16 March, 2017

තිරපිටපතක් ලියද්දි මාකටින් ගැන හිතන්නේ නැහැ

Lalith Rohitha Edirisinghe-2017-03-16

ඔබේ පිටපතකට අනුව අධ්‍යක්ෂණය කෙරුණ බෝධි ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ළමා නාට්‍ය මාකට් කරන්න පුළුවන් කාලෙක මාකට් කරන්න පුළුවන් වැඩක් ලැබුණා කියලා හිතනවද?

එහෙම අදහසක් මට තිබුණේ නැහැ. සිරස ආයතනයට මායා ටෙලි නාට්‍යයක් අවශ්‍ය වෙලා තිබුණා. දරුවන්ව කාර්ඩ්බෝඩ් වීරයන් නොකර ළමාකමත් එක්කම යන මායා ටෙලි නාට්‍යයක් නිර්මාණය වුණා. ඒ අයට මාකටින් අදහසක් තිබුණද කියලා මම දන්නෙ නැහැ.

දැන් කාලේ ළමා නාට්‍යවලට මාකට් එකක් තියෙනවාද?

ළමා නාට්‍යවලට හොඳ මාකට් එකක් තියෙනවා. නමුත් අදටත් ලංකාවේ ළමා නාට්‍යවල හිඩැසක් තියෙන බව කිව යුතුයි. තවමත් ළමයා ඉස්මතු වන නාට්‍ය ලංකාවේ නැහැ. ළමයා පණ්ඩිත කෙනෙක් කරලා බොරු වීරයෙක් කරනවා. ඉන්දියානු ටෙලි නාට්‍යවල අම්මාගේ තාත්තාගේ ප්‍රශ්න පවා විසඳන්නේ දරුවන්. ඒක ළමාකමට ගැළපෙන්නේ නැහැ.

බෝධි නාට්‍යයට මායාකාරී දර්ශන, අද්භූත දේවල් සහ හාස්‍ය යෙදුවේ දරුවන්ව ආකර්ෂණය කරගන්නද?

ඔව්. ආකර්ෂණයක් බලාපොරොත්තු වුණා. අපිත් අපේ ළමා කාලයේ එවැනි දේවල්වලට කැමැත්තෙන් හිටියා. නමුත් මම ලියන තැනදී මාකටින් ගැන හිතන්නේ නැහැ. මට ඕන වුණේ දරුවාට දැනුමත් සමඟ විනෝදයක් දෙන්න. ඇත්තටම මෙතැන විකුණන්න දෙයක් නැහැ.

නාට්‍ය නිර්මාණය කළේ ලොකු පොඩි කාටත් ගැළපෙන විදියටද?

මේ නාට්‍ය ලොකු පොඩි කාටත් ගැළපෙනවා. සමහර විට පොඩි අයට බර වැඩිද කියලත් හිතෙනවා. මායා දර්ශනය සහ සමහර මම එකතු කරගත් දැනුම දරුවන්ට ගැළපෙන්නේ නැහැ වගේ. සමහර විට භාෂාව පවා දරුවාට ගැළපෙන තරම් සරල නැහැ. මම පුළුවන් තරම් සරලව කතාව කියන්න උත්සාහ කරනවා.

ළමා නාට්‍ය කියලා සමහරු මවාපෑම් කරනවා. මේකත් මායාවක්ද?

මායාව මුසු වුණත් මෙහි සත්‍ය සහ අධ්‍යාපනය තියෙනවා. විශ්වය හා මායාව සම්බන්ධව පොත් හුඟාක් මම කියෙව්වා. ඒ ඇසුරින් පවා මම මේ පිටපතට කරුණු එකතු කළා. මම එකතු කරගත් දැනුමෙන් පිටපත ලිව්වේ. මේ ටෙලි නාට්‍ය තුළ මායාව කියන බොරුව විතරක් නොවෙයි තියෙන්නේ.

මේ නිර්මාණය සාර්ථකයි කියලා හිතනවද?

මම එහෙම හිතනවා.

ටෙලිනාට්‍ය සාර්ථක වුණේ අධ්‍යක්ෂකගේ දක්ෂතාව නිසාද, පිටපත නිසාද?

ටෙලි නාට්‍යයක් සාර්ථක වෙන්නේ පිටපත නිසයි. නමුත් වෙනත් රටවල නම් පිටපත නැතත් නාට්‍ය අධ්‍යක්ෂණය කරනවා. අපේ රටේ එවැනි දක්ෂ අය අඩුයි. නමුත් බෝධි හි අධ්‍යක්ෂ සංජය නිර්මාල් එක්ක
එකතුවෙලා පිටපතට සාධාරණයක් වෙන ලෙස මෙම නාට්‍ය රූගත කිරීම පහසුයි. ඔහුට හොඳ දැනුමක් තියෙනවා. ඔහු කතා බහ කරලා වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක්.

