02 February, 2017

මගේ චිත්‍රපට කාටවත් දෙවැනි වෙන්න හදන්නේ නෑ

somarathne-dissanayake

මේ දිනවල තිරගතවන සරිගම චිත්‍රපටය ඉතාමත් ආකර්ෂණීය සිනමා සිත්තමකි. තිරගත වන අනෙක් චිත්‍රපටවලට තරගයක් දෙමින් තිරගත වෙන සරිගම චිත්‍රපටයේ නවතම තොරතුරු දැන ගන්න අපි සම්බන්ධ කර ගත්තේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායකවයි.

සරිගම තිරගත වෙනවා.කොහොමද ප්‍රතිචාර?

චිත්‍රපටය මුදාහැරිය දවසේ ඉඳලාම ප්‍රතිචාර වර්ධනය වෙමින් තියෙනවා. ඒක තමා මගේ චිත්‍රපටයට තියෙන හොඳම ප්‍රතිචාරය. එන්න එන්නම ප්‍රතිචාර වැඩිවෙනවා.
තවත් චිත්‍රපට කිහිපයක් තිරගත වෙනවා.

සරිගමට ලොකු තරගයක් දෙන්න වෙලාද?

සරෝජා සිට සරිගම දක්වා මගේ චිත්‍රපටවල තරගයක් තිබුණා. ඒ තරගයට මම හොඳින් මුහුණ දුන්නා. පෙර වතාවල වගේම තමා මගේ චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා. මිනිස්සු බලනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

මේ දවස්වල තිරගත වන චිත්‍රපට අතරේ ඔබේ චිත්‍රපටය තියෙන තැන කොතැනද?

මගේ චිත්‍රපටය පළමුවැනි තැන තියෙනවා කියලා බය නැතිව කියන්න පුළුවන්. මම මගේ දේ දෙවැනි කරන්න හදන්නේ නැහැ. එහෙත් මම කියන්නේ නැහැ මාව අභිභවා යන්න කාටවත් බැහැ කියලා. මම ආසයි මාව කවුරුහරි අභිභවා යනවාට. ඒක තමයි වෙන්නත් ඕන.

ඒ කියන්නේ ඔබේ චිත්‍රපටය සාර්ථකයි කියන එකද?

නිර්මාණයක් හැටියට දැනට තියෙන ප්‍රතිචාර මත මගේ චිත්‍රපටය සාර්ථකයි කියලා හිතනවා. මේක මගේ හොඳම නිර්මාණය කියලත් කියන්න පුළුවන්. සූරියඅරණ සහ සිරි පැරකුම් එක්ක බලද්දී ලාභය නම් අඩුයි. සිරි පැරකුම් චිත්‍රපටය මේ කාලය වෙනකොට මීට වඩා දෙගුණයක් ආදායම් ලැබුවා. ආදායම් පැත්ත නැතිව බැලුවොත් නිර්මාණයක් විදියට මගේ චිත්‍රපටය සාර්ථකයි.

අනෙක් චිත්‍රපට අභියෝගයක් නොවේද?

නැහැ. චිත්‍රපට හදනකොට මම ඕවා ගැන හිතන්නේ නැහැ. නමුත් චිත්‍රපටය පෙන්වන එක තමයි අභියෝගය. චිත්‍රපටය හරියට පෙන්න ගත්තා නම් අභියෝගය ජය ගත්ත වෙනවා. ඉස්සර නම් චිත්‍රපට හදන එකනෙ අභියෝගය. මිනිස්සු ඇවිත් බලලා යනවා. ඒත් දැන් එහෙම නැහැ. කොහොම වුණත් මට අනෙක් චිත්‍රපට අභියෝගයක් නෙවෙයි.
සමහර චිත්‍රපට පෝලිමේ තියෙද්දී

ඔබේ නිර්මාණවලට නම් පෝලිම අදාළ වෙන්නේ නෑ නේද?

නිර්මාණයක් කරනව නම් කලාත්මක බව වගේම මිනිස්සු එය රස විඳින්නත් ඕනෑ. ගොඩක් අය හිතන්නේ සිනමාව කියන්නේ මුදල් උපයන්න හොඳ මාර්ගයක් කියලා. එහෙම හිතලා එන අය තමා පාඩුයි කියලා පස්සේ කියන්නේ. එන අය සිනමාව කියන කලාව ගැන දැනගෙන එන්න ඕනෑ. නැත්නම් සාර්ථක වෙන්න බැහැ. සමහර චිත්‍රපට තියෙනවා කලාත්මක ඒවා. ඒවා පාඩු වුණත් කලාත්මකයි. කලාත්මකත් නැති වාණිජ වටිනාකමකුත් නැති ඒවා නිසා තමයි චිත්‍රපට පෝලිමක් හැදිලා තියෙන්නේ.

ඔබේ චිත්‍රපටයේ නළු නිළියෝ ප්‍රචාරණ වැඩවලට සහාය දෙනවද?

ලැබෙන සහයෝගය හොඳයි. පොඩි ප්‍රශ්නයක් තිබුණා. චිත්‍රපටය තිරගත කරන්න ළං වෙද්දීම පූජා විවාහ වුණා. ඒ නිසා ඇයට මඳක් නිදහස අවශ්‍ය වුණා. ඒ හැර අනෙක් සියලුම අයගේ පූර්ණ සහාය තවමත් නොඅඩුව ලැබෙනවා.

නළු නිළියන්ගෙන් ලැබෙන සහාය අවශ්‍යද චිත්‍රපටය දුවන්න?

අත්‍යවශ්‍යම නැහැ. එහෙම අවශ්‍ය අය ඉන්නවා. හැබැයි මගේ චිත්‍රපටවලට එහෙම අවශ්‍ය නැහැ. මගේ චිත්‍රපටවලට අවශ්‍ය හොඳ අන්තර්ගතයක් විතරයි. කලින් මගේ චිත්‍රපටවල ගොඩක් හිටියේ පොඩි ළමයිනේ. ඒ අය තරු නෙවේනේ. ඒ චිත්‍රපට මම පෙන්නුවේ ඒ ළමයින්ව ප්‍රචාරක වැඩවලට යොදාගෙන නෙවෙයි. සිනමාරූපී බවට තමා මම මුල්තැන දුන්නේ. බලන්න එන්නෙත් ඒ සිනමා රූපී බව නිසා. එහෙම නැතිව නළු නිළියන්ව ප්‍රචාරණ වැඩවලට යොදාගෙන නෙවෙයි.

ඉදිරි වැඩ මොනවද?

ජංගි හොරා චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළා. ඒ චිත්‍රපටය මේ වසරේ මැද වෙද්දී පෙන්වන්න පුළුවන්. තවත් චිත්‍රපට පිටපත් කිහිපයක් තියෙනවා. නමුත් ඒවාට අත ගහන්න තව ටික දවසක් යයි.

(අකිලා නදිශානි_මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මගේ චිත්‍රපට කාටවත් දෙවැනි වෙන්න හදන්නේ නෑ "

    Post a Comment