දමා සිටි චණ්ඩියා බැලීමට වැල නොකැඩී පිරිස් පැමිණියහ. තනියාගේ සිරුරේ ස්ථාන රැසකම වෙඩි පහරවලින් තුවාල වී සුව වී තිබූ කැළැල් දක්නට ලැබුණි. උෟ අඩි 9කට වඩා උසකින් යුත් වයස අවුරුදු 40ක් පමණ වූ සද්දන්තයෙකි. අල්ලා ගන්නා ලද "තණමල්විල තනියා" අනුරාධපුර හොරොව්පතානේ අලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන ගොස් මුදා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කළහ.

තනියා අල්ලා රැගෙන යෑමෙන් අනතුරුව උෟගේ පහර කෑමෙන් සිය සැමියා අහිමි වූ කාන්තාවක් අප සමඟ කතා බහ කරමින් මෙසේ පැවුසවාය.

"මගේ නම එන්. ජී. ප්‍රියංගිකා ලක්මාලි. වයස අවුරුදු 32යි. පදිංචි වෙලා ඉන්නේ මීගස්වැව ගමේ. මහත්තයා ජී. ඇම්. කුසුම්පාල. එයාගේ වයස අවුරුදු 31යි. අපිට ඉන්නේ එක දුවෙක් විතරයි. දුව තණමල්විල විදුහලේ 6 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබනවා. අපේ ගෙදර හිටියේ අපි තුන්දෙනා විතරයි. අපි ගෙවත්තේ එළවළු වගා කළා. මෑ, මුං, තුඹ කරවිල වගේ දේවල්. ඊට අමතරව මහත්තයා සැටලින් වැඩත් කළා. පසුගිය අලුත් අවුරුද්ද දවසේ ඇඳීරි වැටීගෙන එනකොට වත්තේ කඩුල්ල ළඟ සද්දයක් ඇහුණා. බලන කොට තනියා ඇවිල්ලා. එතකොට මහත්තයා රතිඤ්ඤා කරලක් අරගෙන පොඩ්ඩක් ඉස්සරහට ගියා. අඩියට දෙකට ඉස්සරහට පැන්න අලියා එයාව අල්ලා ගෙන වද දීලා මැරුවා. අද එයාගේ හත් දවසේ දානේ පන්සලට ගිහින් දීලයි මේ ආවේ. එදාම තවත් කට්ටියකට මේ අලියම ගහලා තියෙනවා. මට තව දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා. බඩට මාස පහයි. අපි අන්ත අසරණ තත්ත්වයකටයි වැටුණේ."

ඉන් පසුව අප සමඟ අදහස් දැක්වූ තවත් කාන්තාවක් මෙසේ පැවසුවාය.

"මගේ නම චමිලා නිලන්ති. වයස අවුරුදු 36යි. පදිංචිය මීගස්වැව. මගේ මහත්තයාගේ නම කේ. පී. පැරකුම්සිරි. වයස 39යි. අපට දූලා තුන්දෙනයි එක පුතයි. දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මහත්තයා කරපු ගොවිතැන්වලින් තමයි අපි ජීවත් වුණේ. අපි කළේ ගෙවත්තේ රටකජු, මෑ, තල වගේ දේවල් හිටවපු එකයි. දවසක් වත්තයට මේ තනි අලියා ආවා. ඇවිත් මහත්තයාගේ පස්සේ එළවගෙන ගියා. මුලක කකුලා පැටලිලා එයා වැටුණා. අලියා මහත්තයව අල්ලා ගෙන ඉස්සෙල්ලම කළේ පිරිමි ඇඟ (රහසඟ) කඩපු එකයි. පස්සේ අතකුයි කකුළකයි වෙන් වෙන්නම කැඩුවා. බඩ පාගලා බඩවැල් එළියට ඇදලා දැම්මා. දසවද දීලා ඊට පස්සේ ඔළුවට ගහලා මරුවා. මගේ ලොකු දුව බෝදාගම විදුහලේ 8 ශේ්‍රණියේ ඉගෙන ගන්නවා. පොඩිම දරුවා පුතා. එයාගේ වයස අවුරුද්දයි මාස දෙකයි. දැන් අපට කන්න අඳින්න නැහැ. දරුවන්ව ඉස්කෝලෙ යවන්න විදියක් නැහැ. කිරි බොන දරුවෙක්ව තියාගෙන මට කුලී වැඩක්වත් කරන්න බැහැ. අනේ අපට කාගෙවත් පිහිටක් නැහැ"

