02 February, 2017

“28” රිදී තිරයට ගෙනාවේ ලිංගිකත්වය කුණුහරුපයක් නොවන බව කියන්නයි

film28

සිංහල සිනමාවට එක්වන නවතම චිත්‍රපටය වන්නේ “28”ය. “සංකාරා” සහ “කර්ම” යන චිත්‍රපට රිදී තිරයට ගෙනා ප්‍රසන්න ජයකොඩිගේ තෙවැනි සිනමා නිර්මාණය වන “28” මෙම මස ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය.

“සංකාරා” සහ කර්ම” යන චිත්‍රපටවලින් අනතුරුව ඔබ යළිත් සිනමාවට එන්නේ මොන විදිහේ කතා තේමාවක් අරගෙනද?

කතාවක් විදිහට ගත්තොත්, විවාහවෙලා මාස 3කින් තමන්ව හැර යන බිරිඳ, අවුරුදු 15කට පසුව මිය ගිය බව ආරංචි වන සැමියෙක් ඇගේ මිනිය නැවත ගමට රැගෙන යන ආකාරයයි “28” සිනමාපටයෙන් නිරූපණය වන්නේ. දුක, සතුට වැනි හැඟීම් මධ්‍යයේ යන ඒ ගමන තුළ විශාල සමාජ අර්බුදයක් පිළිබඳ හෙළිදරව්වකුත් සිදුවෙනවා.

මොකක්ද ඔය කියන අර්බුදය?

ලිංගිකත්වය කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට අවශ්‍ය, අතිශය ස්වාභාවික දෙයක්නේ. නමුත් අදවන විට අපේ සමාජය තුළ ලිංගිකත්වය කුණුහරුපයක් බවට පත්වෙලයි තියෙන්නේ. ඊට හේතුව තමයි අපේ මූලික අවශ්‍යතාවන් යට කරගෙන සංස්කෘතික සදාචාරයන් ඉදිරියට පැමිණීම. නමුත් එයින් අපේ සමාජයේ පිටතින් නොපෙනෙන සහ ඇතුළතින් පුපුරා යන ආතතියක් ඇති වී තිබෙනවා.

මේ නිසා නීත්‍යනුකූල සැමියා සහ බිරිඳ අතර ඇතිවන අතිශය පෞද්ගලික හැසිරීම් පවා සදාචාරය මත පිහිටා සිදුකරන්න අපේ සමාජය හුරු වී තිබෙනවා. ඔය කියන මූලික අවශ්‍යතාව ඉටු කරගැනීමට යාමේදී තමයි පිරිමියකු අතින් දූෂණය වෙලා ගැහැනියකට මැරුම්කෑමට සිදුවන්නේත්. මේ සමාජ අර්බුදය තේමා කරගෙන ලිංගිකත්වය කියන්නේ කුණුහරුපයක් නොවෙයි කියන කාරණය සමාජගත කිරීමටයි මම “28” සිනමාපටයෙන් උත්සාහ දරන්නේ.

ඔබේ සිනමාපට සාමාන්‍ය ‍පොදු ප්‍රේක්ෂකයාට ගෝචර නොවන බවට අදහසක් ඇතැමුන් තුළ තිබෙනවා. එවැනි වාතාවරණයක් තුළ ඔය කියන පණිවුඩය ඔබ සමාජගත කරන්නේ කොහොමද?

මම හිතන්නේ නැහැ මේ චිත්‍රපටයේදී නම් ප්‍රේක්ෂකයන්ට එවැනි ගැටලුවක් මතුවේවි කියලා. මොකද ඕනෑම වැඩිහිටි ප්‍රේක්ෂකයකුට තමන්ගේ අවබෝධයට අනුව රසවිඳිය හැකි ආකාරයටයි “28” නිර්මාණය කරලා තියෙන්නේ.

මොකද මේ චිත්‍රපටය දෙස පැති 3කින් බලන්න පුළුවන්. එකක් තමයි විවිධාකාර සිදුවීම්වලට මුහුණදෙමින් මිනී පෙට්ටිය ගමට රැගෙන යන මිනිසුන්ගේ කතාන්දරය. දෙවැන්න තමයි මියගිය තැනැත්තිය තමන් මුහුණදුන් සිදුවීම් පිළිබඳ කරන හෙළිදරව්ව. මානව වර්ගයාගේ පැවැත්මට ලිංගිකත්වය අත්‍යවශ්‍යයි කියන කාරණය තමයි තෙවැන්න. ඒ නිසා තමන්ට ගැළපෙන කෝණයකින් මේ චිත්‍රපටය ඕනෑම කෙනෙකුට රසවිඳින්න පුළුවන්.

film28-1

ලිංගිකත්වය ගැන වැඩිපුර කතාකරද්දී ඇතැමෙකුට හිතෙන්න පුළුවන් මෙය ලිංගික දර්ශන සුලබ චිත්‍රපටයක්ද කියලා?

කොහෙත්ම නෑ. සමාජය තුළ තිබෙන ලිංගික අර්බුදය ගැන කතා කළත් මෙය වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක් නොවෙයි. මෙහි ලිංගික දර්ශන කිසිවක් ඇතුළත් වී නැහැ.

ඔබ මේ වන විටත් මෙම චිත්‍රපටය අන්තර් ජාතික චිත්‍රපට උළෙලවල් වෙත ගෙනගොස් තිබෙනවා. “28” කියන්නේ ජාත්‍යන්තර සම්මාන ඉලක්ක කරගෙන නිපදවූ චිත්‍රපටයක්ද?