මේ කතාව හැදෙන්නේ අනෙක් ළමා ටෙලි නාට්‍යවලට පහර එල්ල කරන්නද?

නැහැ. කිසිසේත්ම නැහැ. ළමා මනස ගැන නාට්‍ය කරන්න කිව්වාම මේ මායා කතාව ලියන්න කැමති වුණෙත් ඒ නිසයි. මට වෙනසක් ඕන වුණා. මගේ ළමා කාලයෙත් මම මායාකාරියකට කැමැත්තෙන් හිටියා. ඒ කාලේ පොත් කඩේක තිබ්බ බිසෝ පැන්න පර්වතයේ අබිරහස කියලා පොතක් කියවන්න ආසාවෙන් හිටියා. මම මගේ ළමා කාලයෙන් තමයි මේ කතාව ලිව්වේ. ඒක පහරක් එල්ල කිරීමක් නොවෙයි.

අලුත් නිර්මාණ කරන්න බැරි තරමටම නිර්මාණකරුවන් රැල්ලට යනවා නේද?

එහෙම දෙයක් තියෙනවා. ඒක ඇත්ත. එක ටෙලි නාට්‍යයක නයෙක් හිටියොත් එතැනින් පස්සේ එන හැම ටෙලි නාට්‍යයකම නයි ඉන්නවා. එක යුගයක රාජ්‍ය නාළිකාවල හොඳ ටෙලි නාට්‍ය පෙන්නුවා. නමුත් අද ඒ අයත් රැල්ලට යනවා. ඉතින් රැල්ලෙන් මිදෙන්නට බැරි තරමට අපි රැල්ලට අනුගත වෙලා.

ළමා නාට්‍ය තුළින් නියම ළමයා ඉස්මතු වෙනවා කියලා විශ්වාස කරනවද?

අපිට නියම ළමයකුගේ ලක්ෂණ ඇතිව නාට්‍යයක් කළත් අපේ වැඩිහිටියන් ඒකට එකඟ නෑ. එයාලාට එයාලගේ ළමා කාලේ මතක නෑ. ඒ නිසා එයාලා පිටපත සංස්කරණය කරනවා. දැන් නම් වාණිජකරණයත් සමඟ ඒ සිද්ධවෙන දේවල් නිසා මේ කලාවත් එපා වෙලා.

බෝධි වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ සෑහීමකට පත් වෙනවද?

බෝධි ගැන සෑහීමකට පත්වෙනවා. පරිගණක සජීවීකරණය අති විශිෂ්ටයි. නමුත් ඒ ටෙලි නාට්‍ය විකාශය වන වෙලාව 5.30 නිසා ඒ වෙලාවට හුඟාක් අයට ටෙලි නාට්‍ය බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා හිතපු තරම් ප්‍රතිචාර නැහැ. මේ ටෙලි නාට්‍ය හැරවුම් ලක්ෂ්‍යක් වුණේ නැහැ.

මේ ටෙලි නාට්‍යයත් මුල, මැද, අග ගැළපෙන්නේ නැති ටෙලි නාට්‍යයක් වෙයිද?

මගේ නිර්මාණවලට එහෙම වෙන්නේ නැහැ. හුඟාක් අය එවැනි දේ කරනවා. මම කියන්නේ පාර අතුගෑවත් ඒක හරියට කරන්න ඕනේ. බොරුව වැඩක් නැහැ. මම ලේඛන කලාව තුළ පරිණත වුණා. ඒ නිසා අවංකව නිර්මාණකරණයේ යෙදෙන්න මට පුළුවන්. මම කිසිම දෙයක් මාකට් කරන්නේ නැහැ.

ඉදිරි වැඩකටයුතු මොනවද?

දරණගමනය ටෙලි නාට්‍යයේ වැඩකටයුතු අවසන් වුණා. මාර්තු 20න් පසුව මනුසත් විමන ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ වෙනවා. සෝලි නමින් ටෙලි නාට්‍යයක පිටපත ලිවීමට අදහස් කරගෙන ඉන්නවා. දෙවස්මිතා, සමාකරනු මැන, කඳුළු කියන ටෙලි නාට්‍ය තුනේම පිටපත් ලියලා අවසානයි. පාට පිහාටු, දුර්ග තරණය, දංතුරියා ටෙලි නාට්‍ය රූගත කර අවසන් වුණා. ඒ ටෙලි නාට්‍ය තුන විකාශය වීමට නියමිතයි.

-හංසි ආටිගල_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "තිරපිටපතක් ලියද්දි මාකටින් ගැන හිතන්නේ නැහැ"

    Post a Comment