18 April, 2017

දොස්තර ජෝඩුව ජල ටැංකියට නැග්ගේ පෙම්බස් දොඩන්නද?

Couple at Water tank National Hospital

කොළඹ නගරයේ ජල ටැංකි ගැන කතාබහක් ඇති වූවේ නම් ඒ යුද්ධය පැවැති කාලයේය. එල්ටීටීඊ සංවිධානය කොළඹ නගරය ජල ටැංකිවලට වස දැමීමට තැත් කරන බවට එකල බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබුණි. මේ නිසා ජල ටැංකිවලට මෙන්ම ජල ‍පොම්පාගාරවලට දැඩි ආරක්ෂාවක් යෙදවිනි. සන්නද්ධ භටයන් පමණක් නොව ජල ටැංකි වටා කටු කම්බි වැටවල් ද ගැසුවේ ය.

ජල සම්පාදන මණ්ඩලයේ ජල ටැංකිවලට පමණක් නොව හමුදා කඳවුරු මෙන්ම කොළඹ ජාතික රෝහ‍ලේ ජල ටැංකියට ද එකල දැඩි රැකවල් යෙදා තිබුණේ ය. රෝගීන් මරා දැමීම ජාතයන්තර යුද නීතියට පටහැනි වුවත් ත්‍රස්තවාදී සංවිධානයක් වූ එල්ටීටීඊය එම නීති මායිම් කළේ නැත. එකල බුද්ධි අංශ අනතුරු අඟවා තිබුණේ ප්‍රතිකාර පිණිස ජාතික රෝහලට ඇතුළත් කරන ප්‍රභුවරු රෝහල තුළදී ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊය සැලසුම් කරන බවය.

එම සිද්ධි අනාවරණය වූයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබු ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ජාතික රෝහ‍ලේ හදිසි අනතුරු අංශයට ඇතුළු කළ මොහොතේදීය. මේ නිසා ජාතික රෝහ‍ලේ ආරක්ෂාවද දැඩි කිරීමට පියවර ගැනුණි.

යුද්ධය අවසන් වූ පසු ජාතික රෝහ‍ලේ ආරක්ෂාව ලිහිල් කෙරුණ ද එය මුළුමනින්ම ඉවත් කෙරුණේ නැත. ඒ එය ලංකාවේ ප්‍රධානම රෝහල බැවිනි. වෙනදා මෙන් රෝහ‍ලේ ජල ටැංකියට නොකඩවා ආරක්ෂාව සැපයුනි.
ජාතික රෝහල් පරිශ්‍රයේ අඩි 140 ක් උස කුලුනු දෙකකට මැදිව මෙම වතුර ටැංකිය පිහිටා තිබේ. එයට නැගීමට ඇත්තේ පඩි පෙළෙකිනි. එම පඩි ද ඇත්තේ එකක් හැර එකකි. එම පඩි පිහිටා ඇත්තේද එකක් හැර එකකි. එහි නගින බහින පුද්ගලයින් ඉතා කල්පනාකාරීව මනාසංයමයකින් එය කළ යුතුය.

වතුර ටැංකියේ ධාරිතාව ඝණ අඩි 125000 කි. වතුර ගැලුම් 100000 ක් එහි රැඳවීය හැකිය. කොළඹ ජාතික රෝහ‍ලේ නේවාසික රෝගීන් 3500ගේ හා රෝහ‍ලේ සනීපාරක්ෂක කටයුතු ශල්‍යාගාර, ශල්‍ය උපකරණවල පිරිසිදුකම මනාව පවත්වා ගැනීමට ද භාවිත කරන්නේ උපයෝගී කරගන්නේ මෙම වතුරටැංකියේ රැස්කර තිබෙන වතුර ය.

දිනය ඉකුත් සෙනසුරාදාය. (08) වේලාව රාත්‍රී 10.50ට පමණ ඇත. වතුර ටැංකිය අසලට යුවළක් පැමිණියහ. එහි ආරක්ෂක නිලධාරියාගෙන් යුවළ ඉල්ලුවේ තමන්ට වතුර ටැංකිය වෙත යාමටය. එහෙත් ආරක්ෂක නිලධාරියා එයට අවසර දීමට නොහැකි බව පවසා තිබේ.

තමන් ජාතික රෝහ‍ලේ සේවය වෛද්‍ය යුවළක් බව පවසා ඇති ඔවුහු ආරක්ෂක නිලධාරියාගේ අණ නොතකා ටැංකියට නැගීමට උත්සහ ගෙන තිබේ.

ඔවුහු වතුර ටැංකිය වෙත ළඟාවීමට තිබෙන පඩි කිහිපයක්ම නැග්හ. වහාම ක්‍රියාත්මක වු ආරක්ෂක නිලධාරියා මේ බව මරදාන ‍පොලීසියට දුරකථනයෙන් දැනුම් දුන්නේය. ‍පොලීසියෙන් පැමිණ මේ යුවළ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.

එහිදී එම යුවළ සඳහන් කර ඇත්තේ තමන් ආසාවට ජලටැංකියට නැගීමට උත්සහ කළ බවත් නුදුරෙදී තමන් විවාහ වීමට බලා‍පොරොත්තුවෙන් සිටින බවය.

‍පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළී වී ඇත්තේ වෛද්‍යවරියට වතුර ටැංකියට නැගීමේ යෝජනාව කර ඇත්තේ වෛද්‍ය පෙම්වතා බව ය.එම වෛද්‍යවරයා ශල්‍ය වෛද්‍යවරයෙකි. වයස අවුරුදු 33 ක තරුණ වෛද්‍යවරයෙක් වන ඔහු නුගේගොඩ හන්දියේ පදිංචිකරුවෙකි. නොබෝ දිනකින් විශේෂ වෛද්‍ය පුහුණුූව ලැබිමට නියමිත ය.වෛද්‍යවරිය හදිසි අනතුරු අංශයේ සේවය කරන වෛද්‍යවරියකි. නුවර උපන් ඇය වෛද්‍ය පීඨයට ඇතුළත් වූයේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම දෙවන ස්ථානය ලබාගනිමිනි.

වෛද්‍ය සේවයේ යෙදී සිටියදීම ඔහු හා ඇය පෙමින් බැඳුනහ. ඔවුන් දෙන්නා ‍පොලීසියට ප්‍රකාශ කරන ආකාරයට අඩි 140 ක් උස වතුර ටැංකියට නැග ඇත්තේ පෙම් බස් දොඩන්නටය. එහෙත් ‍පොලීසිය ඔවුන් කියන කතාව එක් එල්‍ලේම පිළීගැනීමට සූදානමක් නැත.

‍පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් කටයුතු දිගමට සොයා බලමින් සිටියි. මේ යුවළ ජල ටැංකියට වස දැමීමට දැරූ උත්සහයක් ද එසේ නොමැතිනම් සියදිවි නසාගැනීමට දැරූ උත්සහයක් ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වතී.

මේ සිද්ධිය ගැන අප කළ විමසුමකදී කොළඹ ජාතික රෝහ‍ලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා සඳහන් කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියෙන් රෝහල වෙත එවන වාර්තාව සලකා බලා වෛද්‍ය යුවළ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයන් ගන්නා බවකි.

ශ්‍රියානි විජේසිංහ (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දොස්තර ජෝඩුව ජල ටැංකියට නැග්ගේ පෙම්බස් දොඩන්නද?"

    Post a Comment