24 February, 2017

‘එකගෙයි මිනිස්සු’ ජගදීෂ්ට ‍මම අනුකම්පා කරනවා!

මේ දවස්වල සාර්ථක ලෙසින් තිරගතවන ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ වලගම්බා රජුගේ චරිතය ඉතා සුසිනිඳු රංගන ශෛලියක් අනුගමනය කරමින් අතිශය සාර්ථක ලෙස රඟන ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශනය වන එකගෙයි මිනිස්සු ටෙලි නාට්‍යය මගින් ඉදිරිපත් කරන්නේ ඊට ඉඳුරාම වෙනස් රංගන ශෛලියක් ඉතින් ලක්බිම ඔන්ලයින් අදහස් කළා උද්දිකගෙන් ඒ ගැන දැනගන්න.

‘එකගෙයි මිනිස්සු’ ටෙලි නාට්‍යයේ ඔබ රඟපාන ජගදීෂ් නම් ‘කළු සුද්දා’ගේ චරිතය ගැන මොකද හිතන්නේ?

නූතන සමාජ ආර්ථිකය විසින් නිර්මාණය කරපු ඔය චරිතය සෝමවීර සේනානායක සූරීන් ටෙලි කතා පිටපත තුළින් විශිෂ්ට විදිහට ප්‍රති නිර්මාණය කරලා තියනවා;

ජගදීෂ්ගේ චරිතයේ අභ්‍යන්තරය ගැන මොකද උද්දික හිතන්නේ?

යුරෝපා රටවල ජීවත්වෙන අපේ සමහරු ඒ සමාජ සංස්කෘතික රටාවේ මතුපිට ස්වරූපය ආටෝපකාරී විදිහට අපේ සමාජය හමුවේ ඉදිරිපත් කරනවා. ඒ ප්‍රධාන වශයෙන් තමන් ගේ ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන්. එක ගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයේ ජයදීෂ් බටහිර සංස්කෘතික රටාවේ පොත්ත විතරක් ආටෝපකාරී ලෙස අපේ සමාජයට ඉදිරිපත් කරමින් නොයෙකුත් ලෞකික ලාභ අපේක්ෂාවන් ලුහුබඳින කෙනෙක් විදිහටයි මම දකින්නේ.

ඔබේ රඟපෑම පැත්තකින් තියලා අපි හිතමු ජගදීෂ් කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන ඇත්තම චරිතයක් කියලා; මොකක්ද උද්ධිකගේ හිතේ ජගදීෂ් පිළිබඳව ඇති වෙන වැටහීම?

ඇත්තෙන්ම මේක වර්තමාන සමාජ ආර්ථික ක්‍රමයේ නොවිධිමත් බව මතින් නිර්මාණය වන අතුරුපළයක්. අපේ වර්තමාන සමාජ - ආර්ථික රටාව මීට වඩා සවිමත් හා ස්ථාවර මට්ටමක තිබුණා නම් ජගදීෂ්ලා වැනි මාදිලි සමාජයේ නොතිබෙන්න ඉඩ තිබුණා.

නමුත් මම හිතනවා දෙමාපියන් ගැනවත් සම්මත සදාචාරය ගැනවත් තැකීමක් නොතකන ජගදීෂ් වගේ අයගෙන් සමාජයට අයහපත් බලපෑමක් ඇති වෙනවා කියලා.

නොවිධිමත් සමාජ ආර්ථික පසුබිමක් තුළ සංස්කෘතික සහ සදාචාර සෝදාපාළුවක් ඇතිවීම වලක්වන්න බැහැ තමයි.

ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන් ඉතා සංයමශීලී රඟපෑමක් ඉදිරිපත් කළ ඔබ මේ ටෙලි නාට්‍යයේ එක්තරා අන්දමක අධි රංගනයක් සඳහා යොමු කළේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ‍ශිවගුරුනාදන් නේද?

ශිවා අයියා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. එයා කරන්නේ තිරකතා පිටපත බලලා ඒකට වඩාත්ම සුදුසුයි කියලා එයා තීරණය කරන නළුවාට හෝ නිළියට ඒ චරිතය බාරදීලා; සාර්ථකත්වයක් ලබා ගන්න අධ්‍යක්ෂක වරයෙක්. එහෙම නැතුව එයා කිසිම දවසක නළුවන්ට නිළියන්ට තමන් රඟපාන චරිත ‘කොටලා පොවන්න’ හදන්නේ නැහැ; කොහොම වුණත් ජගදීෂ් කියන්නේ තමන් ජීවත් වෙන සමාජය හමුවේ ව්‍යාජ ආටෝපයක් මවා පාන වෙනස් ආකරයක; වියුක්ත (Abstract) චරිතයක් නේ. ඉතින් ඒවගේ චරිතයක් නිරූපනය කිරීම සඳහා මට තියෙන්නේ දෙබස්, භාව ප්‍රකාශන (expressions) සහ අංග චලන කියන මාධ්‍ය තුන විතරයි. ඒ හින්දා ඒක අධි රඟපෑමක් හැටියට යමකුට පෙනුණත් ඇත්තෙන්ම ඒක අධි රඟපෑමක් නෙවෙයි. එහෙම තමයි ඒ චරිතයේ හැටි.

අවසන් වශයෙන් කියන්න උද්දික ඔය ජගදීෂ් කියන සැබෑ චරිතයට ආදරය කරනවද? වෛරකරනවද?

මම කරන්නේ ඔය දෙකම නෙවෙයි.

එහෙනම්?

මම ජගදීෂ් මාදිලියේ මිනිසුන් සමාජයෙන් යටපත් කරගෙන හිදින අසරණකම මුල් කොට ඔවුන්ට අසීමාන්තිකව අනුකම්පා කරනවා.

uddika-premarathne-jagadis

uddika-premarathne-jagadis2

-තිලක් සේනාසිංහ_ලක්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘එකගෙයි මිනිස්සු’ ජගදීෂ්ට ‍මම අනුකම්පා කරනවා!"

    Post a Comment