06 March, 2017

රොක් ගීයෙන් උපන් දඟකාරී

stephanie-rose-bongiovi

ඒ දුරකතන ඇමැතුම එද්දී ඔහු සිටියේ තද නින්දේය. රොක් සංගීත ලොවේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකාවේ බොන් ජොවීගේ නිදි යහන අද්දර තිබූ දුරකතනය නාද වූයේ හරියටම අලුයම 2.00ටය.

එය ඕනෑම තාත්තා කෙනකුගේ සිත කම්පනයෙන් තැති ගන්වන සුලු ඇමතුමකි. දුරකතනයෙන් එහා කොනින් බොන් ජොවීට ඇසුණේ ඔහුගේ දියණිය ස්ටෙෆානීගේ හඬය.

හැඬූ කඳුළින් යුතුව ඇය සිය පියාට දුරකතන ඇමතුම දුන්නේ රෝහලේ සිටය.

‘මට කරදරයක් නෑ..‘ පළමුව ඇය පියාට එසේ කීවාය. දෙවැනුව හඬා වැටෙන්නට වූවාය.

බටහිර රොක් ගීත කලාවේ අසහාය ගායකයා ලෙස දශක ගණනක් පුරා රසික රසිකාවියන්ගේ ආදරය දිනා සිටින බොන් ජොවී වෙතින් නිදි දෙව්දුව පලා ගියේ එසැනින්මය.

‘තාත්තා කෙනෙක් හැටියට ඒක තමයි මගේ ජීවිතයේ වඩාත් නරකම අත්දැකීම...‘ පසුකලෙක බොන් ජොවී එසේ කීවේය.

මීට වසර 4කට පෙර බොන් ජොවීට මුහුණපෑමට සිදුවූ මේ අමිහිරි සිද්ධිය යළි කරළියට පැමිණියේ ඊයේ පෙරේදා ලාස් වේගාස් නුවර පැවැති සංගීත ප්‍රසංගයක දී ඔහු ගීතයක් ගයමින් සිටියදී දියණිය ස්ටෙෆානි වේදිකාවට නැඟ ඔහු සමග නර්තනයේ යෙදීම අන්තර්ජාලය පුරා පැතිරීයාමත් සමගය.

ඒ මොහොතේ ඔහු වේදිකාවේ ගයමින් සිටියේ ඔහුගේ අතිශය ජනප්‍රිය ‘I'VE GOT THE GIRL‘ ගීතයයි. එය ඔහු විසින් සිය දියණිය අරභයා ලියනු ලැබුවේ මීට අවුරුදු 16කට පෙරදීය. ඒ වෙද්දී බොන් ජොවීගේ ආදරණීය දියණිය ස්ටෙෆානී අවුරුදු 7ක දැරියකි.

දියණිය ස්ටෙෆානී වේදිකාවට ගොඩවූයේ ‘හැම තාත්තා කෙනෙකුගේම ජීවිතයට පුංචි කෙල්ලෙක් ලැබීම ආශිර්වාදයක්...‘ 55 හැවිරිදි බොන් ජොවී එසේ දියණිය අරභයා තම හදවතේ උපන් අපරිමිත සෙනෙහස ගීතයකට පෙරලමින් සත්සර නාදයෙන් රසික ජනතාව කුල්මත් කරමින් සිටියදීය. එය බොන් ජොවීට පවා අනපේක්ෂිත සිදුවීමකි. එසේ වුවත් දියණිය වේදිකාවට ගොඩවී නර්තනයේ යෙදීමට එක්වීමෙන් ඔහු ලැබුවේ පුදුමාකාර සතුටකි.

එම සිදුවීමෙන් පසුව ඔහුගේ මතකය දිව ගියේ මේ ලිපියේ ආරම්භයේදී සටහන් කළ පරිදි ඊට අවුරුදු 4කට පෙර එක්තරා දිනෙක දියණිගෙන් ලද දුරකතන ඇමතුම වෙතය.

එකල හැමිල්ටන් විශ්ව විද්‍යාලයේ නේවාසිකව ඉගෙනුම ලබමින් සිටි 19 හැවිරිදි ස්ටෙෆානී අධික ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කොට සයනය මත වැටී සිටින බව පොලීසියට දැන්වූයේ ඇගේ කාමරය බෙදා හදාගත් සමිපතම යෙහෙළියකි. අනතුරුව නේවාසිකාගාරයේ පාලිකාව ඇතුළු පිරිස ස්ටෙෆානී වහා රෝහල් ගත කිරීමට කටයුතු කොට තිබිණි.

රෝහල් ඇඳක ජීවිතයත්, මරණයත් අතර සටනක නිරතව සිටි
ස්ටෙෆානී සිය ආදරණීය පියාට දුරකතන ඇමතුම දුන්නේ ඒ මොහොතේදීය. හඬා වැටීම හැර වෙනත් දෙයක් ඔහුට පැවැසීමට තරම් මානසිකත්වයක ඇය සිටියේ නැත. දුරකතන ඇමතුම ලැබුණු විගස බොන් ජොවී රෝහල කරා දිව ගියේය.