ගමේ සියලු දෙනා එක හඩින් කියා සිටින්නේ අලියා මරා දැමිය යුතු බවයි. නමුත් තනියාගේ පහර දීමෙන් පියා මිය ගිය එක් දියණියක් අමුතුම කතාවක් කියන්නීය. ඇය බෝදාගම විදුහලේ 8 ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන සඳුනි සඳරේණු දියණියයි. ඇය පැහැපත් ප්‍රසන්න මෙන්ම අහිංසක පෙනුමකින් යුක්ත වූ දැරියකි. මේ දරුවාගේ පියාව තනියා විසින් මරා දමන්නේ ඇයගේ ඇස් ඉදිරිපිටදීය. සඳුනිගෙ පියාව අලියා මරා දමා ඇත්තේ බොහෝ වේලාවක් දරුණු ලෙස වද හිංසා කිරීමෙන් අනතුරුවයි. අලියා අල්ලා ගස් බැඳ තිබූ අවස්ථාවේදී සඳුනි දුවද උෟව බැලීමට පැමිණ සිටියාය. මම ඇයගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවෙමි.

ප්‍ර. - මේ අලියාද පුතේ ඔයාගේ තාත්තාව මැරුවේ?
උ - ඔව්. මේ අලියා තමයි.
ප්‍ර. - තාත්තා දුවට ගොඩක් ආදරෙයිද?
උ. - ඔව්. තාත්තා මට ගොඩක් ආදරෙයි.
මමත් එයාට ගොඩක් ආදරෙයි.

ඇයගේ දෙනෙත්වලින් කඳුළු කැට කඩා වැටුණි. ගම්වැසියන් සියලු දෙනා කියන්නේ අල්ලපු අලියා මරා දැමිය යුතු බවයි. සන්නද්ධ වනජීවී සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව නොවන්නට ඔවුහු එය අනිවාර්යයෙන්ම කරති. මම මේ දුවගෙන් තවත් පැනයක් ඇසුවෙමි.

ප්‍ර.- පුතේ අපි මේ අලියව මරමුද?
උ.- අනේ එපා මාමේ. උෟව ආයෙත් මෙහෙට එන්න බැරි තැනකට ගිහින් දාන්න.

ඇයගේ පිළිතුරෙන් මෙවර මගේ දෙනෙත් තෙත් විය. අපගේ දෙබස් අසා සිටි නොදැමුණු වැඩිහිටියෝ ඇයට තරවටු කිරීමට සැරසුනත් මම ඇයව ඉන් මුදා ගතිමි.

තණමල්විල තනියා සිදු කළ ඝාතන රුල්ල නිසා මේ ගම්වල ඇතිවී තිබෙන සමාජ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දීමට කිසිවකු නැත. ගොවිතැන් කළ ගෘහමූලිකයා මිය ගිය පසු ඔවුන්ට කන්න අඳින්නට දෙන්න කෙනෙක් නැත. දරුවන්ගේ පාසල් අධ්‍යාපනය ඇනහිට ඇත. ඒ දරුවන්ට පිය සෙනෙහස අහිමි වනවා මෙන්ම බිරියට සැමියාගේ සෙනෙහසත් ආරක්ෂාවත් අහිමි වේ. වයසක මවුපියන්ටද දරුවන්ගේ රැකවරණය නැති වේ. නිලධාරීන් තනියාව රැගෙන ගියත් ඒ ප්‍රශ්න රැගෙන යෑමට කිසිවකුට නොහැක. පියා හෝ සැමියා අකාලයේ මිය යෑම නිසා ඇතිවූ පාළුව මෙන්ම පැතිරී ඇති මූසලකම රැගෙන යෑමටද කිසිවකුට නොහැක. (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පිරිමින්ගේ රහසඟ කඩා විරූපී වනතුරු පහරදී මරා දමන විකෘති මානසික තණමල්විල තනියා "

    Post a Comment