24 April, 2017

බළන්ගොඩින් අලුත් දිය ඇල්ලක් මතුවෙයි

new waterfall Balangoda

බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ රක්ෂිතයක වන ලැහැබක මෙතෙක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස නොගැටුණු ඉතාම සුන්දර අඩි සියයක් පමණ උසින් යුතු සැඟවුණු දිය ඇල්ලක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.

සමනල රක්ෂිතයෙන් පෝෂණය වී පහළට ගලා බසින බුදුගේ ඔයේ ගල් පොත්තකින් නිර්මාණය වී ඇති මේ සොඳුරු දිය ඇලි මනාලිය පහළ ඇති කළුගල් වලින් නිර්මාණය වුණු අපූරු ජල තටාකය මතට ගලා බසී.

මේ දිය ඇල්ල සොයාගත් ප්‍රදේශවාසීන් දැක්වූ අදහස්.

ඉමුලපේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති එස්. ඒ. රත්නපාල වලේබොඩ මහතා,
මේ දිය ඇල්ල බළන්ගොඩ මැතිවරණ කොට්ඨාසයට අයත් උතුරු වලේබොඩ හා කට්ටඩිකන්ද ග්‍රාම සේවා වසම් දෙකට අයත් පහළ වලේබොඩ ප්‍රදේශයේ බුදුගේ ඔයෙන් නිර්මාණය වී තිබේ. දිය ඇල්ල මෙතෙක් දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වී නැහැ. මේක අපි අලුතෙන් සොයා ගත් දිය ඇල්ලක්. මේ දිය ඇල්ල බුදුගේ ඔයෙන් ගලා බසින නිසා අපි "බුදුඔය ඇල්ල" ලෙස නමක් යෝජනා කරනවා.

පැණි පංගුව උප තැපැල් ස්ථානාධිපති එස්. ඒ. ජයසේකර මහතා
මේ දිය ඇල්ල අඩි සියයක් පමණ උසින් යුක්තයි. අඩි හැටක් පමණ පළලයි. දිය ඇල්ල පිහිටා තිබෙන ප්‍රදේශයට පහසුවෙන් ගමන් කිරීමට හැකියාවක් තිබේ. සිත් ගන්නාසුලු ආකාරයේ රමණීය දිය ඇල්ලක් කියලා මේ අලුත් දිය ඇල්ල හඳුන්වන්න පුළුවන්. බළන්ගොඩ නගරයේ සිට ගුරුබැවිල හරහා පහළ වලේබොඩ මාර්ගයේ හෝ බළන්ගොඩ සිට සීතගල හරහා පහළ වලේබොඩ මාර්ගයේ කිලෝමීටර් විස්සක් පමණ ගමන් කළ විට මෙම දිය ඇල්ල නැරැඹීමට හැකියාව තිබේ.

වලේබොඩ ධර්මදාස මුණින්කුඹුර මහතා,

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති අනිත් දිය ඇලි බොහෝමයක් නරඹන්න තියෙන්නේ දිය ඇල්ලේ ඉහළ ප්‍රදේශයේ සිටයි. ඒත් මේ දිය ඇල්ලේ විශේෂත්වය තමයි මේක. ඕනෑම සංචාරකයකුට මෙන්ම කුඩා දරුවකුට වුවත් පහසුවෙන් පහළ සිට නැරැඹීමේ හැකියාව තිබෙනවා. මෙතන ඉතා ආරක්ෂිත ස්ථානයක්. මේ දිය ඇල්ල පහළ ඇති කළුගල් වලින් නිර්මාණය වුණු අපූරු ජල තටාකයකට එකතු වෙයි.

ඩබ්ලිව්. වී. ජයසේකර මහතා,
කැන්ද, නා, හොර, රුක්අත්තන, අෑ නෙත් තුරුලතා වලින් පිරි මේ දිය ඇල්ල සමීපය පිහිටි පරිසරයද අතිශයින්ම චමත්කාරය. ගිරාමලිත්තන් කහකුරුල්ලන්, පිළිහුඬුවන්, දඬුලේනුන්, වඳුරන් වැනි වන සතුන් සහ පක්ෂීන් වෙසෙන මේ ප්‍රදේශයේ මේ දිය ඇල්ල නැරැඹීම සඳහා සංචාරකයන්ට ඉඩ පහසුකම් සලසා දෙනමෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රදේශයට සංචාරකයන් පැමිණීමත් සමඟ ප්‍රාදේශීය සභාවට ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබේ. (බළන්ගොඩ - නලින්ද වලේබොඩ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බළන්ගොඩින් අලුත් දිය ඇල්ලක් මතුවෙයි"

    Post a Comment