දැන් 23 හැවිරිදි වියෙහි පසුවන ස්ටෙෆානී පෙර කී සිදුවීම එහෙම පිටින්ම අමතක කළේ මීට සෑහෙන කාලයකට පෙරය. එසේ වුවත් බොන් ජොවීට නම් එම සිදුවීම ජීවිත කාලයටම අමතක කළ හැකි එකක් නොවන බව ඔහු තවමත් කියයි.

බොන් ජොවීගේ සහ බිරිය ඩොහොර්තියාගේ වැඩිමල් දියණිය ලෙස උපන් ස්ටෙෆානී කුඩා වියේ සිටම නිදහස අපරිමිතව භුක්ති විඳීමට වාසනාව ලැබූ යුවතියක වූවාය. ඇගේ කුඩා විය ගෙවී ගියේ මාපිය සෙවණේ වූවත් උසස් අධ්‍යාපනය ලැබීමට හැමිල්ටන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව නේවාසික ජීවිතයට පුරුදුවීමෙන් පසුව ඇය ගත කළේ ස්වාධීන දිවි පෙවෙතකි.

ඊට උඩගෙඩි දුන් මිතුරියන් පිරිසක් ද ඇය වටා සිටියහ. ඔවුන් ඉඳහිට මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුව සිටියත් ඊට වඩාත් බරපතල ලෙස ඇබ්බැහි වූයේ ස්ටෙෆානීය. ඇය හෙරොයින් පමණක් නොව මරිජුවනාවලට ද දැඩි ලෙස ඇබ්බැහි වූවාය. එකළ රාත්‍රී සමාජශාලාවල නිතර නිතර දකින්නට ලැබුණු දඟකාර තරුණියක වූ ස්ටෙෆානී සිය කෙළිලොල් ජීවිතය නිසාම පෙම්වතුන් දුසිමක් පමණ ඇසුරු කිරීමටත් පෙළැඹී සිටියාය. එහෙත් කිසිදිනෙක ඇයට දිගු කාලීන පෙම්වතකු නම් සිටියේ නැත.

නව යොවුන් වියෙහි පසුවූ යුවතියක ලෙස ස්ටෙෆානී ගත කළ නිදහස් ජීවිතය බොන් ජොවීගේ සහ බිරියගේ අවධානයට යොමු නොවීමේ ප්‍රතිඵලය දෑස් ඉදිරිපිටම දකින්නට ලැබීම තාත්තා කෙනකු හැටියට තම ජීවිතයේ වඩාත්ම කණගාටුදායක සිදුවීම බැව් බොන් ජොවී පවසයි. එසේ වුවත් මේ සියලු කාරණා තමාගේ වරදින් සිදුවූ බව ස්ටෙෆානී මෑතකදී සිය ට්විටර් පිටුවේ සඳහන් කළාය. අතීතය පිළිබඳ පසුතැවිල්ලට පත් මේ තරුණිය පියාගේ ආදරය නිසාම නැවත ජීවිතය ලැබූ බවත් කියා සිටින්නීය.

පියා හැටියට බොන් ජොවී දැන් සිය දියණියගේ සියලු අවශ්‍යතා සොයබැලීමේ වගකීම අකුරටම ඉටු කරමින් සිටින්නේ දියණිය මෙලෙස හිතුවක්කාර දිවි පෙවෙතක් ගත කිරීමෙන් පත්වූ මානසික ව්‍යාකූලත්වය අත්විඳීමෙන් පසුවය.

ඔහු දැන් දියණියට හැම අතින්ම හොඳ තාත්තා කෙනකු වීමට පොරොන්දු වී සිටි. ඔහුට ස්ටෙෆානී හැරුණු විට තවත් පුතුන් තිදෙනකු ද සිටි. ජෙසී, ජේකොබ් සහ රෝමියෝ පුතුන්ට දියණියට අත්වූ ඉරණම අත්කර දීමට ඔහු සූදානම් නැත. අනිත් අතට දියණියගේ ජීවිතය විනාශ වීමෙන් සිය කීර්ති නාමයට සිදුවූ කැළල ගැන බොන් ජොවීට කිසිදු තැකීමක් නම් නොමැත. ඔහුගේ එකම කනස්සල්ලට හේතුවී ඇත්තේ දියණිය තනි කිරීමෙන් ඇයට සිදුවූ කැළල අකා මකා දමා ඇගේ අනාගතය සාර්ථක එකක් කිරීමය.

-ෆවුස් මොහොමඩ් - dinamina 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රොක් ගීයෙන් උපන් දඟකාරී"

    Post a Comment