රොටර්ඩෑම් චිත්‍රපට උළෙ‍ලේදී හොඳම ආසියාතික චිත්‍රපටය බවට පත්වීම ඇතුළු ජාත්‍යන්තර ඇගැයීම් කිහිපයක්ම මේ වන විටත් “28” සඳහා දැනටමත් ලැබි තිබෙනවා තමයි. නමුත් මෙය කිසිසේත්ම ජාත්‍යන්තරය දිහා බලාගෙන හදපු චිත්‍රපටයක් නමෛයි. මෙය අපේ රටේ සමාජ අර්බුදයක් ගැන කියැවෙන, ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන්ම නිර්මාණය කළ චිත්‍රපටයක්.

චිත්‍රපටයේ සියලු කටයුතු නිම කරලා ඔබට සෑහෙන කාලයක් බලාගෙන ඉන්නත් සිදුවුණා නේද?

ඒ ගැන නම් ලොකු කළකිරීමක් තියෙනවා. මොකද මට මේ චිත්‍රපටයේ ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලබාගන්න අවුරුදු 4ක් බලා ඉන්න සිදුවුණා. මීට පෙර ඛිජ්ඹ් මණ්ඩලයේ ප්‍රදර්ශනය සඳහා දින පවා ලැබි තිබුණත් ඒ කා‍ලේ තිබුණු රජ කතා රැල්ල නිසා මගේ චිත්‍රපටය පසුපසට ගියා. කොයි විදියෙන් හෝ මුදලක් හොයාගෙන චිත්‍රපටයක් නිර්මාණය කළත්, එය ප්‍රදර්ශනය කිරීම සඳහා වසර ගණනාවක් බලා ඉන්නට සිදුවීම විශාල අර්බුදයක්.

මොන විදියේ පදනමක් මතද ඔබේ චිත්‍රපටය ප්‍රමාද කළේ?

ඒ වෙනුවට මුදා හැරපු අනෙක් චිත්‍රපටවල තිබුණු ගුණාත්මක බව, ප්‍රේක්ෂක ආකර්ෂණය හෝ මොනයම් කාරණයක් මත මගේ චිත්‍රපටය පස්සට ගියාද කියන එක පැහැදිලි නැහැ. මොකද ඒ සමහර චිත්‍රපට තිබුණා මාසයක්වත් නොදුවපු අනෙක මගේ චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණය නොලැබෙන විදිහේ එකක් නොවෙයි. චිත්‍රපට සංස්ථාව යටතේ ඇති මණ්ඩලවල හැරුණු විට අනෙක් මණ්ඩලවල තිරගත කරන චිත්‍රපට සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතියි පෞද්ගලික අංශයට තිබිමයි මෙහි ගැටලුව.

මේ දේවල් නියාමනය කිරීමේ පූර්ණ බලතල චිත්‍රපට සංස්ථාව සතුව තිබුණා නම් අප වැනි සිනමාකරුවන්ට මෙවැනි නීරස අත්දැකීම්වලට මුහුණදීමට සිදුවෙන්නේ නැහැ.

“28” ප්‍රදර්ශනය කරන්නේ ඩිජිටල් සිනමාවක් තුළ පමණයි කියලයි ඔබ මීට පෙර කිව්වේ. දැන් ඒ ස්ථාවරය වෙනස් වෙලාද?

පිටපත් මුද්‍රණය කිරීම තුළ අති විශාල වියදමක් දැරීමට සිදුවන නිසයි මම එවැනි ස්ථාවරයක හිටියේ. නමුත් ප්‍රදර්ශනය සඳහා කල්ගත වීම නිසා පිටපත් මුද්‍රණය කිරීමට පවා අප සූදානම් වුණා. කොහොම වුණත් එක් පිටපතක් හැරුණු විට ඩිජිටල් මාධ්‍යයෙන් තමයි චිත්‍රපටය පෙන්වන්නේ.

චිත්‍රපටයක් සඳහා මුදල් වැය කිරීමට කැමති නිෂ්පාදකවරයෙකු සොයා ගැනීමත් අද අධ්‍යක්ෂවරයෙකුට එක්තරා අභියෝගයක්. ඒ අභියෝගය ඔබ ජය ගන්නේ මොන විදිහටද?

“කර්ම” චිත්‍රපටයෙන් පස්සේ මට ඒ සඳහා ගත් ණය ගෙවන්න සිදුවෙලා තිබුණා. තවත් චිත්‍රපටයක් සඳහා මුදල් වැය කිරීමේ හැකියාවක් මගේ ආයතනයටත් ඒ අවස්ථාවේ තිබුණේ නැහැ. මගේ චිත්‍රපටය මේ තරම් ලාබ උපයනවා හෝ මේ තරම් සාර්ථක වෙනවා කියලා තවත් නිෂ්පාදකවරයකුට ‍පොරොන්දු දෙන්නත් මට බැහැ. ඒ නිසා මා සමග එකට වැඩ කරන කණ්ඩායමේ සාමූහික දායකත්වය සහ කැපවීමෙන් 28 චිත්‍රපටය සිනමාවට ගේන්න අපි තීරණය කළා. ඒ අනුව අපේ කණ්ඩායමේම 15 දෙනෙකුගේ නිෂ්පාදන දායකත්වයෙන් තමයි “28” එළියට ආවේ.



-කිෂාන් කනංකෙ-lakbima

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“28” රිදී තිරයට ගෙනාවේ ලිංගිකත්වය කුණුහරුපයක් නොවන බව කියන්නයි"

    Post a Comment